ජනපති-අගමැති මෙන්ම ඇමැති මණ්ඩලය නිලධාරිනිය සමඟයි | දිනමිණ


 

ජනපති-අගමැති මෙන්ම ඇමැති මණ්ඩලය නිලධාරිනිය සමඟයි

මීගමු කලපු සංවර්ධන ව්‍යාපෘතියේ දී ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරිනිය සහ ධීවර රාජ්‍ය ඇමැතිවරයා අතර කඩොලාන රක්ෂිතයක ඉදිකෙරෙන ක්‍රීඩා පිටියක් පිළිබඳ සිදුවූ මත ගැටුම සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය, මෙන්ම රජය සිටින්නේ රාජ්‍ය නිලධාරිනිය සමඟ බව ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. නිසි අයුරින් සිය රාජකාරිය ඉටු කරන රජයේ නිලධාරීන් ආරක්ෂා කිරීම ‍ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවත්, රටේ ආර්ථිකය මෙන් ම රටේ සම්පත් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

ක්‍රිඩා පිටියක් සම්බන්ධයෙන් වන මෙම ගැටලුවේ දී වනජීවි කැබිනට් ඇමැතිවරයා සහ ධීවර රාජ්‍ය ඇමැතිවරයා මත දෙකක සිටියද නිලධාරින් සිය රාජකාරි කළ යුත්තේ කැබිනට් ඇමැතිවරයාගේ උපදෙස්වලට අනුව බවද පවසන ඇමැතිවරයා පෙන්වා දෙන්නේ කැබ්නට් අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ්‍ය බලධාරියා ලෙස ඒ සම්බන්ධ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේ ජාතියේත් ජාතික ආර්ථිකයේත් යහපත තකා පුද්ගලික අරමුණුවලින් තොරව යම් රාජ්‍ය නිලධාරියෙක් නිලධාරිනියක් කටයුතු කරන්නේ නම් රජය එම නිලධාරියා-නිලධාරිනිය රජය ආරක්ෂා කරන බවයි.

'අප රාජ්‍ය නිලධාරියාගේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි. වත්මන් රජයේ ප්‍රතිපත්තිය එයයි. පසුගිය රජය සමයේ රාජ්‍ය නිලධාරින්ගේ ගෞරවය ආරක්ෂා කළේ නැහැ. රජයේ ආයතනවල කාර්යාල කාර්ය සහායක සිට උසස් නිලධාරියා දක්වා FCID ගෙනැවිත් බංකුවල පැය ගණණ් වාඩිකරවා තබා ඔවුන්ව අපහසුතාවන්ට පත් කළා. ගෞරවය කෙලෙසුවා. මේ දේවල් මතක්වෙන කොට කිසිඳු රජයේ නිලධාරියෙක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්නේ නැහැ.

අපි රාජ්‍ය නිලධාරින්ට බලපෑම් කරන්නේ නැහැ. රාජ්‍ය ඇමැතිවරයා මේ ප්‍රශ්නයේ දී ඇය සමඟ සුහුදව කටයුතු කර හොඳින් විසඳා ගනීවි. අප රජය රාජ්‍ය නිලධාරින් දණ ගස්වන්නේ නැහැ. බලපෑම් කරන්නේ නැහැ. අපහාස කරන්නේ නැහැ. ඒ නිසා මේ හැම දේම හොඳින් විසඳේවි.

මගේ භාරයේ තිබෙන උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ගැටලු එමටයි. මේ ප්‍රශ්න කතා කරන්න මෙතෙක් අමාත්‍යාංශයේ ඇරුණූ නැති දොරවල් මා විවෘත කර දුන්නා. ඒ අය සාකච්ඡාවට විටින් විට ආවා. දොරවල් ඇරලා තිබෙන නිසා මාව හොයන්න කියලා සිසුන් තොග පිටින් ඇවිත්, නිලධාරීන්ට තර්ජනය කළා . කලබල කරළා. මිනී පෙට්ටි අරගෙනයි මාව සොයන්න ඇවිත් තිබෙන්නේ. මම ඒ අවස්ථාවේ පාකිස්තානයේ තානාපතිවරයා සමඟ වැදගත් සාකච්ඡාවකයි සිටියේ. නොදන්වා මිනී පෙට්ටි අරගෙන ඇවිත් තනිවම ආදාහනය කර ආපසු ගිහින් තිබෙනවා.

මේ අය අප දෙන නිදහස වැරැදි ලෙස භාවිතා නොකළ යුතුයි. පසුගිය 88-89- කාලයේ වගේ කැලයකට අරගෙන ගොස් වෙඩි තියන්න, උස්සගෙන යන්න අපව පොළඹවන්න මේ අය හදනවා ඇති. අපි ඒ තැනට කිසිසේත් එන්නේ නැහැ. සාකච්ඡාවට එන්න ඕනෑ මහත්වරුන් ලෙස ආචාරශීලිවයි. නැතිව රන්ජන් වන්ෂොට් වගේ නොවේ. යැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.

බුද්ධිකා ඉඹුලාන, ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න