කවුරු කොහොම ආවත් පොදුජන පෙරමුණ තුනෙන් දෙක ගන්නවා | දිනමිණ


 

කවුරු කොහොම ආවත් පොදුජන පෙරමුණ තුනෙන් දෙක ගන්නවා

නුවන් කොඩිකාර
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනීතිඥ අනුරාධ ජයරත්න

වත්මන් දේශපාලන තත්ත්වය, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිත්වය ඇතුළු දේශපාලන කරුණු කාරණා රැසක් පිළිබඳව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ අනුරාධ ජයරත්න සමඟ දිනමිණ මැතිහමුව කළ සංවාදය.

- එජාපය දිගින් දිගටම කොළේ වහලා ගැහුවා 
- රටේ ජනතාවගේ බලාපොරොත්තුව කඩකරන්නේ නැහැ 
- පොලිසියට උසාවියට අපෙන් බලපෑම් නැහැ 
- 19 න් රටේ විකෘතියක් වුණා 
- මල්ලි ජනපති අයියා අගමැති වුණේ රටේ වාසනාවට 
- යහපාලනයට ගෙදර යන්න වුණේ දෙබිඩි පිළිවෙත නිසා

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මෙරට දේශපාලනයේ යම් විකෘති තත්ත්වයක් ඇති වෙලා කියල දේශපාලඥයෙක් ලෙස ඔබට හිතෙන්නේ නැද්ද ?

රටක් සාර්ථ වෙන්න නම් ඒ රටේ විධායකය, ව්‍යවස්ථාධායකය හා අධිකරණය පුළුවන් තරම් වෙන්වෙන්න ඕන.වෙන් වුණ තරටම තමයි ඒ රටට සාර්ථක වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. පසුගිය දිනවල අධිකරණයට වුණ බලපෑම්, අධිකරණය ක්‍රියාකළ විදිය. විනිසුරුවන් ක්‍රියා කළයි කියන ආකාරය, ඒ සඳහා දේශපාලඥයන්ගේ මැදිහත් වීම යන සියල්ල ගත්තම පැහැදිලිවම රටේ විකෘත්තියක් ඇති වෙමින් තිබෙනවා. අනිත් පැත්තෙන් ඒ විකෘතිවෙමින් යන රටටම තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ. 19 වැනි සංශෝධනය අරන් බලන්න දින කිහිපයක් යනකම් මේ රටේ ආණ්ඩුවක් නැහැ, අගමැතිවරයෙක් නැහැ. මේ රටේ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැති දින ගණනක් ආවා. වැරදිලා හරි ඒ දින ගණනේ ප්‍රභාකරන් හිටිය නම් , යුද්ධයක් තිබුණ නම් මේ රට නතර වෙන්නේ කොහේද කියළා හිතලා බලන්න.

19 සංශෝධනයේ රටේ පුරවැසියෙක් ජනාධිපති වෙන්න ඕන, කොමිසම් සභා පත්කිරීම් වැනි හොඳ කාරණා තිබෙනවා. හැබැයි ඒ කොමිසම් සභාවෙන් පත්කර ගත්ත පොලිස්පතිවරයා, ඇතැම් නිලධාරින්, සභාපතිවරුන් ක්‍රියාකරන ආකාරය පිළිබඳව බරපතළ ප්‍රශ්න තිබෙනවා. එහි බරපතළම ප්‍රශ්නය 19 වැනි සංශෝධනයෙන් කොමිසම් සභා පත්කර ගත්තට එයින් පත්කරන සභාපතිවරයා හෝ නිලධාරියා පිළිබඳ පසුවිපරමක් කරන කිසිම ක්‍රමවේදයක් නැහැ. එවැනි ක්‍රමවේදයක් නැති වුණ නිසා තමයි එම කොමිසම්වලින් පත්කළ ඇතැම් ප්‍රධානීන් හිරේ ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විතරක් නෙවෙයි, පසුගිය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ක්‍රියාකරපු ආකාරය ගත්තමත් පැහැදිලිවම මේ රටේ දේශපාලනය යම් විකෘතියකට ගිහින් තමයි තිබෙන්නේ.

ඔබ නියෝජනය කරන පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් හැර අනෙක් සියලුදෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න අතඔසවනවා. ඒ කියන්නේ ඒ පිරිසවත් හරි හැටි නොදැනද මෙලෙස අතඔසවලා තිබෙන්නේ?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන වෙලාවේ මම පාර්ලිමේන්තුව නියෝජනය කළේ නැහැ. හැබැයි මෙය ගෙන ආවේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20 වැනි සංශෝධනයත් ගෙන එනව කියන එකඟතාවය මතයි. මේ සංශෝධනයේ එක එක ගඩොල ගලවන්න ගියොත් මුළු තාප්පෙම කඩන් වැටිලා තමයි නතර වෙන්නේ. සංශෝධනයකට යනව නම් අපිට ඕන කෑල්ල අරගෙන සංශෝධනය කරන්න පුළුවන් කියලා. කවුරු හරි හිතනව නම් එහෙම කරන්න බැහැ. මැතිවරණ වෙනස් කිරීම්, ඒ එකඟ වුණ කාරණාත් එක්ක මෙය ආවනම් යම්තාක් දුරට විසඳගන්න පුළුවන්කමක් තිබුණා. ඒ කිසිම දෙයක් නැතිව එකපාරටම තාප්පේ එකතැනකින් ගඩොල් පේළියක් ඇදලා දැම්ම වගේ වැඩක් තමයි 19 වැනි සංශෝධනයෙන් කළේ. එතන වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අදහස් කළ දේ නෙවෙයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට මේවා අලුත් දේවල් නෙවෙයි. එක පැත්තකින් ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවා. ප්‍රතිත්‍රස්ත පනත ගෙනත් කිව්වේ අපේ ආරක්ෂක අංශවල යම් යම් වෙනස් කිරීම් කරන්න කියලා. එ් රැස්වීමේ මමත් හිටියා. එහෙත් නිලධාරින් කිව්වේ එහෙම වෙනස් කිරීමක් අවශ්‍ය නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂය මෙය සංශෝධනය කරන්න උත්සහ ගත්තේ සුමන්දිරන්ගේ වුවමනාවට. ඔහුට අවශ්‍ය වුණා මේ පනත නිසා සිරගෙවල්වල ඉන්න දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කරගෙන දේශපාලන අරමුණු ඉටු කරගන්න. ඉඩම් විශේෂ විධි විධාන පනත අරන් බලන්න. එය පෙන්වල කිව්වේ සින්නක්කර ඉඩමක් දෙන්න ගෙනාවා කියලා. මෙය දැක්කම හරි සුන්දරයි. හැබැයි මෙහි ඇතුළේ තිබුණේ අර ඇතැම් ජාත්‍යන්තර රටවල් එක්ක ගහපු ගිවිසුම්වලට අවශ්‍ය ඉඩම් ලබාදීමයි. මේ අය දිගින් දිගටම කළේ කොළේ වහල ගහපු එක. ඒ නිසා තමයි මේ තරම් ඉක්මන්ට යහපාලන ආණ්ඩුවට ගෙදර යන්න වුණේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල පරතරයක් ඇතිව දිනන්න පුළුවන් වුණේ.

ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික වුණ මෛත්‍රීපා සිරිසේන මහත්තයට අලුතෙන් හදන සන්ධානයේ සම සභාපතිකම දිය යුතුයි කියළා ඔහු නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා කරනවා. ඔබ හිතනවද එලෙස සම සම සභාපතිකමක් ඉල්ලන එක සාධාරණයි කියලා ?

මෙහිදි අපි දකින්නේ පුද්ගල චරිතය නෙවෙයි. මෙහි වාමාංශික දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙනවා. එහි අද ප්‍රධාන වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඊට අභියෝග කරන්න කාටවත් බැහැ. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර මහත්වරුන්ගේ පක්ෂ ඇතුළු පක්ෂ ගණනාවක් ඉන්නවා. 1993 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බලය ගන්න කොට එතුමිය වටා පක්ෂ තිස් එකක් හිටියා. ඒ නිසයි මම කියන්නේ පුද්ගලයා නෙවෙයි මේ වාමාංශික අදහස් තිබෙන සියලුදෙනා එක තැනකට එකතු වෙන්න ඕන කියලා. අපි ලබාදෙන්න ඕන ජනතාව ඉල්ලන දේ මිසක් අරය මෙයා කියලා ලඝු කරන්න ගියොත් ජනතාව බලාපොරොත්තු වෙන දේ හෝ රට නියම තැනකට යෑම කියන කරුණු දෙකම ඉටුවෙන්නේ නැහැ.

ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේද නියෝජනය කරන්නේ ?

මම දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි නියෝජනය කරන්නේ. මම එහි 59 වැනි සමාජිකයා ලෙස සාමජිකත්වය අරන් තිබෙනවා.

ඔබ දෙගොල්ල ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරන්න වැඩ කරලා මහ මැතිවරණයට යද්දි පොදු ලකුණක්, නමක් ගැන කතා වෙනවා. ඔබ දෙගොල්ලොන්ට එක මතකයට එන්න බැරිවීමේ වාසිය විපක්ෂයට යන එක නතර කරන්න බැහැ නේද?

කිසිසේත්ම මෙහි වාසියක් විපක්ෂයට යන්නේ නැහැ. ඉතිහාසයේ මීට වඩා දේවල් අපිට වෙලා තියෙනවා. 2004 වසරේදි අපි සන්ධාන ගතවුණේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. එලෙස එකතු වෙලා නිදහස් සන්ධානය හදලා බුලත් කොළය ලකුණ බවට පත්කර ගත්තා. මම හිතන්නේ අපේ ඉතිහායේ අමාරුම එකතුවීම තමයි ඒ වුණේ. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන්ට සියයට තිහක් ඕන. සම සභාපතිකම ඕන කියන එක? කියා සිටිනවා. එතනම අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනව නේද?

ඕන තරම් අයට කයිවාරු ගහන්න පුළුවන්. එහෙත් බලන්න ඕන ජන බලය කියන දේ. පක්ෂයක් විදියට කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවද කියන දේ බලන්න වෙනවා. කවුරු එකතු වුණත් නැතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකේ ඉලක්කයට යනවා. ඉර හද වගේ විශ්වාසයි. ඒ සඳහා තර්කයක් නැහැ.

ඔබ නියෝජනය කරන පළාතේ දෙමළ, මුස්ලිම් විශාල පිරිසක් ඉන්නවා. ඔබ හිතනවද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඒ අය අතහැරලා ගමනක් යන්න පුළුවන් කියළා? 

ගෝඨාභය රාජපක්ෂ මහත්තය කිසි තැනක කියලා නැහැ දෙමළ මුස්ලිම් ජනතාව අතහැරලා යනවා කියලා. එතුමා කිව්වේ බලාපොරොත්තු වුණ තරම් ඡන්ද සංඛ්‍යාවක් ඔවුන්ගෙන් ලැබුණේ නැහැ කියන දේයි. ඒත් එතුමා කතා කළ හැම තැනකදිම කිව්වේ එතුමා යන ගමනට බාධා නොකර අත්වැල් බැඳගෙන සහය ලබාදෙන්න කියළා. එතුමා දැන් අයිති එක පාටකට, පක්ෂයකට හෝ පුද්ගල කොට්ඨාසයකට නෙවයි කියන දේ එතුමා හැම විටකදිම කිව්වා. මම මේ රටේ සියලුම දෙනාගේ ජනාධිපතිවරයයි කියන එක ඒ හැම තැනකදිම කිව්වා. අපේ පැතිවලට ගියාම අපිට තේරෙනවා එදා ජනාධිපතිවරණයෙදී එතුමගෙන් ගිලිහිලා ගිය ජනතාව දවසින් දවස එතුමා වටා එක්වෙමින් ඉන්නවා.

යහපාල ආණ්ඩුව හොරු අල්ලන්න ඇවිත් නිහඩව හිටියා. ඉක්මන්ට යන්න වුණා. මේ ආණ්ඩුව ආවෙත් ඒ විදියටම හොරු අල්ලනවා කියාගෙන. එත් මේ ආණ්ඩුවත් හොරු අල්ලන පාටක් නම් පේන්න නැහැ. ඇත්තටම මේ වෙන්නේ දොගොල්ලන්ට දොගොල්ලෝ ඩීල් දෑ ගැනීමක්ද ?

මම නීතිඥවරයෙක් විදියට කියන්නේ අධිකරණය ඇප දෙන්නේ නැතුව රිමාන්ඩ් කරනව නම් ඊට සුවිශේෂී කොන්දේසි තිබෙනවා. පසුගිය කාලයේ වුණේ ඒ දේ නෙවෙයි. උසාවියට ඉදිරිපත් කළ ගමන් කොයිතරම් කාලයක් බන්ධනාගත කරලා තියාගන්න පුළුවන්ද කියන දේයි. එය තනිකරම දේශපාලන වුවමනාවටම තමයි වුණේ . අපිට ඒ වගේ අවශ්‍යතා නැහැ. අපේ කවුරුත් උසාවියට, පොලිසියට, එහි ඉහළ නිලධාරීන්ට කතා කරන්නේ නැහැ. එවැනි අවශ්‍යතාවයකුත් නැහැ. අපි නීතිඥවරු විදියට කියන්නේ චෝදනාවක් ආව පළියටම ඒ කෙනා වරදකරුවෙක් වෙන්නේ නැහැ. අනෙක් කාරණය තමයි ඇප දීලා එළියට දාපු පළියටම උසාවි කටයුතු හෝ විමර්ෂණ කටයුතු අවසන් වෙනවා කියලා. හැබැයි එක් දෙයක් තේරුම් ගන්න ඕන වදින්න ගන්නකොට වදින්නේ දොඹෙන් යන්න. ඒකට අවුරුද්දක් එකහමාරක් ගත වේවි. ඩීල් වෙනව නම් වෙන්නේ අර අධිකරණ කටයුතු නතර වෙන එක. එදා වුණේ රිමාන්ඩ් එකේ ඉදලා ආව ගමන් නඩුව විසි වෙනවා. දැන් වෙන්නෙ නඩු කටයුතු යනවා. අපි ඒ කිසිවිටෙක ඇඟිලි ගහන්නේ නැහැ.

විපක්ෂය ප්‍රමුඛ සන්ධානය එකතු වෙලා ආවොත් ආණ්ඩුවට එය අභියෝගයක් නෙවෙයිද?

මම නම් යෝජනා කරන්නේ ඒ ඔක්කොම එකතු වෙන්න කියළා. ඒ අය එකතු වුණ තරමට අපේ ජයග්‍රහණය වැඩි වෙනවා. මොකද මිනිස්සු රටේ ලෝකේ වෙන දේවල් බලන් ඉන්නේ. ඒ අය ඒ දේවල් හොඳින් අවබෝධ කරගන්නවා. දෙමළ ජාතික සන්ධානයේ අය මොකද කරන්නේ උතුරට එන සියලු සංවර්ධන කටයුතු අඩපණ කරනවා. ඒ දේවල් හරවලා යවනවා. ඒ ජනතාවට තමන්ගේ ශක්තියෙන් නැගිටින්න ඉඩ දෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක වසර හතර හමාරක් හිටියා. ඒ කාලේ සංවර්ධනය අරන් යන්න තිබුණා. එහෙම කළේ නැහැ. 2015 කලින් සංවර්ධනයයි, 2015 පස්සේ සංවර්ධනයයි.නිකන් සංසන්දනය කරලා බලන්න කිසිම දෙයක් වුණේ නැහැ. මේ නඩේ එකතු වුණ තරමට තමයි ජයග්‍රහණය පහසු වෙන්නේ. බලන්න රිෂාඩ් බදියුදීන් වගේ කණ්ඩායම් ජාතිවාදය අවුස්සලා තමයි ගමනක් යන්න බලන්නේ. නමුත් රටට ආදරය කරන මුස්ලිම් ජනතාව එතන නැහැ. දෙමළ ජාතික සන්ධානයත් එහෙමයි. ඒත් රටට ආදරය කරන දෙමළ ජනතාව එතන නැහැ. එම නිසා කවුරු කොහොම එකතු වෙලා ආවත් අපේ ජයග්‍රහණය නතර කරන්න ලැබෙන්නේ නැහැ.

කැළුම් ලියනගේ

නව අදහස දක්වන්න