රජ පවු­ල අවුල වූ නිව් අයිඩියා ටැබ්ලොයිඩ් | දිනමිණ


 

රජ පවු­ල අවුල වූ නිව් අයිඩියා ටැබ්ලොයිඩ්

හැරී කුමරු සහ මේගන් මාක්ල් කුමරිය බ්‍රිතාන්‍ය රජ පවුලෙන් වෙන් වී ජීවත්වීමට තීරණය කිරීම ජනප්‍රිය පුවත්පත් දෙක තුනක් රජ පවුල ‘ගිනි ගන්නා’ පුවත් නිර්මාණය කරන්න පටන් ගෙන.

ප්‍රසිද්ධ ටැබ්ලොයිඩ් පුවත් පතක් වන ‘නිව් අයිඩියා’ දැන් ‘රාජකීය අමුලික බොරු’ පැතිරවීමේ ප්‍රමුඛයා බවට පත්වෙලා.. පුවත් පතේ අලුත්ම කලාපයේ ප්‍රධාන සිරස්තලය වුණේ ‘මේගන් ටොම් කෲස්ව අල්ලාගනී’ ඒ යටතේ වුණේ හොලිවුඩ් ලොව වැජඹුණු මේගන් යළි රංගනයට පිවිසෙන්නට කල් යල් බලන බවයි.

එහි තව දුරටත් සඳහන් වන්නේ මේගන් හොර රහසේම සුපිරි හොලිවුඩ් නළු ටොම් ක්රූස්ව හමුවෙලාලු. හැරී කුමරුට රහසේ මේ හමුවීම සිදුවෙලාලු. පිටු දෙකක් පුරා ඡායාරූප සමඟ පළකර ඇති එම පුවත් ලිපියෙහි අතුරු සිරස්තලයක සඳහන් වන්නේ ‍ටොම්ගේ මැදිහත්වීමෙන් මේගන් යළි හොලිවුඩයට පා තබන බවයි.

කෙසේ වෙතත් මේ පුවත් ගැන මත පළ කරන බ්‍රිතාන්‍ය සහ හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ මෙය පාඨකයන් නොමග යවන ‘අල්ලේ පැළවෙන බොරු’ බවයි. මේ තොරතුරු සමඟ පළ වී ඇති මේගන් සහ ටොම්ගේ ඡායාරූපවලින් හඟවා ඇත්තේ ඔවුන් දෙදෙනා අතර යම් සබඳකමක් පවතින බවක්.

මේ ලිපියෙහි තවත් කෙප්පයක් අමු අමුවේ පළ කර ඇතැයි හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ පාඨකයන්ගේ ඇස් අරවමින් ... එහි සඳහන් වන්නේ මේගන්ගේ සොහොයුරෙකු වන ටොම් මාක්ල් පැවසුවේ යැයි කියන කරුණක්.

“මම දැ‍නගෙන හිටියා මේගන් හොලිවුඩ් සිනමාව කවදාවත් අත් නොහරින බව. ඒ නිසා මම දැනගත්තා ලොස්ඇන්ජලීස්වලින් ගෙයක් අරගෙන මේගන්, හැරීත් එක්ක පදිංචියට යන බව” ටොම් පැවසූ දෙයක් ලෙස සඳහන් වන මෙහි කිසිදු ඇත්තක් නැතැයි හොලිවුඩ් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඒ සඳහා ඇති හොඳම සාක්ෂි වන්නේ ටොම් සහ මේගන් වසර කිහිපයකින් හමුවී නැතිවීමත්, ටොම්, හැරී - මේගන් විවාහ මංගල්‍යයට ඇරයුම් නොලද අයෙකු වීමත් යැයි සිහිපත් කරනවා.

බොරුවලින් ‘අංග සම්පූර්ණ’ වී ඇති මේ පුවත් ලිපියට එක්කළ ඡායාරූප අතර එක් ඡායාරූපයක දැක්වෙන්නේ ටොම් සහ මේගන් එකට ඇවිදිමින් කතාබහ කරන අයුරුයි. නමුත්, මේ ඡායාරූපය ‘ෆොටෝෂොප්’ කළ එකකැයි පැවසෙනවා. මෙය, ටොම් සහ මේගන් අවස්ථා දෙකකදී ගන්නා ලද ඡායාරූපය දෙකක්.

මේගන් 2017 දී ස්පාඤ්ඤයට ගිය මොහොතකදී ගත් ඡායාරූපයක් සහ 2015 දී ටොම් හොලිවුඩ් චිත්‍රපටයක රූපගත කිරීමකට ගිය විටෙකදී ගන්නා ලද ඡායාරූපයක් ‘බද්ධ’ කර සැකසූ මේ ඡායාරූපයෙන් පාඨකයා නොමග යවා ඇතැයි හොලිවුඩ් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

‘නිව් අයිඩියා’ පුවත් පතෙහි පුවත් වාර්තාකරණ ස්වරූපය දන්නා තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ මීට සති 3කට පෙර එම පුවත්පත හැරී - මේගන් යුවළ වෙන් වූ බවට බොරුවක් ද පළ කළ බවයි.

නව අදහස දක්වන්න