මගේ හඬපටත් රන්ජන් ළඟ ඇති | දිනමිණ


 

මගේ හඬපටත් රන්ජන් ළඟ ඇති

ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකතන සංවාද හඬපට නිකුත්වීමත් සමඟ මෙරට ඇතිවී තිබෙන දේශපාලන කසුකුසුව, ඉඩම් අමාත්‍යවරයා වශයෙන් ඉඩම් සම්බන්ධ ගැටලුවලට පිළිතුරු සෙවීමට ගනු ලබන පියවර ගෙවුණු යහපාලන යුගය සහ අනාගත දේශපාලනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය එස්. බී. දිසානායක

සාකච්ඡාවට එක්වේ.

ෂැන්ග්‍රිලා රටට සම්පතක්

යහපාලනයෙන් ඉඩම් ඔප්පු දුන්නෙ යටි අරමුණකින්

එජාපයට යාම ගැන දුක්වෙනවා‍

මිනින්දෝරු සේවයට වාහන නැහැ

පාර්ලිමේන්තුවත් අධිකරණයත් 19න් රැවැට්ටුවා

ශ්‍රීලනිප පදනම පොහොට්ටුවට ආවා

ඉඩම් ප්‍රතිපත්තියෙදි පරිසරය ගැනත් හිතන්න ඕන

ගිනිපොලී ක්‍රමය ගමට තර්ජනයක්

ඉඩම් සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තියක් නැති බවට පහුගිය කාලය පුරා චෝදනා එල්ලවුණා. මේ චෝදනාව නිවැරදි කරන්න ඔබට පුළුවන්වෙයි ද?

ඉඩම් ප්‍රතිපත්තියක් හදන්න ඕන. ලංකාවෙ භූමිය පිළිබඳ අලුත් සැලැස්මක් අවශ්‍යයි. අපේ රටේ භූමිය ඉතාම වේගයෙන් විනාශවෙනවා. මේ තත්ත්වය ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඇමේසන් වනාන්තරය පවා විනාශ වෙනවා. ලෝක පරිසරය විනාශයට යනවා.පරිසර විනාශය හරහා අපේ දේශගුණයටත් දැඩි බලපෑමක් එල්ල වෙනවා. ඉඩම් ප්‍රතිපත්ති හදද්දි පරිසරය ගැනත් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. අපේ වන ගහනය තව වැඩි කරන්න ඕන. වගුරු බිම් ගොඩකිරීමේදී භූමියත් පසත් ආරක්ෂාවෙන වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඉඩම් සංවර්ධනය කියන කාරණයෙදි අපි මීට වඩා සැලකිළිමත් වෙන්න ඕන. ලෝකයෙ දියුණු රටවල් ලඳු කැලෑ, වගුරු බිම්, වනාන්තර විනාශ කරනකොට ඒව ආරක්ෂාකිරීම අතින් අපි දියුණු තැනක ඉන්නවා. තිරසර සංවර්ධනයෙදි පරිසරයට හිතකර, මහජනතාව පිළිගන්න, රටට ආර්ථික වශයෙන් ඵලදායී භූමියක් ගොඩනඟන්න අවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ භූමිය කළමනාකරණයෙදි වගකීම තියෙන්නෙ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයට නේද?

ඒක මහ අමාරු වැඩක් නෙවෙයි. අපිට තියෙන භූමිය නිසි කළමනාකරණයක් නොකළොත් මේ රටේ ඉපදෙන පරම්පරාවට අපි ලොකු අසාධාරණයක් කරන්නෙ. එක්සත් ජාතික පක්ෂය රජයේ ඉඩම්වල ඉන්න ගොවියන්ට සින්නක්කර ඔප්පු දුන්නා. ඒක හරි ආකර්ශනීය සටන්පාඨයක්, වැඩපිළිවෙළක්. ඒ වැඩ පිළිවෙළේ යටි අරමුණවුණේ වෙන එකක්. ලෝක බැංකුව කියන්නෙ කුඩා කුඩා ඉඩම් වෙන්වෙන්ව තිබිල රටේ ආර්ථිකය ගොඩනඟන්න බැහැ කියල. මිනිස්සුන්ට විකුණගන්න පුළුවන් විදියට ඉඩම්වල අයිතිය දුන්නා. සින්නක්කර ඔප්පු ගත්තු අය ඉඩම් ටික විකුණනකොට ක්ෂුද්‍ර මූල්‍ය ණය කොම්පැනිකාරයො මේ ඉඩම් ටික ගන්නවා. මේ කොම්පැනිකාරයො දැනටමත් ඉඩම්වලින් 40%ක් විතර අරගෙන ඉවරයි.

 ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා ග්‍රාමීය ජනතාව දැඩි පීඩනයකට පත්වෙලා. මේ ජනතාව ඉන් ගලවාගන්න වැඩපිළිවෙළක් කිසිම ආණ්ඩුවකට තිබුණෙ නැහැ නේද?

ඇයි නැත්තෙ. සමෘද්ධිය හරහා කළේ ඒ වැඩපිළිවෙළ තමයි. 1994දි සමෘද්ධිය හදද්දි, ලෝකයෙ දුප්පත්කම නැති කිරීම ගැන තිබුණු හොඳම වැඩසටහන් අපි අධ්‍යයනය කළා. සමෘද්ධියට විශාල ගැඹුරු දර්ශනයක් වගේම වැඩපිළිවෙළක් තියෙනවා. දුප්පතුන් වෙනුවෙන් ශක්තිමත් ආරක්ෂණ දැලක් එළීම, දුප්පතුන්ගෙ අවශ්‍යතා සපුරන මූල්‍ය ආධාරයක් කිරීම, ඔවුන්ගෙ හදිසි කරදරයකදි ඔවුන්ට පිහිටවෙන්න පුළුවන් ශක්තිමත් අරමුදලක් ගොඩනැඟීම, ඔවුන්ගෙම මුදලින්, ඔවුන් විසින්ම පාලනය කරන ඔවුන්ගේම බැංකුවක් නිර්මාණය කිරීම තමයි අපේ අරමුණ වුණේ. දුගී දුප්පත්කම නැති කිරීමෙදි මිනිස්සු මුහුණදෙන ප්‍රධානම තර්ජනය තමයි ගමේ ක්‍රියාත්මක වෙන ගිනි පොලී ක්‍රමය. ඒකෙන් මිනිස්සු ගලවගන්න තිබ්බ වැඩ පිළිවෙළ එක්සත් ජාතික පක්ෂය ලංකාවෙ ඉන්න හොඳම ගිනි පොලීකාරයට බාරදුන්නා.

තමන් පදිංචි ඉඩමෙ සින්නක්කර ඔප්පුව නැතිනම්, අඩුමතරමෙ නිවස හදාගන්න බැංකු ණයක්වත් ගන්න බැහැනේද?

ජනපදවල ඉන්න, ආණ්ඩුවෙ ඉඩම්වල ඉන්න මිනිස්සුන්ට පැහැදිලි ඔප්පුවක් අවශ්‍යයි. ඒක විකුණන්න දෙන එකක් වෙන්න බැහැ. සමෘද්ධි ව්‍යාපාරය තුළ හදල තියෙන නිවාස අරමුදලෙ හැම මාසයකම ග්‍රාමසේවක කොට්ඨාසයකට නිවසක් දෙන වැඩපිළිවෙළක් තියෙනවා. ඒ යටතෙ දුප්පත් පවුලකට රුපියල් ලක්ෂ දෙකක මුදලක් දෙනවා. කටුමැටි ගහපු, ගොම මැටි පොළොව තියෙන, පිදුරු හෙවිල්ලපු නිවාස දැන් ලංකාවෙ ඉතාම අඩුයි.

බිම් සවිය යටතේ ඉඩම් මැනීමේ කටයුතු පහුගිය කාලයේ නතරවුණා. මේ මැනීම් කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක වෙනව ද?

නැවතිල නැහැ. බිම් සවිය කෙරීගෙන යනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට වාහන 250ක් ඕන. එක මිනින්දෝරුවෙකුටවත් වාහන නැහැ. මේ ගැන ඇමතිතුමාගෙ අවධානයටත් ලක්කළා. එතුමා ඒක කැබිනට් මණ්ඩලයෙදි කතාකරයි. වහාම වාහන ලබාදෙන්න ඕන.

රජය සතු ඉඩම් බදු පදනම යටතේ ලබාදීම ගැන පහුගිය ආණ්ඩුවට ‍චෝදනා එල්ල වුණා. වර්තමාන ආණ්ඩුවත් බදු පදනම යටතේ ඉඩම් ලබාදීම ආරම්භ කරලා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

වැවිලි සංස්ථාව යටතෙ තියෙන හැම වත්තක්ම පාඩු ලබනවා. ඒ වතුවල නිෂ්පාදනය ඉතාම අඩුයි. රජයේ තේ අක්කරයකින් ගන්න නිෂ්පාදනය වගේ තුන් ගුණයක නිෂ්පාදනයක් පෞද්ගලික කුඩා තේවතු හිමියො, තේ අක්කරයකින් ගන්නවා. අලාභ ලබන තේ වතුවල ඉඩම් අක්කර දෙක තුන වගේ කොටස් කරල තේ වතු කම්කරුවන්ට දීර්ඝ කාලීන බද්දකට දෙන්න කියල අපි යෝජනා කළා. ඒ වගේම තේ නැවත වගාකරන්න, තේ වතු නඩත්තු කරන්න ඒ අයට ආධාරත් දෙන්න ඕන. කෙන්යාව වගේ රටවල්වල තේ නිෂ්පාදනය දියුණු කළේ කුඩා තේවතු හිමියන් එක්ක. ලංකාවෙත් කුඩා තේවතු, රබර් වතු, කුරුඳු වතු හිමියන්ගෙ නිෂ්පාදනයත් හොඳයි. ඔවුන්ගෙ නඩත්තුවත් හොඳයි.

ඉහළ වාණිජ වටිනාකමක් ඇති ඉඩම් පවා 99 අවුරුදු බදු පදනම යටතේ විදේශීය සමාගම්වලට දීම ගැන මොකද කියන්නෙ?

ෂැංග්‍රිල්ලා එක ළඟ ඉඩම ඔවුන්ට ඇරෙන්න වෙන කාටවත් වටින්නෙ නැහැ. ඒක දෙන්න තිබුණෙ 2015දී. පහුගිය කාලෙ මේ ඉඩමට අතයට සල්ලි ඉල්ලුවා. ඒ නිසා තමයි ඒක ප්‍රමාද වුණේ. සමාගම ඒකට කැමති වුණේ නැහැ. පසුගිය ආණ්ඩුව ඒ හින්ද ඉඩම දුන්නෙ නැහැ. මේ ආණ්ඩුව ආපුගමන් දුන්නා. ෂැංග්‍රිල්ලා ව්‍යාපාරය කියන්නෙ අපිට ආපු ලොකු සම්පතක්. අපේ රටේ ආදායම වැඩි කරගන්න ලේසි, ක්ෂණික, පහසුම ව්‍යාපාරය තමයි සංචාරක ව්‍යාපාරය. ඒ වගේම ආදායම වැඩිකරගන්න පුළුවන් තවත් අංශයක් තමයි උසස් අධ්‍යාපනය. පෞද්ගලික ඉංජිනේරු, තාක්ෂණ, වෛද්‍ය විද්‍යාල දහයක් පහළොවක් හදන්න පුළුවන්නම් සංචාරක හෝටල්වලින් ගන්න ආදායම වගේ තුන්ගුණයක් ගන්න පුළුවන්. මේවට එන විදේශීය දරුවො මේ රටේ නවතිනවා. ඒ අය දිනපතා මුදල් වියදම් කරනවා. උසස් අධ්‍යාපනය ජාත්‍යන්තර දරුවන්ට විවෘත කරන්න ඕන. මම උසස් අධ්‍යාපන ඇමතිවෙලා ඉන්නකොට මේ විශ්වවිද්‍යාලවලට පිටරට දරුවො ගෙනැල්ල දැම්මා. දැන් ඒ දරුවො එළවගෙන.

ඔබ එහෙම කිව්වත්, යහපාලන ආණ්ඩුව කාලෙ පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව විශාල හඬක් නැඟුනා නේද?

කවුරු කළත් ඒක වැරදියි. විරුද්ධ වුණේ වෛද්‍ය සංගමයනෙ. වෛද්‍ය සංගමය අපිට බොහොම පක්ෂයි. මේ ආණ්ඩුව බලයට පත්කරගන්නත් විශාල වශයෙන් ඒ අය කැපවුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තය ජනාධිපති කරන්නත් ඒ අය විශාල කැපවීමක් කළා. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කත් හොඳ සම්බන්ධයක් තියෙනවා. ඒ මොනව තිබුණත්, හෙද හෙදියන්ට, ඇපෝතිකරි කෙනෙක්ට, පිසියොතෙරපි කෙනෙක්ට, ෆාමසිස්ට් කෙනෙක්ට උපාධියක් ගන්න දෙනවට විරුද්ධනම්, ලංකාවෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්න දෙන්නෙ නැත්නම් ඒක ප්‍රගතිශීලී පියවරක් නෙවෙයි, ප්‍රතිගාමී ලංකාවට හානිකර ප්‍රතිපත්තියක්. ඒක තමයි ඇත්ත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මහලේකම් හැටියට හිටපු ඔබ මෙවර මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණෙන් තරගකරන්න සූදානම් වෙනවා. මේ ගැන මොකද කියන්නෙ?

එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතුවීමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දුරට මියැදුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි මන්ත්‍රීවරු කිහිපදෙනකුයි එකතුවෙලා යම් කිසි ප්‍රාණ ජීවයක් රැකගන්න උත්සාහ කළත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ පදනම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතුවෙලා ඉවරයි. ඒ විප්ලවය කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. එතුමට ඒ ගෞරවය දෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වමත් එක්ක සමගිව, දේශීය ආර්ථිකයක් ගොඩනැඟීම බෞද්ධාගමට කිට්ටුවෙන්, සිංහල බෞද්ධ පදනමෙන් ගිය හැම අවස්ථාවකම දිණුවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමාට පක්ෂ සභාපතිකම දීපු එක වරදක් හැටියට මම අදත් දකිනවා. ඒ පක්ෂ නායකත්වය දීමත් එක්ක අපි සේරම අනාථවුණා. චන්ද්‍රිකා එක්ක තරහවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැහැල යූ. එන්. පී. යට ගිය එක ගැන මම හැමදාම දුක්වෙන මිනිහෙක්. මහින්ද රාජපක්ෂ මහත්තය මාව ආයෙත් ශ්‍රී ලංකා එකට ගත්තම මම හිතුවෙ ආයෙනම් කවදාවත් ශ්‍රී ලංකා එකෙන් යන්නෙ නැහැ කියලයි. ඒ හින්ද තමයි මම එල්ලි එල්ලි ශ්‍රී ලංකා එකේ හිටියෙ. ආයෙත් ශ්‍රී ලංකා එක එක්සත් ජාතික පක්ෂයට ඇදගෙන යන බව තේරෙනකොට මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ ව්‍යාපාරයට එකතුවුණා.

ආණ්ඩුව ඊළඟ මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නෙ ඇයි?

පහුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය ආසන හැටියට ගත්තොත් අපිට ආසන 128ක් තියෙනවා. ජ.වි.පෙ.ට තියෙන්නෙ ජාතික ලයිස්තු මන්ත්‍රීකම විතරයි. එක්සත් ජාතික පක්ෂයයි ටී. එන්. ඒ. එකයි, අනෙක් සේරමයි එකතු කළොත් ආසන 95යි. පළවෙනියෙන්ම 19න් කරපු මහා අවුල නිරාකරණය කරගන්න ඕන. ස්වාධීන කොමිෂන් සභා කියල දේශපාලන මර උගුල් ටිකක් කළා. ඒ නිසා 19න් සිදුවෙච්ච අවුල නිරාකරණය කරගන්න ඕන. අනෙක් එක මනාප ක්‍රමය හරහා ඡන්ද දායකයන් හුදකලාවෙන ක්‍රමය නැතිකරල ඡන්ද දායකයට මන්ත්‍රීකෙනෙක් ලබාදෙන ක්‍රමයකට යන්න ඕන. විධායක ජනාධිපති තවත් ශක්තිමත් කරන්න ඕන.

ඔබ 19ට අත ඉස්සුවා දැන් 19 අහෝසි කරන්න කතා කරනවා?

19ට ඔය කවුරුත් අත ඉස්සුවනෙ. 19 කියන්නෙ මහ රෑත් වෙනස් කරපු සංශෝධනයක්. පාර්ලිමේන්තුවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒකෙන් රැවැට්ටුවා.

ස්වාධීන කොමිෂන් සභා ඇතිවෙන්නෙ දූෂණය අවම කරන්න ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇතිකරන්නනෙ 19න් එය අහෝසිවීමත් එක්ක ඒ ක්‍රියාවලියත් නැතිවෙනව නේද?

ශක්තිමත් නායකයට දූෂණය කියන එක නැත්තටම නැතිකරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ හැකියාව තියෙනවා.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙ හඬපට අතර ඔබේ හඬපටත් තියෙන්න පුළුවන් ද?

තියෙන්න පුළුවන්. මොකද බැරි. අවුරුදු ගණනාවක්ම රන්ජන් මගෙ නියෝජ්‍ය ඇමතිනෙ. හැමදාම උදේ, දවල් හවස රන්ජන් මට මුණගැහුණා. ඒ වුණාට ඔය හඬපටවල තියෙන දේවල් අපි කවදාවත් කතාකරල නැහැ. නියෝජ්‍ය ඇමති හැටියට රන්ජන් මට හොඳට උදව් කළා.

මේ දුරකථන සංවාද ගැන ඔබේ අදහස මොකක් ද?

ඒක මහ අවාසනාවන්ත දෙයක්. මෙහෙම දුරකථන සංවාද ටේප් කරපු එක මට ප්‍රශ්නයක්. සාමාන්‍ය කෙනෙක්නම් ඔහොම හැම සංවාදෙම ටේප් කරන්නෙ නැහැනෙ. මේක අසාමාන්‍ය දෙයක්. මේ හරහා අධිකරණය, රාජ්‍ය යාන්ත්‍රණය යම් බියවීමක් වෙනවා. හිටපු අගමැතිතුමා රන්ජන්ව පාවිච්චි කළා. නැත්නම් රන්ජන්ට අධිකරණයට ඔහොම බලපෑමක් කරන්න බැහැ. පාර්ලිමේන්තුවෙත් කාටහරි බනින්න ඕන වුණාම හිටපු අගමැතිතුමා රන්ජන්ව ගෙනැල්ල ඒක කරනවා. ඒක අපි හොඳට දන්නවා.

 

සංවාදය

දුමින්ද සම්පත්

ඡායා

හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න