නාමල්-ජොන්ස්ටන්අත්අඩංගුවට ගන්නාකුමන්ත්‍රණයකහඬපටයක් රන්ජන් ළඟ | දිනමිණ


 

නාමල්-ජොන්ස්ටන්අත්අඩංගුවට ගන්නාකුමන්ත්‍රණයකහඬපටයක් රන්ජන් ළඟ

CID නිලධාරියකුට දැඩි බලපෑම්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ව යහපාලන ආණ්ඩුව සමයේ දී අත්අඩංගුවට ගෙන සිරගත කිරීමකට එවකට හිටපු රාජ්‍ය ඇමැතිවරයෙක් වන රංජන් රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට කරන බලපෑමක හඬ පටයක් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට ලැබී ඇත.

රංජන් රාමනායක මහතා 2016 වසරේ සිට සිය ජංගම දුරකතනයෙන් ලබාගත් ඇමතුම් සහ ලද ඇමතුම් පටිගතකර ගබඩාකර තිබී ඇති බවත්, නාමල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු සිරගත කිරීමට බලපෑම් කිරීම් සම්බන්ධයෙන් වූ සංවාද තිබී ඇත්තේ එම පටිගත කිරීම්වල බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

දුරකතන සංවාදවලට අමතරව ඔහු පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් පුද්ගලයන් සමඟ කළ කතාබහ ද පටිගතකර ඇති බවත්, සුවිශේෂී ඇතැම් පුද්ගල හමුවීම් සහ කතාබහ ඔහු රහසේ වීඩියෝ ගත කර ඇති බවත්, විමර්ශනවලින් පෙනී යන බව එම නිලධාරියා පැවැසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ සුවිශේෂි අපරාධ විමර්ශන තුනක ගොනු ද රන්ජන් රාමනායක මහතා සතුව තිබී හමු වී ඇතැයි ද එම නිලධාරියා කීය. එම ගොනු ඔහු අතට පත්වීම ගැටලු සහගත බවත්, ඒ ගැන ද විමර්ශනයක් පැවැත්වෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන්ට පවා ඇමතුම් දෙමින් නඩු කටයුතු ගැන කෙරන කතාබහ ද හඬපටවල ඇතැයි එම නිලධාරියා කීය. මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එම දඬුවම ලබාදීමට පෙර ඒ සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා නඩුවට සම්බන්ධ විනිසුරුවරියක් සමඟ කළ කතාබහක් ඇතුළත් හඬ පටයක් ද ලැබී ඇතැයි එම නිලධාරියා කීය. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් තරුණ මන්ත්‍රීවරියක් සමඟ රංජන් රාමනායක මහතා වැඩි වශයෙන් කතාබහ කර ඇති බවත්, ඇය සමඟ ඔහු නිරන්තරයෙන් කතාබහ සිදුවන්නේ ඉතා අසභ්‍ය කාරණා ගැන බවත්, එම නිලධාරියා පැවැසීය.

රන්ජන් රාමනායක මහතාගේ එම හඬපටවල රාජ්‍ය රහස් මෙන්ම ජාතික ආරක්ෂාව ගැන රහස් ද ඇතුළත්ව තිබෙන බව එම නිලධාරියා සඳහන් කළේය. යහපාලන ආණ්ඩුව සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂ පොලිස් අංශ කිහිපයක සිදුවුණු විමර්ශන සැබෑ ලෙසම සිදුවීයේ පරීක්ෂණවලින් අනාවරණය වූ කාරණා මත ද නැති නම් දේශපාලන උවමනාවක් මත විපක්ෂයේ දේශපාලනඥයන් සිරගත කිරීම සදහා දැයි ගැටලුවක් එම දුරකතන සංවාද විමර්ශනයේ දී පෙනී යන බවද එම නිලධාරියා පැවැසීය.

මේ වන විට එම දුරකතන සංවාද විමර්ශනයට ලක්වන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ද ඒ සඳහා බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසයට ලැබෙන බවත්, එම නිලධාරියා සඳහන් කළේය. ගැටලු සහගත සංවාද ගැන අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරිපියවර ගන්නා බවත්, එම සංවාදවලට සම්බන්ධ පුද්ගලයන්ගේ ප්‍රකාශ පවා සටහන්කරමින් හඬ පරීක්ෂාවකට පවා ඒ අය යොමු කිරීමට සිදුවනු ඇති බවත්, එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න