ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව:අදාළ දත්තයන්ට ප්‍රවේශවීමට අවසර දෙන්නැයි දුරකථන සමාගම් තුනකට නියෝග | දිනමිණ


 

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව:අදාළ දත්තයන්ට ප්‍රවේශවීමට අවසර දෙන්නැයි දුරකථන සමාගම් තුනකට නියෝග

කුමුදු හෙට්ටිආරච්චි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අයුතු ලෙස සිරකර තබා ගැනීමේ අදහසින් පැහැරගෙන ගොස් ඔහුගේ මරණය සිදු කළ බවට වන නඩුවේ සාක්කි ලෙස පැමිණිල්ල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන දුරකථන 10කට අදාළ දත්තයන්ට ප්‍රවේශවීම සඳහා විත්තියේ නීතිඥවරුනට අවසර ලබා දෙන ලෙසට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල දුරකථන සමාගම් තුනකට ඊයේ (13) නියෝග කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඊයේ (13) අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු එම නියෝගය නිකුත් කෙරුණි.

සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න හා ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාගයට ගැනේ.

විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහිව අධිචෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති මේ නඩුව ඊයේ (13) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා පවසා සිටියේ විත්තිය විසින් ඉල්ලා සිටි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ලේඛන රැසක් මේ වන විටත් විත්තියේ නීතිඥවරුන් හට ලබාදී ඇති බවයි.

නඩුවේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන දුරකථන 10කට අදාළ දත්ත පරීක්ෂා කිරීම සඳහා අධිකරණ අවසර මත මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විශේෂඥවරුන්ද සමඟ අදාළ දුරකථන ආයතන වෙත ගියද පරිගණක හා මෘදුකාංග ප්‍රවේශය සඳහා අධිකරණ නියෝගයක් නොමැතිව ප්‍රවේශවීමේ අවකාශ ලබාදිය නොහැකි බවට එම ආයතන දැන්වූ බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඊයේ (13) විනිසුරු මඬුල්ල වෙත දන්වා සිටියේය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ දත්තයන්ට ප්‍රවේශවීමට විත්තියේ නීතිඥවරුනට අවසර ලබාදෙන ලෙසට නියෝග කරමින් එම නියෝගය රහස් පොලිසිය හරහා අදාළ දුරකථන සමාගම් තුනට යොමු කරන ලෙසට අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කළේය.

1996 අංක 19 දරණ සාක්කි විධිවිධාන පනතේ 7 වගන්තියේ 1 ඇ අනුව එම ප්‍රවේශය ලබාදීම සඳහා විනිසුරු මඬුල්ල විසින් නියෝග කරන ලදී.

අදාළ ප්‍රවේශ තම අයිතිවාසිකම් වලට අගතියක් නොවන ලෙසට ලබාදෙන ලෙසද එම නියෝගයෙන් අදාළ දුරකථන සමාගම් වෙත දැනුම් දෙන ලදී.

නඩුව විභාගය මේ මස 20 වැනිදාට යළි කැඳවයි.

අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්ෂ හෙවත් නාදන්, විනි ප්‍රියන්ත, ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, යාපා මුදියන්සේලාගේ චමින්ද කුමාර අබේරත්න, සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, දංගහ ගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ හා ටී.ඊ. ආර්. පීරිස් යන විත්තිකරුවන් ඊයේ (13) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නව අදහස දක්වන්න