සුපිරි බාස්කට්බෝල් ක්‍රීඩකයා ගුවන් අනතුරකින් මරුට | දිනමිණ

සුපිරි බාස්කට්බෝල් ක්‍රීඩකයා ගුවන් අනතුරකින් මරුට

ඇමරිකාවේ සුපිරි බාස්කට්බෝල් ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි. ඔහු සිය දියණිය ජියනා ඇතුළු පස් දෙනෙකු සමග ගමන් කළ පුද්ගලික හෙලිකොප්ටර් යානයක් ඊයේ කැලිෆෝනියාවේදී අනතුරට පත්වූ අතර යානයේ සිටි සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

බ්‍රයන්ට්, ඇමරිකා ලීග් බාස්කට්බෝල් තරඟාවලියේදී ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර එම කණ්ඩායම අවස්ථා 5කදී ඇමරිකා ලීග් පැසි පන්දු කිරුළ දිනාගත්තේ කෝබි බ්‍රයන්ට්ගේ සුවිශේෂී දායකත්වයෙනි.

වසරේ දක්ෂතම බාස්කට්බෝල් ක්‍රීඩකයා ඇතුළු සම්මාන රැසක් දිනූ බ්‍රයන්ට් බාස්කට්බෝල් ක්‍රීඩාව ඇසුරින් සැකසූ කළ “ඩියර් බාස්කට්බෝල්” නම් කෙටි චිත්‍රපටය 2018 වසරේදී හොඳම සජීවීකරණ චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මාන දිනා ගත්තේ ය.

වසර 2016දී බාස්කට්බෝල් ක්‍රීඩාවට සමුදෙද්දී ඇමරිකාවට බාස්කට්බෝල් ඔලිම්පික් රන් පදක්කම් දෙකක් වසර 2008දී හා 2012දී දිනාගැනීමට ඔහුගේ දායකත්වය ලබාදී තිබිණි. වසර 1996දී බාස්කට්බෝල් පිටියට පිවිසි හෙතෙම ලකුණු 33643ක් ලබාගෙන ඇති අතර එවැනි ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ ලොව සිවුවැනි ක්‍රීඩකයා බවට පත්විය.

නව අදහස දක්වන්න