ක්‍රීඩකයන් 5කට කෝටි 2.5කට වැඩි ශිෂ්‍යත්ව | දිනමිණ


 

ක්‍රීඩකයන් 5කට කෝටි 2.5කට වැඩි ශිෂ්‍යත්ව

ප්‍රින්ස් ගුණසේකර

ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ අපේක්ෂාවෙන් මලල ක්‍රීඩා, බර ඉසිලීම, ජූඩෝ හා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5කට රුපියල් කෝටි දෙකහමාරකට අධික ශිෂ්‍යත්ව මුදලක් ප්‍රදානය වෙයි. වසර 2017දී ආරම්භ වූ මේ ගෙවීම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන මේ වසරේ අගෝස්තු මාසය දක්වා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් සහයෝගීතා අරමුදල ඔස්සේ ප්‍රදානය වෙයි.

එයට අමතරව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු අරමුදලින් මලල ක්‍රීඩා, බර ඉසිලීම, කරාටේ, මල්ලවපොර, බොක්සිං හා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසිකව රුපියල් එක්කෝටි හැට දෙලක්ෂ තිස්දහසක මුදලක් පසුගිය කාලයේ පිරිනමා ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බෙහෙත්, විටමින් හා පුහුණු කටයුතු වෙනුවෙන් මේ මුදල ප්‍රදානය කොට ඇත.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් සහයෝගීතා අරමුදල ඔස්සේ මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න හා විදූෂා ලක්ෂාණී මාසිකව අමෙරිකානු ඩොලර් 670 බැගින් ලබාගන්නා අතර බර ඉසිලීමේ ක්‍රීඩක තිලංක විරාජ් පළගසිංහට ද ඒ හා සමාන මුදලක් මාසිකව පිරිනැමේ. ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනට හා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහට අමෙරිකානු ඩොලර් 1000 බැගින් මාසිකව ප්‍රදානය කිරීමට ඔලිම්පික් සහයෝගීතා අරමුදල කටයුතු කොට ඇත.

මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම මුදල් ප්‍රදානය ජාතික ඔලිම්පික් කමිටුව මගින් නිර්දේශකර ඇති අතර කිහිපදෙනකු විදේශගතවී ක්‍රීඩා පුහුණුව ලැබීමට ද අවස්ථා හිමිකර ගත්හ. කෙසේ වුවද මෙතෙක් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයකු පරිසාධන මට්ටම පසුකර නොමැති අතර ස්වීඩනයේ ජීවත්වන ශ්‍රී ලාංකේය ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගත්තාය. ශ්‍රී ලංකාවේදී උපත ලබා මාස 3ක් ගතවෙද්දී ස්වීඩනයට රැගෙන ගිය මැටිල්ඩා පසුව ස්වීඩනයේ ක්‍රිස්ටියන්ස්ටාඩ් හි හැදී වැඩුණු අතර අශ්වාරෝහක වෘත්තිය ආරම්භ කර ඇත්තේ රයිටාර්සෝල්ස් කැප් ක්‍රීඩා සමාජයේදීය.

අවසන් වරට පැවැති රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක් සහභාගී වූ අතර එම කිසිවෙකු ඔලිම්පික් පරිසාධන මට්ටම්වලට ළගා නොවූවහ. ඔලිම්පික් පරිසාධන මට්ටම් පසුකරමින් සුදුසුකම් නොලැබූ අවස්ථාවලදී එම රටවල් ‘වයිල් කාඩ්’ ක්‍රමය යටතේ සහභාගී කර ගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කටයුතු කරන හෙයින් මෙවැනි අවස්ථා හිමි වේ.

එබැවින් මේ වසරේදී පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් නොලැබුවහොත් ‘වයිල් කාඩ්’ ක්‍රමය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුට අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

නව අදහස දක්වන්න