ජෝඩු පිටින් සූදුපිටියේ | දිනමිණ

ජෝඩු පිටින් සූදුපිටියේ

මීගමුවේ පිරිමි 4කට-ගැහැනු 11කට දඩ

නීතිවිරෝධී ලෙස මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළේ යැයි කියන සිද්ධියකට චෝදනා ලැබ වරද පිළිගත් පිරිමි හතර දෙනෙකුට හා කාන්තාවන් එකොළොස් දෙනකුට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්. එල්. මහවත්ත මහත්මිය පසුගියදා දඩ හා සිරඳඩුවම් නියම කළාය. මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලවීදිය, කුඩාපාඩුව පදිංචි නලින්ද ප්‍රනාන්දු, වෙල්ස් ප්‍රනාන්දු, ලක්ෂ්මන් ප්‍රනාන්දු හා රොමේන්සන් පෙරේරා යන පිරිමි හතර දෙනෙකුට හා එම ගම්මානවලම පදිංචි චාල්ස් කුමාරි, චන්දිකා ප්‍රනාන්දු, රීටා ප්‍රනාන්දු, රාධා සුලක්ෂණා මේරි රංජනී, නිලන්ති ප්‍රනාන්දු, ලතා රුද්‍රිගු, තෙරේසා ප්‍රනාන්දු කාන්චනා රුද්‍රිගූ, ජයන්ති ප්‍රනාන්දුර, රාසලිංගම් චාන්දනී, යන කාන්තාවන් එකොළොස් දෙනාටය.

‍එක්අයෙකුට රු 100 බැගින් දඩ ද මාස තුන බැගින් සිර දඬුවම්ද නියම කර සිර දඬුවම වසර පහකට අත්හිටුවන ලදී. නැවත මෙවැනි වරදක් කර අසුවුවහොත් පළමුව අත්හිටවූ සිරදඬුවම ක්‍රියාත්මක කරන බව මහේස්ත්‍රාත්වරිය නියෝගය දෙමින් පැවසුවාය.

ඇතැම් කාන්තාවන් අඹුසැමි වශයෙන්ද, ඇතැමෙක් තම ස්වාමිපුරුෂයා රැකියාවට ගිය පසු හොර රහසේ මෙම සූදු ක්‍රීඩාවට එක්ව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සූදු පොළෙහි ඔට්ටුවට දමා තිබූ මුදල් ද ඒ සඳහා යොදා ගන්නා ආයිත්තම්ද නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.

මීගමුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරික්ෂකවරුන් වන අයේෂ් පෙරේරා, රත්නායක ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම වැටලීම කළ අතර උප පොලිස් පරීක්ෂක විපුල කුමාර මහතා පැමිණිල්ල මෙහෙයවීය. විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමද අධිකරණයෙන් සිදු කළේය.

කොච්චිකඩේ විශේෂ ඩී. මිහිඳුකුල

නව අදහස දක්වන්න