මහ ඡන්දෙට අලියා හැර වෙනත් ලකුණකින් තරග වදින්නේ නැහැ | දිනමිණ


 

මහ ඡන්දෙට අලියා හැර වෙනත් ලකුණකින් තරග වදින්නේ නැහැ

ඉදිරි මහ මැතිවරණයේ දී අලියා ලකුණින් හැර වෙනත් ලකුණකින් තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැවසීය.

අලියා ලකුණ වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය, තරුණ පෙරමුණ හෝ සිය පාක්ෂිකයන් එකඟ නැති බව පැවැසූ ඒ මහතා තමන් ද සෑම මැතිවරණයක දී ම තරග කළේ අලියා ලකුණෙන් බව කීවේය. රනිල් වික්‍රමසිංහ මහතාට වයස අවුරුදු 72ක් වන බවත් එතුමාට වැඩි කාලයක් නොමැති බව පිළිගන්නා බැවින් අවසන් පරිච්ජේදය ලියා දැක්වීමට නායකවරයාට අවස්ථාව ලබාදිය යුතු බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේ දී දිසානායක මහතා කියා සිටියේය.

කනෙන් ඇඳ එළියට දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්ප්‍රදායක් නොමැති බවත් ගාමිණී දිසානායක මහතා මේ සඳහා ආදාර්ශයට ගත යුතු බවත් හෙතෙම කීවේය. පක්ෂයේ ප්‍රශ්න ඇතත් නව සන්ධානයේ ව්‍යවස්ථාව සහ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට ලබන සඳුදා (17) එළැඹිය හැකි බව දිසානායක මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයන් සියලු දෙනා තීන්දු තීරණ ගත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්ත අකැමැත්ත විමසීමෙන් පසු බව පැවැසු ඒ මහතා සිය පියාද විපක්ෂනායකවරයා බවට පත්වූයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැවැති රහස් ඡන්දයෙන් වික්‍රමසිංහ මහතාට වඩා වැඩි ඡන්ද දෙකක් ලබා ගනිමින් බව කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම නව ලාංඡනය ලෙස හදවතක් ගැන කතා කරන බවත්, එහෙත් පක්ෂය ආරම්භයේ සිට මේ දක්වා මහ මැතිවරණ තරග කළේ අලියා ලකුණෙන් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මහ මැතිවරණයට ඇත්තේ කෙටි කාලයක් බව පෙන්වාදුන් ඒ මහතා එවැනි කෙටි කාලයක දී අලුත් ලකුණක් හඳන්වාදීම පහසු නොවන බව කීවේය.

ආරියරත්න ගනේගොඩ-මැද කොළඹ සමූහ

නව අදහස දක්වන්න