ජනපතිවරණයේදී ගෝඨාභයට දුන් සහායම මහමැතිවරණයේදීත් ලබාදෙනවා | දිනමිණ


 

ජනපතිවරණයේදී ගෝඨාභයට දුන් සහායම මහමැතිවරණයේදීත් ලබාදෙනවා

ස්වර්ණා විජේකෝන්

ජනාධිපතිවරණයේදී , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් පූර්ණ සහයෝගය මෙවර මහ මැතිවරණයේදීත් කොන්දේසි විරහිතව ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාව බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමට මිස කිසිම හේතුවකට ජනාධිපතිවරයා හෝ එතුමා වැඩපිළිවෙළ දුර්වල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යතාවක් නොමැති බවත් මහින්ද අමරවීර මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි බලවේගවල අවශ්‍යතාව වී ඇත්තේ එතුමා හා වත්මන් රජයේ වැඩපිළිවෙළ දුර්වල කිරීම වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත් මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇමැති මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් , ඇමැති මහින්ද අමරවීර මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස අපි උත්සාහ කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් සහයෝගය මෙවර මහ මැතිවරණයේදීත් ලබාදීමටයි. ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම මිස ජනාධිපතිවරයා දුර්වල කිරීමට අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. ඒ නිසා ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි ලබාදුන් සහයෝගය මෙවර මහ මැතිවරණයේදීත් කොන්දේසි විරහිතව පූර්ණ වශයෙන් ලබාදීම අපගේ අපේක්ෂාවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදෙනවා සේම එතුමා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්ද අපි පූර්ණ වශයෙන් කැප වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ දේශපාලනය තුළ අලුතින් ලියන අයකු බවට පත්ව තිබෙනවා. දේශපාලනයේ එතුමා නව මානයක්, නව දිශාවක් ඇති කිරීමට එතුමා සමත් වී තිබෙනවා. එතුමා බලය නතු කරගෙන, කටයුතු කරන කෙනෙක් නොවෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ සරල ලෙස කටයුතු කරන කෙනෙක්.එතුමාට ලබාගත හැකි බොහෝ දේවල් එතුමා අතුහැර තිබෙනවා.

ඒ වගේම වංචාව දූෂණය මැඩලීම වෙනුවෙන් ද එතුමා බොහෝ පියවර අනුගමනය කරමින් සිටිනවා. ඇත්තටම අපි ඒ සියල්ල අගය කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහයෝගය ලබාදෙනවා. ඒ වගේම රට ගොඩ නැගීම වෙනුවෙන් එතුමා ආරම්භ කර ඇති වැඩසටහනටත් අපි සහයෝගය ලබා දෙනවා. ඇත්තටම අදවනවිට රටේ දැවැන්ත වෙනසක් සිදුව තිබෙනවා. තරුණ පරපුරට පවා නව උද්‍යෝගයක් ඇති වී තිබෙනවා. රටපුරා තාප්පවල චිත්‍ර අදිමින් නව වෙනසක් ඇති කිරීමට තරුණ පරපුර ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටිනවා. මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී තිබෙනවා. මිනිස්සු හිතන පතන විදිහ වෙනස් වෙලා තිබෙනවා. නමුත් පසුගිය කාලයේ තිබුණු තත්ත්වය මීට වඩා වෙනස්. පාස්කු බෝම්බය පිපිරුණු වෙලාවේ ජනතාව කිව්වේ මේ බෝම්බය පාර්ලිමේන්තුව ඇතුළු පිපිරිලා 225 දෙනාම මියගියානම් හොඳයි කියලා. ඒ වගේම මේ වගේ විවිධ කතා සමාජ මාධ්‍ය ජාලවල දවස ගානේ ප්‍රසිද්ධ වෙනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කර තිබෙන ක්‍රියාවලිය , දේශපාලකයන් පිළිබඳවත් ජනතාව අලුතින් හිතන තැනට පත් වෙනවා. ඒ නිසා අපි සියලු දෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතුයි.

ඒවගේම රටේ ආර්ථිකය ගොඩනැගීම, ශක්තිමත් කිරීම වෙනුවෙන්ද ජනාධිපතිවරයා ශක්තිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. පසුගිය කාලයේ අපගේ ආර්ථිකය අර්බුදයකට ලක්ව තිබෙනවා. ආයෝජන, නව කර්මාන්ත සිදුවී නැහැ. පැවති රජය රටේ සංවර්ධනය සිදුකරනවා වෙනුවට, සංවර්ධනයට මුදල් වෙන්කරනවා වෙනුවට තම තමන්ගේ විවිධ අරමුණු වෙනුවෙන් මුදල් වෙන්කර තිබෙනවා.

ඒ වගේම රටේ තිබෙන , රටේ වැවෙන දේවල් ආනයනය නතර කිරීම වෙනුවෙන්ද ජනාධිපතිවරයා තීරණයක් ගෙන තිබෙනවා.කෘෂි ආර්ථිකය, මෙන්ම ගොවි ජනතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙය ජනාධිපතිවරයා ගත් තීන්දුවක්. ඒ වගේම හඳුන්කූරු ඇතුළු තවත් භාණ්ඩ ගණනාවක් ආනයනය නතර කිරීමටත් තීරණයක් ගෙන තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ වගේ තීන්දු තීරණ රටේ යහපත වෙනුවෙන් ගනු ලැබූ යහපත් තීන්දු ලෙසයි මම දකින්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය විසින් මේ වනවිට රටේ දැවැන්ත වෙනසක් ඇතිකර තිබෙනවා. එක තැන නතර වී තිබු රට අද වැඩබිමක් බවට පත්ව තිබෙනවා.

ඒ වගේම මේ වනවිට රටපුරා වියළි කාලගුණ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. පසුගිය පාලන සමය තුළ විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අලුතින් කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැහැ.

ඒ නිසා විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. රටේ වියළි කාලගුණ තත්ත්වයක් තිබුණත් කප්පාදුවකින් තොරව විදුලිය ලබා දෙනවා. යම් හෙයකින් විදුලිය කප්පාදු කළොත් ක්ෂේත්‍ර ගණනාවකට ආර්ථිකමය වශයෙන් බලපානවා . ඒ නිසා විදුලිය කප්පාදු කිරීමක් සිදුකරන්නේ නැහැ. ඒ වගේම 2023 වසර වනවිට අලුත් විදුලි පද්ධති කිහිපයක් රටට උරුම දායාද කිරීම වෙනුවෙන් අපි මේ වනවිටත් සැළසුම් සකස් කර තිබෙනවා. ඒ වගේම දුම්රිය, ලංගම වැනි ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීම වෙනුවෙන් සැළසුම් කරනවා. පසුගිය කාලයේ මම ධීවර අමාත්‍යාංශය භාරව කටයුතු කළා. එම කාලයේ එම අමාත්‍යාංශයට අදාළ ආයතන ලාභ ලබන තත්ත්වයට මම පත්කළා. ඒ වගේම ලංගම දුම්රිය වැනි අංශත් ලාභ ලබන තත්ත්වයට පත් කරනවා. මම විශ්වාස කරන්නේ ඕනෑම ආයතනයක් ලාභ ලබන තත්ත්වයට හා පාඩු ලබන තත්ත්වයට පත්වන්නේ පරිපාලනයේ පවතින හැකියාවන් හා දුර්වලතා අනුව කියලයි.

ඒ වගේම තවත් කරුණක් සඳහන් කළ යුතුයි. පසුගිය දිනවල පුවතක් පළවූවා මහවැලි රාජ්‍ය ඇමැතිවරයා ලෙස මම සිටි වකවානුවේදී මා වෙත ලක්ෂ හාරසියයක් වටිනා මර්සිඩීස් බෙන්ස් රථයක් ලබා දී ඇති බවට. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පිළිතුරෙත් එවැන්නක් සඳහන් වී නැහැ. පසුගිය කාලය පුරාවටම මම එවැනි වාහනයක් ගෙන නැහැ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මම අදාළ අංශ වලින් ඉල්ලීම් කර තිබෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවන් අඛණ්ඩව සිදු වෙනවා.මේ සතියේදිත් එම සාකච්ඡා සිදු වෙනවා. සම නායකත්වය හෝ වෙනයම් කාරණා සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළකරනවා. මම නම් කියන්නේ මේ දේවල්වලට පිළිතුරු නොදිය යුතුයි. මොනව හරි ප්‍රශ්නයක් තිබෙනවනම් හොඳම දේ නායකත්ව මට්ටමින් සාකච්ඡා කර විසඳා ගැනීමයි කළ යුත්තේ . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව අපට විශ්වාසයි. ඒ වගේම අපට මොනව හරි ප්‍රශ්නයක් තිබෙනවනම් ඒ දේවල් කතාකර විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා.

නව අදහස දක්වන්න