අපේ කඳවුරෙන් සමඟියට බාධා වන ප්‍රකාශ එපා | දිනමිණ


 

අපේ කඳවුරෙන් සමඟියට බාධා වන ප්‍රකාශ එපා

අනුර ප්‍රේමලාල්

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ සමඟියට බාධාවක්

ජනපති ලබා දුන් බදු සහන ජනතාවට ලැබෙන්නේ නෑ 
- ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික බද්දේගම සමිති හිමි

අපේ කඳවුරේත් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ සමඟියට බාධාවක් බැවින් එවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසත් තිබෙන අභියෝග මොනවාදැයි හොඳින් දැනගෙන අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා එම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

මෙවැනි ප්‍රකාශ මහමැතිවරණයේදී 2/3ක පාර්ලිමේන්තු බලයක් අපේක්ෂා කරන අවස්ථාව එතරම් ගුණදායක නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දා (11) කොළඹ 08, බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති සමාජවාදි ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් කතාකළ ප්‍රධාන ලේකම්වරයා මෙසේද කීය.කවුරුත් මේ ගැන වැඩි අවධානයක් යොමු නොකළාට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට කම්කරු උසාවිය දක්වා නඩු අටලක්ෂයක් ගොඩ ගැහිලා තියෙනවා. සමහර නඩු තීන්දු එනවිට වසර හතළිහක් ගිහින්. මේ අලුත් ප්‍රශ්නයක් නොවේ. දිගින් දිගටම පැමිණි ප්‍රශ්නයක්. අඩුවෙන්ම අවධානයට ලක්වෙන ප්‍රශ්නයක්. විධායකයේත්, පාර්ලිමේන්තුවෙත් හා අධිකරණයේත් කුඩම්මාගේ සැළකිල්ලට ලක්වෙන ප්‍රශ්නයක් හා අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා නඩු අහලා නඩු තීන්දු නොලිය තියෙනවා.එල්ලුම්ගහට නියම වු හෝ ඉන් නිදහස්වු අයගේ නඩු මාස ගණන් වසර ගණන් තියෙන්න පුළුවන්. මේ ගැන ප්‍රශ්න කරන්න කාටවත් බැහැ. කවුරුත් නිහඬව සිටිනවා. මා විශ්වාසම කටයුතු ආරංචි මාර්ගයෙන් තමයි මේ ගැන දැනගත්තේ. බ්ලුමැන්ඩල් කුණුකන්ද වගේම නඩුකන්දත් වැඩිවෙමින් තියෙනවා. අලුත්කඩෙත් නඩුකන්ද ගොඩගැහෙනවා. අටලක්ෂයක් නඩු ගොඩගැහිලා තියෙනවා. මේ ගැන අධිකරණ ඇමැතිගේ අවධානයට යොමුකරනවා. මේ ප්‍රශ්නයේ ස්වභාවය හා ස්වරූපය ජනතාව දැනගත යුතුයි. මේවා මොන මට්ටමේ නඩුද ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කොපමණ තියෙනවාද?. තවත් කොහේ කොහේ උසාවිවල නඩු තියෙනවාද? ඒවායේ ප්‍රමාණ කොපමණද?. මේවා ගැන විස්තරයක් පාර්ලිමේන්තුවවත් දන්නේ නැහැ. සමහර ඉඩම් නඩු අහනවිට පැමිණිලිකාරයායි විත්ති කාරයයි දෙන්නම මැරිලා. නඩු තීන්දු දෙන්නත් බැහැ. මේ ක්ෂේත්‍රයේ අර්බුදකාරි තත්ත්වයකට පත්වෙලා. අධිකරණ ක්ෂේත්‍රයේ තිබෙන විශ්වාසය බිඳවැටිලා. මම අධිකරණ ඇමැතිගෙන් ඉල්ලනවා කොමිෂන් එකක් පත් කරලා මේ ප්‍රශ්නය ගැන සොයා මේ නඩු ඇසීමේ ක්‍රමය ඉක්මන් කරන්න. ගැඹුරින් සොයා බලා නිර්දේශ කරන්න කියලා. එසේ කිරීමේදි එය ප්‍රසිද්ධ කළ යුතුයි. ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි. තම තමන්ගේ ප්‍රශ්න ඇවිත් කියන්න. මේ කඩාවැටුණොත් කුණුකන්ද කඩා වැටෙනවා වගේ නොවේ. මීට ජනාධිපති පෞද්ගලිකව මැදහත් වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුව මැදිහත් වෙන්න ඕනෑ. නීතිය උගන්වනවිට කියනවා නීතිය ප්‍රමාද කරනවා කියන්නේ යුක්තිය අහිමි කිරීමයි කියලා. ජනතාව මේ ගැන කඳුළු සලමින් දුකින් සිටිනවා. ඒ අය හැමදාම උසාවි බඩගානවා, නීතිඥයන්ට ගාස්තු ගෙවනවා. නඩු වසර විසිපහ, තිහහතළිහ කල් යනවා. මේක බරපතළ ප්‍රශ්නයක් අර්බුදකාරී තත්ත්වයට එන්න කලින් විසඳුම් ලබාදිය යුතුයි.

ලබන 18,19,20 දිනවල පාර්ලිමේන්තුවේදි මහබැංකු වොහාරික විගණනය ගැන විවාදයක් පැවැත්වෙනවා. නමුත් මේ රටේ කෝප් කමිටු වාර්තා දෙකකින් හා තවත් වාර්තා තුනකින් පෙන්වාදුන් මේ ලෝක ඉතිහාසයේ මහා බැංකුවක සිදුවු මංකොල්ලය ගැන කිසිදු ලියැවිල්ලක් වසර පහක් ගිහිල්ලත් අධිකරණයට ලියැවිල්ලක්වත් ඉදිරිපත් වෙලා නැහැ. යහපාලන ආණ්ඩුව බලයට ඇවිල්ලා දින පනහකින් තමයි මේ මහබැංකු මගඩිය සිදුවුණේ. දැන් වසර පහක් ගතවෙලා. මේ පිළිබඳ සම්මන්ත්‍රණයක් අද (13) කොළඹ 07, ශ්‍රවණාගාරයේදි පැවැත්වෙනවා. මේ වාර්තාවල ප්‍රමාණවත් කරුණු තියෙනවා. අපි එදා මෛත්‍රීපාල ජනාධිපතිගෙන් ඉල්ලුවේ අධිකරණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් එය දුන්නා නම් අද ඒ සියලු දෙනාටම දඬුවම් ලැබිලා. ව්‍යවස්ථාව, විධායකය හා අධිකරණය කර හැරලා සිටිනවානම් කාට කියන්නද අපි පාර්ලිමේන්තුවෙන් පිට සම්මන්ත්‍රණ පවත්වනවා.මෙහි ඇත්ත නැත්ත ගැන සොයන්න අවශ්‍යයි. ඉන්දියානු සමාගම් දෙකක් තමයි වොහාරික වාර්තා සකස් කර තියෙන්නේ. ඒ සමාගම් ගැනත් ප්‍රශ්න තියෙනවා.

ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඬල සභික බද්දේගම සමිති හිමි-

ජනාධිපති බදු සහනදීලා බඩුමිල අඩුකරන්න කොපමණ උත්සාහ කළත් එම සහනය ජනතාවට නොදැන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. අද ලෝකයේ බදුගෙවන්නේ නැතිව දෙසිය පනස් තුන්දෙනකු ඉතා ධන කුවේරයන් ලෙස ජීවත්වෙනවා. අපේ රටේත් මෙවැනි ආකාරයට බදු ගෙවන්නේ නැතිව ධනවතුන් බලවතුන් විස්සක් තිහක් පමණ සිටිය හැකියි. මේ අය සැප විඳින්නේ පින්කාරයෝ නිසා නොවේ. පව්කාරයෝ ලෙසයි. මේ රටේ සුවහසක් ජනතාව දුක්විඳිනවිට දරුවන්ට කන්න නැතිව , පහසුකම් නැතිව. ඔවුන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මේ අයට පහසුකම් ලබාදෙන්න තිබෙන රජයට හිමිවිය යුතු බදුමුදල් නොගෙවා මේ අය සැප විඳිනවා. කොපමණ පාප කර්මයක්ද.

තුනිලෑලි සංස්ථාව එදා යු.ඇන්.පි. එක පෞද්ගලික කළා. ඒ ඉඩම ඉකුත් ආණ්ඩුවේ ප්‍රධානින් යසෝදා කස්තුරි ආරච්චිට දෙන්න කටයුතු කළා. ඒ නිසා ඒ ඉඩම යළි ආණ්ඩුවට ලබාගෙන ජනතාවට රැකියා උපද්දවන ස්ථානයක් කරන්න කියලා ඉල්ලනවා.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතා-

උපාධිධාරින්ට රැකියා ලබාදීම රජය සිදුකළ දෙය අපි අගය කරන අතර ඌන රැකියා නියුක්තිකයන්ටත් සාධාරණයක් එම චක්‍රලේඛ වෙනස් කර හෝ ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

දේශවිමුක්ති ජනතා පක්ෂයේ උපසභාපති ගලගම ධම්මරංසි හිමි, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය සභාපති ජි.වි.ඩි.තිලකසිරි , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රී එල්.ආර්.ස්ටීවන් මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.

නව අදහස දක්වන්න