යුරෝපය හඬවා බ්‍රිතාන්‍යය වෙන්වේ | දිනමිණ

යුරෝපය හඬවා බ්‍රිතාන්‍යය වෙන්වේ

ධම්මික සෙනෙවිරත්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සාමාජිකත්වය හැර ගියද තවත් මාස කිහිපයක් ගතවන තුරු බ්‍රිතාන්‍යයට සංක්‍රාන්තික අවධියක් ගත කිරීමට සිදුවේ. මේ කාලය තුළ ඔවුන්ට සාමාජික මුදල් ද ගෙවිය යුතුය. දෙපාර්ශ්වයම එක්ව තමන් පවත්වාගත යුතු අනාගත සබඳතාව කෙබඳු දැයි මේ කාලයේදී තීරණය කිරීමට නියමිතය.

“යුරෝපයේ විමුක්තිය වෙනුවෙන් දෙවරක් රුධිරය හැළූ රාජ්‍යයක් සමුගැනීම වේදනාවකි.” බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී එම ප්‍රකාශය කළේ බ්‍රෙක්සිට් ප්‍රකාශක ගයි වර්හොෆ්ස්ටැඩ්ට් ය.

හැඟුම්බර විවාදයකින් අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය තීරණය අනුමත කරමින් ඡන්ද 621 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 49 ක් පමණි.

යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසොලි කියා සිටියේ, ‘‘යුරෝපා සංගමය හැර ගියද බ්‍රිතාන්‍ය හැමදාමත් යුරෝපයේ කොටසක් ලෙස පවතිනු ඇත’’ යනුවෙනි. බෙදා වෙන්කර තැබීමට වඩා ළංව එක්කර තැබීමට කාරණා දෙපාර්ශ්වය අතර වැඩි බව ඔහුගේ අදහස විය.

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලෙයන් බ්‍රිතාන්‍යයේ ඉවත්වයාම සඳහා අපරානුමතිය ලබාදීම, සංගමය හා බ්‍රිතාන්‍ය අතර නව සහයෝගිතාවක පළමු පියවර පමණක් බවය. “අප දුරස් නොවනු ඇත...” යනුවෙන්ද ඇය පැවසුවේ හැඟුම්බරවය. විවාදය අතරතුර ගීත ද ඇසුණු අතර ඇතැම් දෙනා ‘සැමවිටම එක්සත්ව!’ යනුවෙන් සඳහන් ස්කාෆ් පැළැඳ සිටිනු දැකිය හැකිවිය. ඇතැම් මන්ත්‍රීවරු සිය කතා අවසන් කළේ හැඬූ කඳුළිනි.

නොනගත කාලය

වසර කිහිපයක් ගත වූ ක්‍රියාදාමයක තීරණාත්මක අවසානයක් සටහන් කරමින් බ්‍රිතාන්‍ය ඊයේ, එනම් ජනවාරි 31 වැනිදා සිට නිල වශයෙන් යුරෝපා සංගමයෙන් (EU) ඉවත් විය. බ්‍රෙක්සිට් (Brexit) යනුවෙන් ප්‍රචලිත වූ එම ක්‍රියාදාමය අතරතුර අගමැතිවරු දෙදෙනකුටම ගෙදර යාමට සිදුවිය. 2016 වසරේදී පැවැති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෝ බහුතර ඡන්දයකින් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් විය යුතු බව කියා සිටීමත් සමඟ, අගමැති ඩේවිඩ් කැමරන් ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහුගේ ඉතිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා පත්වූයේ තෙරේසා මේය. බ්‍රෙක්සිට් ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාම ඇය වෙත පැවැරිණි. කෙසේ වුවද එය සම්පූර්ණ කිරීමට අගමැතිනි තෙරේසා මේ ට ද නොහැකිවන පසුබිමක, ඇය ද ඉවත්වූවාය. එතැන් සිට එම වගකීම පැවරුණේ බොරිස් ජොන්සන්ටය. ඔහු එම තීරණයට අත්සන් තබමින් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සටහන් වූයේ ජනවාරි 31 වැනිදා බ්‍රිතාන්‍යයන්ට ඓතිහාසික දිනයක් වනු ඇති බවය. ඒ සමඟ ග්‍රිනිච් වේලාවෙන් ඊ‍යේ රාත්‍රී 11.00 සිට බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ සාමාජිකයකු ලෙස නොසැලකේ. 2016 ජුනි මස පැවැති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෝ මිලියන 17.4 ක් යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව පැවසූහ. ප්‍රතිශතයක් ලෙස එම පිරිස සියයට 52 කි. තවදුරටත් එහි රැඳී සිටිය යුතු යැයි කීවේ සියයට 48 කි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සාමාජිකත්වය හැර ගියද තවත් මාස කිහිපයක් ගතවන තුරු බ්‍රිතාන්‍යයට සංක්‍රාන්තික අවධියක් ගත කිරීමට සිදුවේ. මේ කාලය තුළ ඔවුන්ට සාමාජික මුදල් ද ගෙවිය යුතුය. දෙපාර්ශ්වයම එක්ව තමන් පවත්වාගත යුතු අනාගත සබඳතාව කෙබඳු දැයි මේ කාලයේදී තීරණය කිරීමට නියමිතය. එම කාලසීමාව 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වේ. එතෙක් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ නීති පිළිපැදීමටද බැඳී සිටී. මෙම මාස 11ක කාලසීමාව තුළ දෙපාර්ශ්වය එක්ව නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම වැනි ක්‍රියාමාර්ගවලට එළැඹේ. මෙතැන් සිට බ්‍රිතාන්‍ය තනි වෙළෙඳ පොළක් බවට පත්වන අතර යුරෝපා සංගමයට අයත් රටවලට භාණ්ඩ අපනයනයේදී ඒවා පරීක්ෂාවකින් හා අමතර ගාස්තුවකින් තොරව යැවීමට හැකිවන්නේ එවිටය.

නීති ක්‍රියාත්මක කිරීම, දත්ත බෙදාගැනීම හා ආරක්ෂාව, ගුවන් සේවා ප්‍රමිතීන් හා ආරක්ෂාව, ධීවර කටයුතු සඳහා පහසුකම්, විදුලිය හා ගෑස් සැපයීම, ඖෂධ නිෂ්පාදනය හා බලපත්‍ර නිකුත් කිරීම වැනි තවත් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ එකඟතාවන්ට එළැඹීමද ඉදිරි මාස කිහිපය තුළ සිදුවේ. අගමැති බොරිස් ජොන්සන් කියා සිටින්නේ මේ කාල සීමාව තවදුරටත් දීර්ඝ නොකරන බවය.

කල්ගිය තීරණය

යුරෝපා කොමිෂමේ මතය වන්නේ කාලසටහනට කටයුතු කිරීම අතිශයින් අභියෝගාත්මක බවය. උතුරු අයර්ලන්තය හා බ්‍රිතාන්‍ය අතර භාණ්ඩ හුවමාරුව වැනි අතුරු කාරණා ගැන ද නව තත්ත්වය යටතේ අවධානය යොමු කිරීමට සිදුවේ.

බ්‍රෙක්සිට් තීරණය ක්‍රියාත්මක විය යුතුව තිබුණේ 2019 මාර්තු 29 වැනිදා පටන්ය. එහෙත් එය දෙවතාවකදීම කල් තැබීමට සිදුවිණි. ඒ, එවක අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ යෝජනා, මන්ත්‍රිවරුන් විසින් එම දෙවතාවේදීම ප්‍රතික්ෂේප කළ බැවිනි. තුන්වැනි වරටද එය ප්‍රතික්ෂේප වූ තැන අගමැතිනිය ඉල්ලා අස්වූවාය.

යුරෝපා සංගමය යනු යුරෝපියානු රටවල් 28 ක සාමාජිකත්වයෙන් සැදුම්ලත් එකතුවකි. අද පටන් එම සාමාජිකත්වය 27බවට පත්වේ. එය ආර්ථිකමය හා දේශපාලනික කාරණා මත ඇතිකරගත් සංගමයකි. සාමාජික රටවල් අතර නිදහස් වෙළෙඳාම පිළිගන්නා බැවින් ඒ ඒ රටවල භාණ්ඩවලට පරීක්ෂා කිරීම්වලින් හා අමතර ගාස්තුවලින් තොරව වෙළෙඳ පොළ අතර සංසරණය වීමට හැකිවේ. සාමාජික රටවල ජනතාවගේ නිදහස් සංචරණයට ද ඉඩ සැළැසී තිබේ. තමන්ට අභිමත ඕනෑම රටක ජීවත් වීමට මෙන් ම රැකියාවක යෙදීමට ද එම රටවැසියන්ට හැකියාව ඇත.

අනාගත තත්ත්වය

යුරෝපා සංගමයට බ්‍රිතාන්‍ය එක්වූයේ 1973 දීය. එවක එය හැඳින්වුණේ යුරෝපා ආර්ථික ප්‍රජාව (EEU) යනුවෙනි. සංගමය හැරගිය පළමු සාමාජිකයා ලෙස ඉතිහාසයට එක්වන්නේද බ්‍රිතාන්‍යයයි. සංගමයෙන් ඉවත්වීමත් සමඟ යුරෝපා පාර්ලිමේන්තුවේ බ්‍රිතාන්‍ය නියෝජිතයන්ට හිමිව තිබූ අසුන් 73 අහිමි වේ. මින් ඉදිරියට පැවැත්වෙන යුරෝපා සංගම් සමුළු සඳහා බ්‍රිතාන්‍ය සහභාගිවීමක්ද සිදු නොවේ. යම් හෙයකින් ඊට සහභාගි විය යුතු නම් අගමැතිවරයාට විශේෂ ඇරියුමක් ලැබිය යුතුය. වරින්වර පැවැත්වෙන රැස්වීම් හා සාකච්ඡා සඳහා ද බ්‍රිතාන්‍ය නියෝජනයක් නොතිබෙනු ඇත. කෙසේ වුවද සංක්‍රාන්ති කාල සීමාව නිමා වන තුරු නීති කෘත්‍ය පිළිබඳ අවසන් බලාධිකාරය ඇත්තේ යුරෝපා අධිකරණය සතුව ය.

යුරෝපා සංගමයේ රැඳී සිටින සෙසු රටවල් සමඟ වෙළෙඳාමේ යෙදීමේදී නව නීති රෙගුලාසි යටතේ කටයුතු කිරීමටද දෙපාර්ශ්වයට සිදුවේ. 

ජර්මනියේ මතය

මින් ඉදිරියට බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයේ වර්ණයද වෙනස් වේ. කලින් එය නිල් පැහැ කවරයකින් යුතු වූ අතර, යුරෝපා සංගම් සාමාජිකයකු ලෙස 1988 සිට එය මෙරූන් පැහැ කවරයකින් යුතුවිය. දැන් නැවතත් භාවිතයට එනු ඇත‍්තේ නිල්පැහැ කවරයයි. නිල්පැහැ පසුබිමේ රන්පැහැ අකුරින් මුද්‍රිත විදෙස් ගමන් බලපත් කවර භාවිතය ඇරැඹුණේ 1921 පටන්ය.

බ්‍රිතාන්‍යයේ ඊයේ නව සමරු කාසියක් ද නිකුත් කෙරිණි. ‘සියලු ජාතීන් සමඟ සාමය, සමෘද්ධිය හා මිත්‍රත්වය, යනුවෙන් එහි එක් පසෙක සටහන්ව තිබේ. ඇතැම්හු මේ කාසිය ගැන විරෝධය ද පළ කළහ.

මෙතැන් සිට බ්‍රෙක්සිට් දෙපාර්තමේන්තුව වසා දැමීම ද සිදුවේ. ඩවුනින් වීදියේ සිට ක්‍රියාත්මක වූ එය බ්‍රෙක්සිට් ක්‍රියාදාමය මෙහෙයවීම යුරෝපා සංගමය සමඟ සාකච්ඡා ආදී සියලු කටයුතු ඉටු කළේය. දැන් ඔවුන්ගේ මෙහෙවර සම්පූර්ණය.

ජර්මනිය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ මින් ඉදිරියට තම පුරවැසියන් බ්‍රිතාන්‍යයට උදර්පනය නොකරන බවය. එබැවින්, යම් අපරාධයක් සඳහා අවශ්‍ය පුද්ගලයකු ජර්මනියේ සිටියහොත් ඔහු ගෙන්වා ගැනීමේ බලයක් බ්‍රිතාන්‍යයට නොලැබේ. සෙසු සාමාජික රටවල් කවර පියවරක් ගනු ඇති දැයි තවමත් පැහැදිළි නැත.

වෙනස්කම් සිදුවන අතර නොවෙනස්ව පවතින දෑ කිහිපයක් ද තිබේ. ගුවන් සේවා, බෝට්ටු සේවා හා දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇත. යුරෝපයෙන් පැමිණෙන මගීන් සඳහා වෙන්කර ඇති පිවිසුම ඔස්සේ පැමිණීමට ගුවන් තොටුපොළ වලදී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට තවදුරටත් ඉඩ සැලසේ.

දැනට නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර හා සුරතල් සතුන් සඳහා වන ගමන් බලපත්‍රද එම වලංගු කාලසීමාව අවසන්වන තෙක් ඉදිරියට ද වලංගුය. යුරෝපා සංගම් සාමාජිකයන් සඳහා වූ යුරෝපා සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත සංක්‍රාන්ති කාල සීමාව තුළදී ද භාවිත කිරීමට බ්‍රිතාන්‍ය වැසියන්ට අවස්ථාව තිබේ.

ඕනෑම සාමාජික රටක ජීවත්වීමට හා රැකියාවක් කිරීමට ඇති අයිතියද ඉදිරි මාස 11 සඳහා ද බ්‍රිතාන්‍යන්ට හිමිවේ. සෙසු සාමාජික රටවලටද එලෙසම බ්‍රිතාන්‍යයේ එම අවස්ථා හිමිවේ. එවැනි රටවල ජීවත්වන බ්‍රිතාන්‍ය වැසියන්ට හිමි විශ්‍රාම වැටුප් ඉදිරියටත් හිමිවේ. වාර්ෂික වැඩිවීම්වලටද ඔවුන් හිමිකම් ලබයි.

බ්‍රිතාන්‍ය යනු යුරෝපා සංගමයේ සිටි ධනවත් හා බලවත් සාමාජිකයෙකි. එරට අහිමිවීම ප්‍රමාණාත්මකව දක්වන්නේ නම් අමෙරිකාවට ටෙක්සාස් ප්‍රාන්තය අහිමිවීම බඳුය. එබැවින් යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයට සමුදෙන්නේ සිතකින් නොවන බව පෙනෙන්නට තිබේ. ගුඩ් බායි කියන්නේ යළි නැවත හමුවන අපේක්ෂාවෙන් යැයි යුරෝපා පාර්ලිමේන්තුවේ ඇතැම් නියෝජිතයන් කියා ඇත්තේ එබැවිනි. යම් හෙයකින් බ්‍රිතාන්‍ය, බ්‍රෙක්සිට් කියා එළියට ගිය පරිදිම ප්‍රංශය, ඉතාලිය වැනි රටවල්ද ‘ෆ්‍රෙක්සිට්’, ‘ඉටැලික්ස්ට්’ කියමින් ඉන් නික්ම ගියහොත් යුරෝපා සංගමයේ අනාගතයට කුමක් වනු ඇති දැයි කිවහැක්කේ අනාගතයටමයි.

නව අදහස දක්වන්න