දුර ගමනට ඉඩ නැද්ද? | දිනමිණ

දුර ගමනට ඉඩ නැද්ද?

වැලිගම ප්‍රධාන බස් නැවතුම්පොළ දැනට වසර 10 කට පමණ පෙර රුපියල් ලක්ෂ තිස්පහක වියදමින් සාදා නිමකර ඇත. මේ නිසා පොදු මහජනයාට ඇති වූ සෙත ඉමහත්ය.

කොළඹ මාතර ප්‍රධාන බස් මාර්ගයේ පිහිටි වැලිගම බස් නැවතුම් පොළ පසුකර මාතර දික්වැල්ල, තංගල්ල, ඇඹිලිපිටිය , හම්බන්තොට, කතරගම,නුවරඑළිය, බදුල්ල , අම්පාර සහ දෙහිඅත්තකණ්ඩිය දක්වා යන බස් රථ ධාවනය වේ.

දිනපතා මාතරට සහ දුර ගමන් යෑම සඳහා වැලිගම බස් නැවතුමට පැමිණෙන ජනතාව දස දහස් ගණනකි. එහෙත් වැලිගම බස් රථ නැවතුම් පොළේ එම මගීන්ගේ පහසුව සඳහා ස්ථානයක් වෙන්කර නොමැතිවීම නිසා මාතරට හා දුර ගමන් යන මගීන්ට සිටීමට සිදුවී ඇත්තේ වැලිගම විවිධ සේවා සමුපකාර සමිති කාර්යාලය ඉදිරිපිට මහාමාර්ගය අසල සිට බස් රථවලට ගොඩවීමටය.

මෙම තත්ත්වය නිසා මගීන්ට අව්වෙන් සහ වැස්සෙන් සිදුවන පීඩා ඉමහත්ය. ස්ථීර බස් නැවතුම්පොළක් තිබියදී වසර දහයකට වැඩි කාලයක සිට පවතින මෙම අඩුපාඩුව පිළිබඳව කිසිදු වගකිවයුතු බලධාරියකුගේ අවධානයට යොමු වී නොමැත.

එම නිසා වගකිවයුතු බලධාරින්ගේ අවධානය යොමු වී නොපමාව වැලිගම බස් රථ නැවතුම් පොළෙහි ඉඩක් වෙන් කර දිය යුතු බව අවධාරණයෙන්ම දන්වා සිටිමි.

වසන්ත ද සිල්වා 
වැලිගම

නව අදහස දක්වන්න