ජයග්‍රාහී මාවත සොයා හැව්ලොක්ස් අද සී.එච්.සමඟ සටනට | දිනමිණ


 

ජයග්‍රාහී මාවත සොයා හැව්ලොක්ස් අද සී.එච්.සමඟ සටනට

ෆවුස් මොහොමඩ්

පිට පිට තරග 4ක්ම පරාජයට පත්වීමෙන් දැඩි පීඩනයකට හසුවී සිටින පසුගිය වසරේ ලීග් අනුශූර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සිය අභිමානය නැවත ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිව අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තවත් තරගයකට අද (14) සී.එච්.පිල සමග හැව්ලොක්ස් පිටියේදි තරග වදියි.

පළමු වටයේදි සී.ආර්.පිල පරාජය කිරීමෙන් පසුව මෙතෙක් ජයග්‍රහණයක සතුට විඳ ගැනීමට අවස්ථාවක් නොලැබූ හැව්ලොක්ස් පිල පසුගිය සතියේ දී පොලිස් පිල හමුවේ ලකුණු 34-28ක අනපේක්ෂිත පරාජයක් ද උරුම කරගත් අතර මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි තැනට ඇද වැටී සිටින්නේ තරග 6ක් පමණක් ජයගෙන සමස්ත ලකුණු 35කට හිමිකම් කියමිනි. කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 15ක් පමණක් ලබා 7 වැනි තැන පසුවන සී.එච්. පිල හමුවේ පැවැත්වෙන අද තරගය ජයගෙන යළි ජයග්‍රාහී මානසිකත්වය ඉහළ දමා ගැනීම හැව්ලොක්ස් පිලේ එකම අරමුණ වී තිබේ.

මෙවර තරගාවලියේදි පෙරළිකාර ජයග්‍රහණ රැසක් අත්කර ගත් පොලිස් පිලට තව දුරටත් ඉදිරියට යාමේ කදිම අවස්ථාවක් නිර්මාණය වී ඇති අතර අද ගුවන් හමුදා පිලට එරෙහිව පොලිස් පිටියේදි පැවැත්වෙන තරගයත් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යාමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. ප්‍රසාද ලකුණු 42ක් ලබා පොලිස් පිල මේ වනවිට ලකුණු සටහනේ තුන්වැනි තැන අත්කරගෙන සිටී.

මේ අතර ප්‍රසාද ලකුණු 58ක් අත්කර ගනිමින් අපරාජිතව පෙරමුණ ගෙන සිටින වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය කිසිදු අභියෝගයකින් තොරව නැවත වතාවක් ශූරතාවට සමීප වෙමින් සිටින අතර හෙට (15) වැලිසර දී නාවික හමුදා පිලට එරෙහිව තරග වදින්නේ තව දුරටත් අපරාජිත බව රැකගැනීමේ අදිටන ඇතිවය.

මෙතෙක් පැවැති තරගවලදී ජයග්‍රහණ 8කට හිමිකම් කියමින් ප්‍රසාද ලකුණු 44ක් ලබා දෙවැනි තැන පසුවන සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අනිද්දා (16) යුද හමුදා ක්‍රීඩා සමාජය සමග වැලිසර දී තරග වැදීමට නියමිතය. ලකුණු සටහනේ සිය ස්ථානය තහවුරු කර ගනිමින් කුසලානයට සමීප වෙමින් සිටින සී.ආර්.පිලට මෙවර අනුශූරයන් බවට පත්වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතී.

 

නව අදහස දක්වන්න