දිසා බාලදක්ෂ කඳවුර කොට්ටාව ධර්මපාල මහ විදුහලේදී | දිනමිණ

දිසා බාලදක්ෂ කඳවුර කොට්ටාව ධර්මපාල මහ විදුහලේදී

හෝමාගම දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කරන ලද දිසා බාලදක්ෂ කඳවුර ජනවාරි මස 9දා සිට 12 දක්වා කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුළු සහ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ ‘නව ලොවකට - නව දැක්මක්’ යන තේමාව යටතේ මේ කඳවුර පැවැත්විණි.

හෝමාගම දිසා බාලදක්ෂ සංගමයේ සභාපති හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිහහේවා මහතා සහ විධායක කමිටුවේ සභාපති පුෂ්පකුමාර මහගම්මුල්ලගේ මහතාගේ මඟ පෙන්වීම හා සහාය ඇතිව හෝමාගම දිසා කොමසාරිස් ආචාර්ය අනිල් පෙරේරා මහතා මේ වැඩසටහනට නායකත්වය දුන් අතර සහාය දිසා කොමසාරිස් සම්පත් වසන්ත මහතා කඳවුරේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය.

මේ කඳවුරට මහරගම, හෝමාගම සහ කඩුවෙල මැතිවරණ කොට්ඨාසවලට අයත් පාසල්වල බාලදක්ෂ කණ්ඩායම් 25කට අයත් බාලදක්ෂයන් 750 කට ආසන්න සංඛ්‍යාවක් මෙන්ම පෝතක බාලදක්ෂ දරුවෝ 1200ක් පමණ සහභාගි වූහ. මේ කඳවුරේ සමාරම්භක උත්සවය ජාත්‍යන්තර සහයෝගීතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇතුළු විශේෂ ආරාධිතයෝ රැසක් සහභාගි වූහ. එදිනම බාලදක්ෂයන් සඳහා මෙන්ම පාසල් ළමයින් සඳහා ‘ගෝලීය ගම්මානය’ (GLOBAL VILLAGE) නමැති අධ්‍යාපනික ප්‍රදර්ශනය විවෘත කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ජීන්ටෙක් ආයතනය, මිහිකත මිතුරෝ වැනි ප්‍රදර්ශන කුටි ගණනාවකින් සමන්විත විය. එමෙන්ම බාලදක්ෂයන් විසින් නිර්මිත ප්‍රදර්ශන භාණ්ඩ හේතුවෙන් මේ ප්‍රදර්ශනයට විශාල අමුත්තන් ප්‍රමාණයක් ආකර්ෂණය විය.

කඳවුරේ වඩාත් වර්ණවත් හා ආකර්ශනීය සිදුවීම වූයේ SCOUT-O-RAMA බාලදක්ෂ එළිමහන් සංදර්ශනයයි. බාලදක්ෂ ව්‍යාපයෙහි ඉතිහාසය හා විකාශනය මෙන්ම එහි වර්තමාන තත්ත්වය වර්ණවත් ලෙස මෙයින් ප්‍රදර්ශනය වූ අතර, බාලදක්ෂයන්ට ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ද එය ඉවහල් විය. මේ අවස්ථාවට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඇමැති සහ උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසත්, හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙසත් සහභාගි වූහ. පෝතක බාලදක්ෂයින් 1,200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජනවාරි 11 වන දින කඳවුරේ පෝතක බාලදක්ෂ දිනය පැවති අතර සහකාර ප්‍රධාන කොමසාරිස් වත්සලා විජ‍යවික්‍රම මහත්මිය ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වූවාය.

දිසා කඳවු‍රෙහි සමාප්ති උළෙල ජනවාරි 12 වන දින පැවැත්වූ අතර, ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද ස්වේච්ඡා බලකායේ සේනා විධායක මේජර් ජෙනරාල් ජගත්  ගුණවර්ධන මහතා සහභාගී විය. මෙම කඳවු‍ර සාර්ථක කර ගැනීම සදහා සුවිශේෂ සහායක් ලබා දුන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සුබපැතුම් එක්කරමින් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා මෙම සමාප්ති උත්සවයට එක්වී‍ම මගින් බාලදක්ෂ ව්‍යාපාරය කෙරෙහි ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඇති සහයෝගය හා ළැදියාව මනාව පෙන්නුම් ක‍ළේය.

ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි මහතා විශේෂ ආරාධිත ලෙස එක්වූ මෙම සමාප්ති උත්සවයේදී මහරගම ජනාධිපති විද්‍යාලය අඛණ්ඩව හයවැනි වරටත් දිස්ත්‍රික් ශූරතා කුසලානය දිනාගත් අතර, අනුශූරතාව පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට හිමිවිය.

නව අදහස දක්වන්න