ගිහාන්ට එරෙහිව වරෙන්තු ගන්න සූදානමක් නෑ | දිනමිණ


 

ගිහාන්ට එරෙහිව වරෙන්තු ගන්න සූදානමක් නෑ

සුභාෂිණී සේනානායක

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයක් පැවැත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව වරෙන්තුවක් ලබා ගැනීමට පොලිසිය මෙම අවස්ථාවේ සූදානමක් නැති බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ(13) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච් යූ කේ පැල්පොල මහතා ඉදිරියේ නඩුව ඊයේ සවස කැඳවූ අතර එහිදී සාක්ෂි ලබා දීමට සූදානම් ද යන්න පොලිසියෙන් විමසා සිටි අවස්ථාවේ පොලිසිය මේ බව කියා සිටියේය.

ගිහාන් පිලපිටිය මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවෙක් ලෙස නම් කිරීමට අධිකරණයට කරුණු වාර්තා කර නැති බවත් විනිසුරුවරයාට වරෙන්තුවක් ලබා ගැනීමට උපදෙස් ලැබී නැති බවත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා මේ බව අධිකරණයට කියා සිටියේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අදාළ වලංගු බලපත්‍රයක් රහිත ගිනි අවියට අදාළ නඩුව සහ ආන්දෝලනාත්මක හඬ පට නඩුව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධිය නීතිය හා අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීමට අදාළ සිද්ධියක් බවත් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා අතර සාකච්ඡාවක් සිදු කර ඉදිරි දින අධිකරණයට කරුණු දක්වන බවත් ඉහළ ස්ථරයේ නිලධාරීන් අතර සිදු වූ උපදෙස් ගලා යාම පහළ ස්ථරය වෙත නොලැබී ඇති බවත් මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේය.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති නීතිඥවරුන් හය දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර එහි නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන බවය. එහි නිර්දේශ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඒ මහතා අධිකරණයට දන්වා සිටියේය. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගූවට ගැනීමට ප්‍රමාණවත් කරුණු නැහැ. එම නිසා වරෙන්තුවක් ඉල්ලා සිටීම සුදුසු නොවන බව ද ඒ මහතා කියා සිටියේය.

සියලු කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධියට අදාළ නඩුව ලබන 26 වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා, රත්නායක මහතා ඇතුළු නිලධාරින් පෙනී සිටි අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, ශාන්ත රණසිංහ මහතා ප්‍රමුඛ නිතිඥ මඩුල්ලක් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න