විකිණූ අර්තාපල්වලට මුදල් නෑ ගොවීහු කබලෙන් ළිපට | දිනමිණ

විකිණූ අර්තාපල්වලට මුදල් නෑ ගොවීහු කබලෙන් ළිපට

සීමා සහිත සමුපකාර පාරිභෝගික සමිතිය විසින් 2018 වසරේ ණය පදනමින් මිලට ගත් අර්තාපල්වලට මෙතෙක් මුදල් ගෙවීම පැහැර ඇති බැවින් එම මුදල් කඩිනමින් ලබා දීමට මැදිහත් වන ලෙසට වැලිමඩ සානුවේ අර්තාපල් ගොවීන් රජයෙන් ඉල්ලා සිටිති. මිලක් ඉල්ලා ඔවුන් මහමඟ අරගල කරති.

ආනයන අර්තාපල් හේතුවෙන් 2018 - 19 එම කන්නයේ මිල පහත වැටීම නිසා පසුගිය රජය මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිතිය මඟින් කිලෝව රුපියල් 95කට නියම කර එම මුදලින් රුපියල් 03ක කොමිස් ලබා ගැනීමේ පදනම මත තමන්ගෙන් මිල දී ගත් අර්තාපල්වලට 20% ක පමණ මුදලක් වසරකට වැඩිකාලයක් ගතවී ඇතත් මෙතෙක් ලබාදීම පැහැර ඇතැයි ගොවියෝ චෝදනා කරති.

මේ පිළිබඳව වැලිමඩ - ඌවපරණගම ගොවිජන එකමුතුවේ සභාපති ඩබ්ලිව්.එම්. ගුණවර්ධන මහතා මෙසේ පැවසීය,

"වැලිමඩ සානුවේ අර්තාපල් වගා කන්නවල දී පිටරට අර්තාපල් වෙළෙඳපොළට අසීමිතව ලැබීම නිසා මිල පහත වැටෙනවා. අස්වනු සමයේ ආනයන බද්ධ වැඩි කළාට පළක් වුණේ නෑ. අනික මෙසේ ආනයන බද්ධ වැඩි කිරීමත් සමඟම වෙළෙඳපොළේ ඇති පිටරට අල මිලද වෙළෙඳුන් වැඩිකරමින් වක්‍රව තවත් වැඩි ලාභයක් උපයනවා. පෞද්ගලික වෙළෙඳුන් අල ගොවීන් ගසා කනවා. එයින් මුදවා ගන්න කියලා 2018 යල කන්නයේ අල මිලට ගන්න පසුගිය රජය විසින් සීමාසහිත සමුපකාර පාරිභෝගික සමිතියට පැවරුවා. අර්තාපල් කිලෝව රුපියල් 95ට මිල නියම කර එම මුදලින් කිලෝවට රුපියල් 03ක කොමිස් මුදලක් අයකර ගැනීමේ පදනම යටතේ පාරිභෝගික සමුපකාර සමිතිය ණය පදනමින් අර්තාපල් මිලට ගැනීමට පියවර ගත්තා. අන්තිමට එම සමුපකාර සමිතිය විසින් ගොවියාට මුදල් නොගෙවා අමාරුවේ දමලා.

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් චමින්ද වීරසිංහ මහතා,

2018 යල්කන්නයට අදාළව අර්තාපල් සඳහා ගොවීන්ට ලබාදීමට ඇති හිඟමුදල ගෙවා අවසන් කර නොමැති නිසා අදාළ එම හිඟමුදල කඩිනමින් ගෙවා අවසන් කරන ලෙසට බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරිය මඟින් අදාළ සීමා සහිත පාරිභෝගික සමුපකාර සමිතියට සම්බන්ධ වගකිවයුතු අංශ දැනුවත් කර තිබෙනවා. ඉදිරියේ දී එම මුදල් ගෙවා අවසන් කරන බවට විශ්වාස කරනවායි ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

 

 වැලිමඩ සමූහ

ආර්. රාජමන්ත්‍රී 

නව අදහස දක්වන්න