දියාරු හෙඩිමකින් පොතක් කාපු හැටි ! | දිනමිණ

දියාරු හෙඩිමකින් පොතක් කාපු හැටි !

රන්ජන් අමරරත්න
රෝහණ වෙත්තසිංහ

මේ කෘතිය වැදගත් වන්නේ, ලිංගික හිංසනය පිළිබඳ සත්‍ය කතාවක් ඉදිරිපත් කරන නිසා ම නොවේ. එම හිංසනය දරා ගනිමින්, ජීවිතයට මුහුණදෙන හා අනාගත අපේක්ෂා දල්වමින් ඉදිරියට යන දිරිය තරුණියක් අපට මෙහි දී මුණගැසෙයි. ඇය ස්ත්‍රී වර්ගයාට නව ජීවයක් ලබාදෙන අතර, පුරුෂ පාර්ශ්වයේ මනස අවදි කරවයි.

නාදියා මුරාද් සිංහල පාඨකයන් අතර හැඟුම්බර සාධකයක් බවට පත් වන්නේ, ප්‍රධාන හේතු-සාධක දෙකක් නිසා ය. පළමු හේතු-සාධකය වන්නේ, ඇය ලිංගික හිංසනයට එරෙහිව ලෝක මට්ටමින් සටන් වදින සමාජ ක්‍රියාකාරිනියක වීම ය. දෙවැනි හේතු-සාධකය වන්නේ අයි. එස්. ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියක ලෙස ඇය හැබෑවට ම පීඩාවට පත්වීම ය. තවත් සාධක දෙකක් නිසා නාදියා පිළිබඳ ආකර්ෂණය තීව්‍ර වී ඇතැ’යි කිව හැකි ය. එනම්; 2018 නොබෙල් සාම ත්‍යාගයේ සම හිමිකාරියක වීම හා 2017 දී ඇගේ සත්‍ය කතාව පොතක් ලෙස එළිදැක්වීම ය.

පොතේ නම “The Last Girl” ය. එය දැන් සිංහලට නැඟී ඇත. පරිවර්තකයා රෝහණ වෙත්තසිංහ ය. එය ප්‍රබන්ධ කථාවක් නොවන්නේ වුව, වෘත්තාන්තයක් ලෙස විකාශය වෙයි. නාදියාගේ ඛේදනීය ආත්ම කථනයක් හැටියට ද එය සැලැකිය හැකි ය. නාදියා යනු උතුරු ඉරාකයේ අප්‍රකට ගම්මානයක යසිඩි නම් ගෝත්‍රයට අයත් නූගත් තරුණියකි. ඇයට ලෝකය වටහාගත හැකි පුළුල් දෘෂ්ටියක් නැත. කෘතියේ විශේෂත්වය වන්නේ, අවංක ලෙස ද, විවෘත ලෙස ද ස්වකීය අත්දැකීම් විවරණය කිරීම ය. එහෙත් ඇගේ කතාව ඔස්සේ තවත් සමාජ සංවාද හතරක් ගොඩනඟා ගත හැකි ය.

(I) සදාම්ගෙන් පසු ඉරාකයේ දේශපාලනය

(II) යසිඩි ගෝත්‍රිකයන්ගේ ඛේදවාචකය

(III) අයි. එස්. ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡත්වය

(IV) ලිංගික සූරාකෑමට එරෙහි සමාජ ක්‍රියාදාමය

ජනාධිපති සදාම් හුසේන් දසක දෙකකට වැඩි කාලයක් තුළ ඉරාකය ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙස පවත්වාගෙන ගියේ ය. එකල බොර තෙල් නිෂ්පාදනයේ දෛනික ධාරිතාව අනුව ඉරාකයට ලෝකයේ දෙවැනි ස්ථානය හිමි වී තිබිණි. රටේ පොදු පහසුකම් හා අධ්‍යාපනය හොඳින් නඩත්තු කිරීමට සදාම් හුසේන් සමත් විය. ඉරාකයේ නව සංවර්ධනය ගැන අමෙරිකන් මහාචාර්යවරයකු පොතක් ලියා තිබේ. 2003 සිදු වූ අමෙරිකන් ආක්‍රමණය නිසා ඒ සියල්ල විනාශ වී රට අරාජික තත්ත්වයට පත් විය.

අමෙරිකන් ආක්‍රමණයට බලපෑ ආසන්න හේතු කිහිපයෙකි. සදාම්ගේ ඒකාධිපති පාලනය, බාර්ත් පක්ෂයේ අත්තනෝමතික ක්‍රියාකාරකම්, ක්වේට් රාජ්‍යයට පහරදීම හා වන්දි ඉල්ලා සිටීම, බොර තෙල් අපනයනය හා මිල තීන්දු කිරීම සම්බන්ධයෙන් කාලෝචිත නොවන තීරණ ගැනීම මෙන් ම, දැඩි අමෙරිකන් විරෝධයක් සදාම් වෙතින් ප්‍රකාශ වීමත් මේ අතර ප්‍රධාන වෙයි. සදාම්ගේ ඝාතනයෙන් පසු සමස්ත ඉරාකයම බිඳවැටිණි.

මෙබඳු කෘතියකින් ඉරාක දේශපාලනය හෝ ඉරාක ආර්ථිකය හෝ ගැන විශ්ලේෂණයක් අපේක්ෂා කළ නොහැකි වුව; බොහෝ තැන්වලදී ඉරාක ජනතාව මුහුණ දුන් පීඩනය නිරූපණය කෙරේ.

“අපගේ රෝහල් සේවය හා වෙළෙඳ පොළ කඩා වැටිණි. බෙහෙත් මිල තවත් ඉහළ ගිය අතර පාන් පිටි කපා හැරිණි. සිමෙන්ති හැදීමට ගන්නා ජිප්සම් සැපයීම ද නැවතිණි. පාසලේ දී මෙහි අහිතකර බලපෑම වඩාත් පැහැදිලිව දැකගත හැකි විය. කලක් ඉරාක අධ්‍යාපන ක්‍රමය මැදපෙරදිග පුරා සිසුන්ගේ ආකර්ෂණය දිනා තිබුණ ද සම්බාධක සමඟ එය ද බිඳ වැටිණි. ඒ සමඟ ගුරු වැටුප් බිංදුවට බැස්සවූ විට ගුරුවරුන් සොයා ගැනීම ද අසීරු විය.”

(පිටු < 65/66)

මේ තත්ත්වය පැහැදිලි කරන නාදියා සදාම් හුසේන්ගේ පාලනය විවේචනය කිරීමට ද පසුබට වන්නේ නැත.

“සමහර වෙලාවන්හි ටෙලිවිෂනයේ පෙන්වූයේ සදාම්ව පමණි. රැවුල්කාර ආරක්ෂකයකුත් පසෙකින් තබාගෙන මේසයක් පිටුපස වාඩි වී දුම්වැටියක් උරමින් ඉරානය ගැන විවිධ කතා හා යුද්ධ ගැන කියමින් ඔහු කළේ තමාගේ ම පම්පෝරිය ගැසීම ය.”

(පිටුව < 65)

නාදියාගේ එක උපකල්පනයක් වන්නේ, මහජන මන්ත්‍රීවරියක වී බැග්ඩෑඩ් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තම ගෝත්‍රය වෙනුවෙන් හඬක් නැඟීම ය. යසිඩ් ගෝත්‍රය සම්බන්ධයෙන් සදාම් පාලනය ගෙන ගිය දරදඬු ප්‍රතිපත්තිය පිළිබඳ වැටහීමක් එයින් ලබාගත හැකි ය.

අප්‍රිකාවේ තරම් නොවූව ද, අරාබි ලෝකය තුළ ද සැලැකිය යුතු මට්ටමකින් ගෝත්‍රික ගැටුම් පවතී. බොහෝවිට ඒවාට පාදක වී ඇත්තේ ආගමික නිකායවාදයයි. උතුරු ඉරාකයේ යසිඩ් ගෝත්‍රය යනු සෑම අංශයකින්ම පීඩනයකට ලක්ව සිටි සුළු ජන‍ කණ්ඩායමකි. දරිද්‍රතාව, කොන්කිරීම, නූගත්කම හා නොසලකා හැරීම මෙහිලා කැපී පෙනෙන තත්ත්වයන් විය. සදාම් පාලනය යටතේ මේ ජන කණ්ඩායම සූක්ෂ්ම පළි ගැනීමකට ලක්වූ අතර, අයි. එස්. පාලනය යටතේ සමූල ඝාතනයකට ලක් වී ඇත.

“2014 ට පෙර පිටස්තර බලවේග මගින් අප විනාශ කර දැමීමට හැත්තෑ තුන් වතාවක් උත්සාහ කර තිබිණි. සමූල ඝාතනය යන වචනය දැනගන්නට පෙර යසිඩීන්ට එරෙහිව එල්ල කළ මේ ප්‍රහාර අප හැඳින්වූයේ “ෆර්මන්” යන ඔටෝමාන් වදනකිනි.”

(පිටුව < 26)

යසිඩි ගෝත්‍රිකයන් සඳහා වූ නිල ආරක්ෂාවක් කෙබඳු ආයතනයකින් හෝ ලැබී නැත. රටේ පොලිසිය හා අධිකරණය වැනි නීතියට සම්බන්ධ ආයතන පවා යසිඩීන් නොසලකා හැර ඇති බව කතුවරිය පෙන්වා දෙයි. මේ අනුව තමන්ගේ ආරක්ෂාව තමන් ම සපයාගත යුතු තීන්දුවකට යසිඩීන් පැමිණ ඇත. ඔව්හු තුවක්කු රැස්කර ගන්නටත්, මන්නා පිහි ළඟ තබා ගන්නටත් පටන් ගත්හ. ගෝත්‍රික සටන්කාමීන් බිහිවන ආකාරය ද කතුවරියගේ විමසුමට ලක් වී ඇත.

“මගේ සොහොයුරන් ඇතුළු සමහරක් දෙනා සිතුවේ අපේ ආරක්ෂාව අපට ම සලසා ගැනීමට ඉඩ හැරිය යුතු බවයි. මුරපොළවලට ද අපේ ම කට්ටිය යෙදවීමට ඔවුන්ට අවශ්‍ය විය. මේ අනුව යසිඩි - පෙෂ්මෙගා ඒකකයක් පිහිටුවීමට තමාට ඉඩදෙන ලෙස අහමඩ් ජැසෝගේ සොයුරු නයිෆ් විසින් කුර්දි බලධාරීන් වෙත කරුණු දැක්වුව ද එය ප්‍රතික්ෂේප කැරිණි.”

(පිටුව < 31)

යසිඩි ජන කොට්ඨාසයේ ජන ජීවිතය, ආගමික දර්ශනය, ඉතිහාසය හා චාරිත්‍ර මේ කෘතියෙන් නිරූපණය කෙරේ. කිසිවකුගේ අවධානයට ලක් නොවූ ජන කණ්ඩායමක් කෙරෙහි ලෝක අවධානය යොමු කරවීමටත්, ඔවුනට සිදු වී ඇති අයුක්තිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් අවශ්‍ය ජීවමාන සාක්ෂි, නාදියාගේ කෘතියෙන් හෙළිදරව් වෙයි. ඒ අතින් බලනවිට කතුවරිය විශාල සමාජ කාර්යයක් ඉටුකර තිබේ.

මේ කෘතියෙන් වැඩිපුර ම විවේචනයට ලක් වන්නේ, අයි. එස්. ත්‍රස්තවාදය හා ආගමික රාජ්‍යය යන සංකල්පයයි. අයි. එස්. ත්‍රස්තවාදීන් ආගමික අන්තවාදය පාදක කොට ක්‍රියාවට නංවා ඇති බල‍ ව්‍යාපෘතියේ සැබෑ තත්ත්වය, නාදියාගේ පාපොච්චාරණයෙන් හෙළිදරව් වෙයි. අන්තවාදීහු ඉස්ලාම් ධර්මයේ ඉගැන්‍වීම් විකෘති කොට, ඒවා තම බල ව්‍යාපෘතිය සඳහා යොදා ගනිති. කරච්චියේ ඉස්ලාම් ධර්ම පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් සේවය කළ එෆ්. රහ්මාන් මහතා “හිස්ට්‍රි ඔෆ් රෙලිජන්” නමින් පොතක් ලියා තිබේ. 1960 ගණන්වලදී ප්‍රකාශයට පත්වූ මේ කෘතිය, බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. එම කෘතියේ දෙවැනි පරිච්ඡේදය වෙන්කර ඇත්තේ, කුරානය විවරණය කිරීමට ය. එහි දක්වා ඇති අන්දමට කුරානය යනු යහපත් ජීවිතයක් සඳහා වූ ඉගැන්වීමකි. එලෙස ම යහපත් ජීවිතයක් සඳහා පනවා ඇති නීති පද්ධතියකි. මිනිසුන් ඝාතනයට, බලහත්කාරයට හා හිංසනයට එහි ඉඩක් නැත. එලෙස ම අන්‍යාගමිකයන් නොසලකා හැරීමට ඉඩක් ද එහි නැත. අයි. එස්. ත්‍රස්තයන් කුරානයේ ඉගැන්වීම් බැහැරකොට, ස්වකීය වාසිය ‍උදෙසා නව නීති පනවාගෙන තිබේ.

“අයි. එස්. භටයන් සමඟ ගත කරන හැම තත්ත්පරයක් ම සිරුර හා ආත්මය ක්‍රමික වේදනාකාරී මරණයක් කරා ගෙන යන ප්‍රවේශයක් විය.”

(පිටුව < 178)

“සමහර ගෑනු ළමයි බේරෙන්න බලාගෙන, මූණෙ අළු නැත්නම් කුණු ජරාව අතුල්ලා ගන්නවා. සමහරුන් කොණ්ඩෙ අවුල් කරගෙන පිස්සු වේශ ගන්නවා. ඒත් වැඩක් වෙන්නෙ නෑ. උන් ඒ අයව නාවලා හැබෑ තත්ත්වෙට පත්කර ගන්නවා. සමහර ගෑනු ළමයි දිවි නහගත්තා. තවත් අය මැණික්කටුවෙ නහර කපාගෙන මැරෙන්න ගියා.”

(පිටුව < 191)

අයි. එස්. අන්තවාදීන් ස්ත්‍රීන් වෙත මුදාහැර ඇති ප්‍රචණ්ඩත්වය, කෘතියේ දෙවැනි හා තුන්වැනි කොටස්වලින් මනාව නිරූපණය කෙරේ. මල්වර තත්ත්වයට පත් නොවූ දැරියන් ද දූෂණයට ලක් කරති. ඒ සඳහා යොදාගෙන ඇති නෛතික පාඨය වන්නේ, මිථ්‍යා දෘෂ්ටික කාන්තාවන් කුමන ආකාරයකින් දූෂණයට ලක් කළ ද, පාපයක් නැත යන්න ය. මල්වර නොවූ දැරිවියක නම්; සංසර්ග කාර්යය පසෙක තබා වෙනත් ආකාරයකින් සතුටු වීම කළ හැකි ය යන්න, අයි. එස්. සංවිධානයේ ඉගැන්වීම වෙයි. ඇතැම් ස්ත්‍රියක දූෂණයට ලක් කරනුයේ, ලේ ගලනතුරු පහර දෙමින් ය. කඳවුරු වෙතින් පැන යෑමට උත්සාහ දරන ස්ත්‍රීහු, සමූහ දූෂණයට ලක් කරති. නැතහොත් පණපිටින් ගිනි දමා මරා දමති.

ලෝකය පුරා සිදුවන අවි ගැටුම්වලදී, යුද උපායක් ලෙස ස්ත්‍රී දූෂණය සිදුවේ. යුද මානසිකත්වය රැක ගැනීම සඳහා ස්ත්‍රී දූෂණය දිගින්-දිගටම කළ යුතු යැයි සර්බියාවේ සෙබළෙක් සිය සාක්ෂියේ දී කියා සිටියේ ය. “හැම මිනිසකුම යුද පුහුණුව ලැබිය යුතු ය. හැම ගැහැනියකම යුද භටයන්ගේ ආස්වාදය උදෙසා කැපවිය යුතු ය.” ඒ ස්ත්‍රී දූෂකයන්ගේ තවත් තේමා පාඨයකි. බොස්නියා, හර්ෂගොවීනා, ක්‍රොඒෂියා, කාශ්මීරයේ පුල්වාම් හා උතුරු ඉරාකයේ ප්‍රදේශ කිහිපයක් ද මෙලෙස යුද සමයේ අමානුෂික ස්ත්‍රී-දූෂණ සඳහා ප්‍රකටව තිබිණි.

මේ කෘතිය වැදගත් වන්නේ, ලිංගික හිංසනය පිළිබඳ සත්‍ය කතාවක් ඉදිරිපත් කරන නිසා ම නොවේ. එම හිංසනය දරා ගනිමින්, ජීවිතයට මුහුණදෙන හා අනාගත අපේක්ෂා දල්වමින් ඉදිරියට යන දිරිය තරුණියක් අපට මෙහි දී මුණගැසෙයි. ඇය ස්ත්‍රී වර්ගයාට නව ජීවයක් ලබාදෙන අතර, පුරුෂ පාර්ශ්වයේ මනස අවදි කරවයි. බරපතළ හිංසනයකට ලක්වන නාදියාට, දිවි නසා ගැනීමට සිත්වේ. එහෙත්, පෙරළා ඇය තමන්ගෙන්ම විමසා සිටින්නී, දිවි තොරකර ගැනීම විසැඳුමක් ද? යන්න ය. නාදියා අයි. එස්. ත්‍රස්තයන් හමුවේ සිය විරෝධය දක්වන අවස්ථා ද තිබේ. ඇය වරක් අයි. එස්. ත්‍රස්තයකුගේ මුහුණට කෙළ ගසයි.

පොත කියවා අවසන් වනවිට, නාදියා වීරවරියක ලෙස අප ඉදිරියෙහි පෙනී සිටී. එය අයුක්තියට එරෙහිව නැඟීසිටීමට ස්ත්‍රී වර්ගයා පොලඹවනසුලු සාධකයක් සේ සැලැකිය හැකි ය. මේ කෘතිය සිංහලට නැඟීම ඉතා කාලෝචිත ය.

කෘතියේ පරිවර්තනය සම්බන්ධයෙන් විවේචන දෙකක් ද ඉදිරිපත් කළ යුතුව තිබේ. පළමු විවේචනය එල්ල වන්නේ, පරිවර්තනයට යොදා ඇති නම, නැතහොත් හෙඩිම සම්බන්ධයෙනි.

මුල් කෘතිය “ The Last Girl” ලෙස හඳුන්වා ඇත. එය හොඳින් ගැළපෙන, රිද්මයක් හා යටි අරුතක් සහිත හෙඩිමකි. මුල් කෘතියේ තැන් කිහිපයකදීම අන්තිම කෙල්ල යන්නට ගැළපෙන විවරණ දක්නට ලැබේ. එහෙත් පරිවර්තකයා එය සිංහලට නඟා ඇත්තේ “ගිනිගත් සඳ” යනුවෙන් ය. මුල් හෙඩිමේ ගැම්ම මුළුමනින් ම විනාශ කර ඇත. පරිවර්තකයා තව ම පසුවන්නේ සඳ-තරු අල්ලන පරණ යුගයක බව පෙනෙයි. දෙවැනි විවේචනය එල්ල වන්නේ, තුන්වැනි කොටසේ පරිවර්තනය කෙරෙහි ය. එම කොටස පරිවර්තනය කර ඇත්තේ, කිසිදු සැලැකිල්ලකින් තොරව ය. මුල් කෘතියේ තුන්වැනි කොටසේ රිද්මය හා සියුම් අර්ථ, පරිවර්තකයා හඳුනාගෙන නැත.

නව අදහස දක්වන්න