ලෝක පැරා රිදී දිනූ දිනේෂ්ට ඇමැති අතින් අද ලක්ෂ 42ක් | දිනමිණ


 

ලෝක පැරා රිදී දිනූ දිනේෂ්ට ඇමැති අතින් අද ලක්ෂ 42ක්

ප්‍රින්ස් ගුණසේකර

පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනාදුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 42 ක මුදල් තිළිණයක් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අතින් අද පස්වරු 3ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පිරිනැමෙයි.

මේ මුදල් තිළිණය ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අරමුදලින් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී දිනේෂ් ප්‍රියන්ත පිරිමි හෙල්ල විසිකිරීමේ F46 (එක් අතක් අහිමි) ඉසව්වේදී මීටර් 60. 59ක් හෙල්ල විසිකොට දක්ෂතාව දැක්විය. මෙහි රන් පදක්කම ඉන්දියාවේ සුන්දර් ගුර්ජාර් මීටර් 61. 22කින් හා ලෝකඩ පදක්කම ඉන්දියාවේම අජේ සිංග් මීටර් 59. 46කින් දිනාගත්හ.

මෙයට පෙර වසර 2016දී බ්‍රසීලයේ රියෝද ජැනයිරෝහී නිමාව දුටු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී දිනේෂ් ප්‍රියන්ත මේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් අතර ඒ වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 25ක්, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 15ක් හා පැරා ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන ඩයලොග් ආයතනයෙන් රුපියල් ලක්ෂ 10ක් ක්‍රීඩකයාට ප්‍රදානය කෙරුණි.

එමෙන්ම ඔහුගේ පුහුණුකරු රෝහිත බණ්ඩාර මහතාට රජයෙන් රුපියල් ලක්ෂ 6ක්, ක්‍රීඩා අමාත්‍යාංශයෙන්, රුපියල් ලක්ෂ 3.5ක් හා අනුග්‍රහය දක්වන ඩයලොග් ආයතනයෙන් රුපියල් ලක්ෂ 2.5ක් පිරිනැමුණි. රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී පිරිමි හෙල්ල විසිකිරීමේ F46 (එක් අතක් අහිමි) ඉසව්ව මීටර් 58.23කින් නිමා කිරීමට දිනේෂ් ප්‍රියන්ත සමත් විය.

නව අදහස දක්වන්න