උද්ඝෝෂකයන්ගෙන් ජනපතිට ජය ඝෝෂා සජිත්ගේ හදවත වැට උඩ | දිනමිණ


 

උද්ඝෝෂකයන්ගෙන් ජනපතිට ජය ඝෝෂා සජිත්ගේ හදවත වැට උඩ

යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම සඳහා රුපියල් ලක්ෂ 28,000 ක මුදලක් වැය කර ඇත. එහිදී වැඩිම වටිනාකමකින් යුක්ත වාහන ගෙන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල ඇමැති ධුරය දැරූ ආරක්ෂක අමාත්‍යාංශය වෙතය. හිටපු ජනපති සිරිසේන ලක්ෂ 3280 ක වටිනාකමකින් යුත් වෙඩි නොවදින රථ දෙකක් සහ BMW x5 වර්ගයට අයත් වාහන ගෙන්වා ඇත. රනිල් වික්‍රමසිංහ ද ලක්ෂ 420 ක් වටිනා Toyota Landcruiser v8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා ඇත. රාජිත ගෙන්වූ Toyota Landcruiser v8 වර්ගයේ ජිප් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 390ක් විය.

රාජපක්ෂවරු යනු මෙරට දේශපාලනයේ ප්‍රධානතම පරිච්ඡේදයකි. එය හුදු ප්‍රකාශයක් නොවේ. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය දශක ගණනාවක් පුරාවට විහිදී ගිය එකකි. එම ගමන් මගේ පුරෝගාමියා ඩී.එම්. රාජපක්ෂය. ඔහුගේ ඇවෑමෙන් පසු චමල්, මහින්ද, බැසිල්, ගෝඨාභය ගේ පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ මැතිඳුන්‍ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය. එකී ජාතික දේශපාලනයේ සාඩම්බර කූටප්‍රාප්තිය සනිටුහන් කරනුයේ මහින්දය. ඔහු එදාත් අදත් හෙටත් මෙරට ජනතාවගේ වඩාත්ම ගෞරව ආදරයට පාත්‍රවන ජනප්‍රියම ජනනායකයා බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ඔහුට ආදරය කරන්නේ පාක්ෂිකයන් පමණක්ම නොවේ. ඔහු පාට පක්ෂ භේදයකින් තොරව ආදර බහුමානයට පාත්‍ර වේ. ජාති, කුල මල, ආගම් භේදයකින් තොරව ජනතාව ඔහුට ආදරය කරයි. මහින්ද ද රටට ජනතාවට දක්වන්නේ පුදුමාකාර සෙනෙහසකි. ජනතාවට මහින්දගේ එම ළෙන්ගතුකම දැනේ. කුටුම්බයක දරුවන්ගේ ආරක්ෂාව සපයන පියකු මෙන් මහින්ද ද ජාතියටම ආරක්ෂාව සපයන අප්පච්චි බවට පත් වන්නේ එලෙසිනි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දියානු සංචාරය

මහින්ද තම රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ගනු ලබන ඇතැම් ක්‍රියාමාර්ග බොහෝ කල් යල් බලා ගනු ලබන ඒවාය. ජාත්‍යන්තර වශයෙන් අප රට විදෙස් සබඳතා පැවැත්වීමේ රාජතාන්ත්‍රිකභාවය මහින්ද හොඳාකාරවම දනී. කිසිදු රටකට යට නොවී කිසිදු රටක් සමඟ අමනාප නොවී රටට වඩාත් වැදගත් දේ කර ගැනීමට මහින්ද දක්වන්නේ අපුර්වතම හැකියාවකි. මෙවර අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දියානු සංචාරය ද අපට වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවක් මත පසුගිය සතියේ මහින්ද ඉන්දියාව බලා පිටත් විය. එහිදී අගැමැති මහින්ද, ඉන්දීය අගමැතිවරයා මෙන්ම ඉන්දීය ජනාධිපති රාම්නාත් ගොවීන් සහ විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයසංඛර් මුණගැසුණි. මෙම විදෙස් සංචාරය මහින්ද, අග්‍රාමාත්‍යවරයා වශයෙන් යෙදුණු පළමු විදෙස් සංචාරය වේ. ඉන්දියාව දකුණු ආසියානු කලාපයේ දැවැන්තයා ය. ආසියානු කලාපයේ ද ප්‍රබලයෙකි. ලෝක මට්ටමින් ගත්ත ද ඉන්දියාව ලෝක වෙළෙඳ පොළේ අතිවිශාල ප්‍රතිශතයකට හිමිකම් කියනු ලබන අතර යුදමය වශයෙන් ද දියුණු රාජ්‍යයකි. ඉන්දියාව සමඟ අපගේ සබඳතා ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. එමෙන්ම ඉන්දියාව අප රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ගමන්මගේ තීරණාත්මක සාධකයක් ද වේ. එබැවින් ඉන්දියාව සමඟ සහජීවනයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම මහින්ද හොඳාකාරවම දනී. මෙහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්විණි. වෙළෙඳ , සංවර්ධන ආරක්ෂණ, සංස්කෘතික සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරුණි. එමෙන්ම වෘත්තිය පුහුණු සහ රාජ්‍ය සේවා ආයතනවල පුහුණු අවස්ථා සඳහා ඉන්දියාවේ සහය ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළේය. ඉතාමත් සාර්ථක සංචාරයකින් පසු අග්‍රාමාත්‍ය මහින්ද නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 11 වැනි දිනදීය.

ආනන්ද මාතාව බිහිකළ පළමු ජනපති

පසුගිය පෙබරවාරි 7 වෙනි දින කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීම සඳහා උත්සවයක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත්මහල් ගොඩනැඟිල්ල ද සිසු අයිතියට පත්කළේය. එම සත් මහල් ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තබනු ලැබුවේ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයාව සිටි අවධියේදීය. එම සත් මහල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු නිසි ආකාරයෙන් නිමවීමටද මත්තෙන්, පසුගිය ජනාධිපතිවරණයට පෙර, පටු දේශපාලන වාසි අත්පත් කරගැනීමේ අරමුණින් විවෘත කිරීමට දැරූ නිර්ලජ්ජිත උත්සාහය එම විදුහලේ ආදි ශිෂ්‍යයන් ඇතුළු ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම මත වැළැක්වීණි. එම ගොඩනැඟිල්ල ජනාධිපතිවරයා අතින් විවෘත වීම ආනන්දයේ පමණක් නොව මුලු මහත් ජාතියේම වාසනාවකි. එහිදී ජනාධිපතිවරයා කළ කථාව කාගේත් පැසසුමට ලක් විය.

රට ගොඩනැංවීමෙහිලා අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා දැක් වූ අදහස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ගේ ද විමතියට හේතු විය. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියේය. වසරකට උසස් පෙළ විභාගයට පෙනී සිටින ලක්ෂ පහක පමණ සිසුන්ගෙන් විශ්වවිද්‍යාලවලට සඳහා තේරී පත් වන්නේ 30,000ක පමණ ප්‍රමාණයක් වන බවත් ඉතිරි පිරිස් සඳහා තෘතිය අධ්‍යාපන ආයතන බිහි කළ යුතු බවද ජනාධිපති ප්‍රකාශ කර සිටියේය. මෙහිදී තමන්ගේ පාසල පිළිබඳව ද වචන කීපයක් කතා කිරීමට ජනාධිපතිවරයා අමතක කළේ නැත ."ආනන්දය හැමදාමත් රටට ආදරය කරන සිසු පිරිසක් බිහිකළ පාසලක්. පරම්පරාවෙන් පරම්පරාවට දේශප්‍රේමින් බිහිකළ පාසලක්. රටට අවශ්‍ය නායකත්වය සැපයූවා. අදද රටට ඔබේ නායකත්වය අවශ්‍යව පවතිනවා". මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරු මෙන්ම ආදි ආනන්දියන් ද වූහ. කතානායක කරු ජයසූරිය, ප්‍රසන්න රණතුංග, ගීතාංජන ගුණවර්ධන, ඉමිතියාස් බාකිර් මාකර්, අර්ජුන රණතුංග, අජිත් පී පෙරේරා, චතුර සේනාරත්න, රාජිත සේනාරත්න, ආශු මාරසිංහ, දුෂ්මන්ත මිත්‍රපාල වැනි පිරිස් එක්ව සිටියහ. එමෙන්ම අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද ඊට සහභාගි වූහ. ජනාධිපතිවරයා සිය කතාවේදී ඉමිතියාස් ගැන යමක් සඳහන් කිරීමට ද අමතක කළේ නැත.

"මම නේවාසිකාගාරයේ ඉන්න කාලේ අපිත් එක්ක මුස්ලිම් ශිෂ්‍යයෙක් හිටියා. ඔහු තමයි විවාද කණ්ඩායමේ නායකයා. ඒ ඉමිතියාස් බාකිර් මාකර්. ආනන්දේ ළමයි හැමෝම ඔහුට ආදරය කළා. ගරු කළා. මුස්ලිම් කියලා කිසිම අවතක්සේරුවකට ආනන්දේදී භාජනය වුයේ නෑ. ඒක තමයි ආනන්ද සම්ප්‍රදාය "

මෙම කතාවෙන් ජනාධිපතිවරයාගේ ජාතිකත්වය පිළිබඳ චින්තනය වඩාත් හෙළි වේ. එය ජනාධිපතිවරයා සිංහල ජාතිකවාදීයකු යැයි හංවඩු ගසන බොහෝ පිරිසකට ගසනු ලැබූ කනේ පහරකි. අනික් අතට මුසල්මානුවකු සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ පෝෂණය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව කදිම පාඩමකි. මුස්ලිම් ජාතිකයෙක්, මුස්ලිම් වීම නිසාවෙන් බෞද්ධ වටපිටාවක් තුළ කිසිදිනක අසරණ නොවන බවට ජනාධිපතිවරයාගේ වූ දැක්ම අතිශය නිවැරදිය. ජනාධිපතිවරයා සිදුකළ මෙම කතාව පිළිබඳව පසුව විපක්ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමකදී දයා ගමගේ මන්ත්‍රීවරයා පවසා සිිටියේ ;

"ආදි ආනන්දීයකු ලෙස රට ගොඩනැංවීමෙහිලා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට මම සහාය දෙනවා. දේශපාලන පක්ෂ කුමන තීන්දු තීරණ ගනු ලැබුවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට අපිට හැකියාව පවතිනවා. "යනුවෙනි.

ජනාධිපතිවරයා රට ගොඩනැංවීමේ ක්‍රියාවලිය සඳහා ඇරැඹි වැඩපිළිවෙළ කෙරෙහි පක්ෂ විපක්ෂ සැමගේ අශිර්වාදය හිමිවී ඇති බව දයා ගමගේ මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයෙන් මොනවට පැහැදිලි වේ.

ජනාධිපති උද්ඝෝෂකයන් අතර

යහපාලන ආණ්ඩුව තරුණ තරුණියන් රැකියා සඳහා බඳවා ගත්තේ විධිමත් කාර්ය පටිපාටියකට අනුව නොවේ. ඔවුන්ගේ ඉලක්කය වූයේ කෙසේ හෝ ජනාධිපතිවරණය ජයගැනීමය. එකී අරමුණ මුල් කරගෙන බොහෝ පිරිසකට රැකියා ලබා දෙනු ලැබූයේ අවිධිමත් ක්‍රියා පිළිවෙතකටය. අද එම තරුණ කොටස් එහි අමිහිරි අත්දැකීම් අත්විඳිමින් සිටී. එමගින් රැකියා අහිමි වූ බොහෝ පිරිස් අද උද්ඝෝෂණ සඳහා වෙන්ව ඇති ස්ථානයෙහි උද්ඝෝෂණ කටයුතුවල නිරත වනු පසුගිය සතිය පුරාවටම දැක ගත හැකි විය. අවස්ථා කීපයකදීම මෙම උද්ඝෝෂකයන් සමඟ සාකච්ඡා කොට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ද ලබා දී තිබිණි. පසුගිය 7 වනදා සවස 3 ට පමණ ජනාධිපතිවරයා සිය රාජකාරිය නිමවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණෙන විට ඔහුට දැකගැනීමට හැකි වූයේ පිරිසක් උද්ඝෝෂණයක නිරතව සිටින අයුරුය. රජයේ රැකියා ස්ථිර කර දෙන ලෙස ඉල්ලා එසේ විරෝධතාවයේ නිරත වූයේ ඩෙංගු මර්දක සහායකයන් ය. උද්ඝෝෂකයන් අතරට ගිය ජනාධිපතිවරයා "ඇයි පුතාලා ඔතන උද්ඝෝණය කරන්නේ" යනුවෙන් විමසීය. උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ "සර් අපිට අපේ රස්සා ටික ස්ථිර කර දෙන්න" කියාය. මෙහිදී ජනාධිපති උද්ඝෝෂකයන් හමුවේ ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී රජය විසින් බඳවා ගනු ලබන රැකියා ලක්ෂයේ වැඩසටහන සඳහා මෙම පිරිස ද එකතු කර ගන්නා බවය. සියලු දෙනාම ජනාධිපතිවරයාට අත්පොළසන් දුන්නේ තම ප්‍රීතිය ප්‍රකාශ කරමිනි. ගෝඨාභය ජනාධිපති වුවහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවනු ඇතැයි විපක්ෂය මැවූ බිල්ලා අද පුස්සක් බවට පත්ව ඇත. එදා මෙන් පොලිසිය විසින් එල්ල කෙරෙන කඳුළු ගෑස් ජල ප්‍රහාර අද නොමැත. ඒ වෙනුවට සියලු උද්ඝෝෂකයන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සාකච්ඡා පැවැත්වීමේ අවකාශ උදා කරදී ඇත. අද රට අලුත් මාවතකට යොමු වෙමින් පවතී. දියුණු ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ අප රට තුළ පිළිබිඹු වීම සතුටට කරුණකි.

රනිල් කසය අතට ගනී

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නව සන්ධානයක් පිහිටුවා ගනු ලැබී ය. එහි නායකත්වය සජිත්ට ලබා දෙන ලදී. අනතුරුව සජිත් ප්‍රකාශ කර සිටියේ නව සන්ධානයේ මහ ලේකම්වරයා රංජිත් මද්දුමබණ්ඩාර බවය. නව සන්ධානයට නමක් යොදා ගැනීම සහ පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම පෙබරවාරි මස 10 වැනි දින පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසුව සිදුකරන බව මුලදී සජිත් පිල ප්‍රකාශ කර සිටියේය. නව සන්ධානයේ ලේකම්වරයා ලෙස පත් වූ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයාගේ නම එකී සංධානයේ නව ලේකම්වරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන්ද සම්මත විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාඡ් මන්ත්‍රීවරයා පවසා සිටියේය. සජිත් පිලේ අය දරුවේ වෙනත් අදහසකි. එනම් ඡන්දයෙන් තේරී පත්වූ ජනතා නියෝජිතයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව ඒ මහතාගේ නම ලේකම්වරයා වශයෙන් යෝජනා කර තිබියදී ජනතා නියෝජිතයන් නොවන කමිටුවකින් අනුමත කරන්නේ කුමන පදනමක් මතද යන්නය. පසුගිය 10 වැනි දින රැස්වූ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේදී රංජිත් මද්දුම බණ්ඩාරගේ තනතුර තහවුරු කරනු ලැබිණි. වෙනදා මෙන්ම මෙවරද ජයගනු ලැබුවේ රනිල් පිලය. එනම් ඔවුන් ප්‍රකාශ කළ ආකාරයටම රංජිත් මද්දුම බණ්ඩාරගේ නම කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමත කර ගන්නා ලදී. එපමණක් නොව මෙවර මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කළ යුතු බවද රනිල් පිල කියා සිටියේය. එනම් සජිත් සිතා සිටි අන්දමට නව සන්ධානයක් පිහිටුවා තමන්ට රිසි පරිදි නව ලේකම්වරයෙකු පත් කොට වෙනත් ලකුණකින් වෙනත් නමකින් නව සන්ධානයක් ලියාපදිංචි කර ගැනීමේ සිහිනය බොඳව ගියේය. සජිත්ට අවශ්‍ය වූයේ පක්ෂය ද රැකගෙන පක්ෂය මතින් නව පක්ෂයක් බිහි කර ගැනීමට ය. මෙම උප්පරවැට්ටිය රනිල් හොඳාකාරවම දනී. රනිල් තැම්බීමට තරම් සජිත්ගේ ලුණු ගොරකා මදිය. මේ අකාරයෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය තව තවත් ලියලා දලූ ලා ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන රටකට නම් විපක්ෂ මේ ආකාරයෙන් දියාරු වීම එතරම් හොඳ ලක්ෂණයක් නම් නොවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි අත්හරී

50 දශකයේ මුල් භාගයේදී ඇරඹි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම මෙරට දේශපාලනයේ ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කළේය. සඟ, වෙද, ගුරු, ගොවි සහ කම්කරු යන පංච මහා බලවේගයන් මුල් කරගනිමින් මෙරට දේශපාලනයේ නව මාවතක් සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිවිය. බටහිර හිතවාදී එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිවාදී පිරිස් එකතු වූ මධ්‍යස්ථානය බවට පත්වූයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. වර්ෂ 1959 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ඝාතනය වීමත් සමඟම සිරිමාවෝ මැතිනිය එම පක්ෂයේ නායකත්වයට පත් වූවාය. වසර 35 ක දේශපාලනය තුළ මැතිනිය එම පක්ෂ නායකත්වය ලබාදුණි. මැතිනියට නායකත්වය අහිමිවන්නේ සිය දියණිය චන්ද්‍රිකා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමත් සමගය. මැතිනියට අවශ්‍ය වූයේ පක්ෂයේ නායකත්වය අනුරට ලබාදීමටය. නමුදු ඒ වනවිට එක්සත් ජාතික පක්ෂ පාලන යුගය කෙරෙහි ජනතාව තුළ තිබූ පිළිකුල් සහගත තත්ත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ කඩා වැටීමද හේතුවෙන් නව මුහුණුවරක් බලයට ගෙන ඒමට ප්‍රගතිශීලී ජනතාව වැඩි කැමැත්තක් දැක් වූහ. එහි වැඩි වාසි අත්කර ගත්තේ චන්ද්‍රිකාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජේ.ආර්. සහ ප්‍රේමදාස යුගයේදී දරුණු ලෙස පිඩාවට පත් වුණි. මැතිනියගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කිරීමට ජේ.ආර් කටයුතු කළේය. එම අසීරු අවස්ථාවේදී චන්ද්‍රිකා පක්ෂය තුළ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූයේ නැත. ඇය සිටියේ සිය සැමියා වු විජය කුමාරතුංගගේ මහජන පක්ෂයේ ය. ඇයගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණේ පැරිෂුට් නායකත්වයකි. එම අවධියේදී ද පක්ෂයේ දර දිය ඇද්දේ අනුර සහ මහින්දය. එම අතීතය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ නායකයන්ට අමතක වී ගොස් ඇත. නැතහොත් එම නායකයන් එම අවධියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ පිරිස් විය නොහැකිය. එහෙමත් නැතහොත් එම සමහර නායකයන් චන්ද්‍රිකා මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැරිෂුට් දේශපාලනයට පිවිසි අය විය යුතුය. පාලකයන්ට අමතක වූ ඒ අතීතය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට නම් අමතක නැත. එබැවින් ඔවුන් බොහෝදෙනා 2015 වර්ෂයේ දී මහින්ද සුළඟේ ආස්වාදය අත්වින්දහ. අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් සීයයට අනූනවයක්ම සිටින්නේ මහින්ද ළඟය. එබැවින් අද ශ්‍රීලනිපයට මහින්ද සමඟ කේවල් කිරීමට තරම් ජන බලයක් නැත. එමෙන්ම ඔවුන්ගේ කේවල කිරීම ද අතිශය අසාධාරණය. සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකින්ම සියයට 30ක කෝටාවක් ලබා ගැනීම, පිහිටුවනු ලබන නව සන්ධානයේ සම සභාපතිත්වය මහින්ද සහ මෛත්‍රීට ලබාදිය යුතුයැ'යි වන ඉල්ලීම, පොහොට්ටුව නොවන වෙනත් පොදු ලකුණකින් තරග කළ යුතුය බවට වන ඉල්ලීම මේ අතර විය. එම ඉල්ලීම් ඔවුන්ගේ තරමට නොවේ. පසුගිය සතියේදී ඔවුන් ඔවුන්ගේ තරම තේරුම් ගත්තේ යැයි බොහෝ දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්හ. පසුගිය දින මාධ්‍ය සාකච්ඡවක් කැදවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසා සිටියේ මෙවන් අදහසකි."අපිට පොහොට්ටුව ලකුණින් තරග කිරීම පිළිබඳව ගැටලූවක් නෑ. පසුගිය ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ ඡන්දය භාවිතා කළ අය, ඒ වගේම සන්ධානයේ සභාපතිකම සහ ලේකම්කම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීම සම්බන්ධයෙන් අපි එකඟ වෙලා ඉන්නේ "යනුවෙනි. මෙම තේරුම් ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා යහපතක් වේයැයි පෙනී යන කරුණකි.

යහපාලන ඇමැතින්ගේ රථගාය

පසුගිය සතියේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස යහපාලන රජය රටට ගෙන්වූ වාහන පිළිබඳව ප්‍රශ්නයක් ආණ්ඩු පක්ෂය වෙත යොමු කර සිටියේය. එම ප්‍රශ්නයට ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබා දුන්නේ විමතියට පත්වන ආකාරයේ පිළිතුරකි. එහිදී ඔහු පවසා සිටියේ යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම සඳහා රුපියල් ලක්ෂ 28,000 ක මුදලක් වැය කර ඇත. එහිදී වැඩිම වටිනාකමකින් යුක්ත වාහන ගෙන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල ඇමැති ධුරය දැරූ ආරක්ෂක අමාත්‍යාංශය වෙතය. හිටපු ජනපති සිරිසේන ලක්ෂ 3280 ක වටිනාකමකින් යුත් වෙඩි නොවදින රථ දෙකක් සහ BMW x5 වර්ගයට අයත් වාහන ගෙන්වා ඇත. රනිල් වික්‍රමසිංහ ද ලක්ෂ 420 ක් වටිනා Toyota Landcruiser v8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා ඇත. රාජිත ගෙන්වූ Toyota Landcruiser v8 වර්ගයේ ජිප් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 390ක් විය. ඒ අතර රවී කරුණානායක, විජයකලා මහේෂ්වරන්, පී. දිගම්බරන්, රංජිත් මද්දුම බණ්ඩාර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර වැනි අයගේ නම්ද කියවුණි. රටේ අනේක විධ ප්‍රශ්න තිබිය දී මේසා විශාල ධනස්කන්ධයක් වැය කොට තම සුඛවිහරණය සඳහා අධි සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීම නම් ජනතාව කිසිදු විටෙක වත් අනුමත කරන්නේ නම් නැත. එහිදී අනුර කුමාර දිසානායක කීවේ පිළිකා රෝහලට ස්කෑන් යන්ත්‍රයක් අවශ්‍ය වෙලා තියෙනවා. කප්පාදු කරපු විශ්‍රාම වැටුප ගෙවන්නට අවශ්‍යව තිබෙනවා. මෙම වාහන වෙන්දේසි කොට විකුණා එම ලැබෙන මුදල් ඒ සඳහා වැය කළ හැකි බවය. මීට ජොන්ස්ටන් ඇමැතිවරයා ලබා දුන් පිළිතුරින් ජනතා විමුක්ති පෙරමුණට මරු පහරක් වැදුණි.

"ජනතා විමුක්ති පෙරමුණ යහපාලනයේ මෙම දූෂිත ක්‍රියා සඳහා වගකියන්න ඕනි. හැමදාම උදේ හවස අරලියගහ මන්දිරයට රිංගලා විරුද්ධවාදීන්ට නඩු පවරන්න ක්‍රියා කරලා තියෙනවා. දින 51 ආණ්ඩු කාලයේ නැවත මෙම දුෂිත යහපාලන ආණ්ඩුව බලයට ගේන්න තමුන්නාන්සේලා කටයුතු කළා. මේවා නවත්ත ගන්න තිබ්බේ වාහන ගෙන්වන කොට. ඒනිසා වෙන්දේසි කරන්න කියලා ඇඟ බේර ගන්න විමුක්ති පෙරමුණට බැහැ. තමුන් ලද මේවට වග කියන්න ඕනේ". ජොන්ස්ටන් ඇමැතිවරයාගේ එම බලාපොරොත්තු නොවූ පිළිතුරෙන් අනුර කුමාර දිසානායක නිරුත්තර විය.

සැබැවින්ම තවමත් අප රටේ හිසට සෙවණක් නැති ජනතාවක් ජීවත් වේ. තුන්වේල කැම ගැනීමට නොහැකි අසරණ ජනතාවක් ද ජීවත් වේ. මන්දපෝෂණය නිසා දරුවන්ට පාසල් ගමන අහිමි වූ අවස්ථා අසන්නට දකින්නට ලැබේ. එහා ඉවුරේ සිට මෙහා ඉවුර දක්වා ඇතැමෙක් අනතුරුදායක ඒදඬු මතින් ගමන් කරන අයුරු දැක ගැනීමට හැකිය. මෙවන් වටපිටාවක අමාත්‍යවරු මේ ආකාරයෙන් ජනතාවගේ මුදල් කාබාසිනියා කරන්නේ කෙලෙසදැයි සිතාගත නොහැකි තරම් ය. 

කෝප් මුල් පුටුවට නැවතත් සුනිල්

පසුගිය කාල පරිච්ඡේදය සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාට නම් එතරම් යහපත් වූයේ නැත. මන්ද යත් ඔහුගේ නම ද රන්ජන් රාමනායකගේ හඩපට අතර තිබූ බැවිණි. ඉඩෝරයට වැටුණු පොද වැස්සක් සේ සුනිල් නැවත කෝප් කමිටුවට තේරී පත්වීම ඔහුට තරමක හෝ අස්වැසිල්ලක් වනු නොඅනුමානය. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ලෙස පත්වූ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ ලබන සතියේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, විදේශ සේවා නියුක්ති කාර්යංශය,ලොතරැයි මණ්ඩලය කමිටුවක් කැඳවීමට නියමිත බවය.එනම් අල්ලසින් දූෂණයෙන් තොර වඩාත් යුක්ති ගරුක සමාජයක් බිහි කරලීම සඳහා සුනිල්ගේ වෑයම කවරාකාර වේද යන්න පිළිබඳව ජනතාව නිසි විමසිල්ලෙන් යුක්තව බලා සිටිනු ඇත.

හිරුණිකා ගැන රන්ජන් අද කියන දේ

පසුගිය සතියේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලැබූ ඔහුගේ කටහඩ පරීක්ෂා කිරීම සඳහාය. එහිදී මාධ්‍යවේදියකු ඊට හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයක් යොමු කොට සිටියේය . "ඒ මන්ත්‍රීතුමා අර හිරුණිකා නෝනට මොකද කරලා තියෙන්නේ ? " යනුවෙනි. එහිදී රන්ජන් පිළිතුර දුන්නේ "ගොඩක් අය මාත් එක්ක කතා කළා. හිරුණිකා බොහොම බුද්ධිමත් තරුණියක්. ඒ නිසා එයා අනාථ වෙන්නේ නෑ. ඒවට හොඳට මුහුණ දෙයි" යනුවෙන් ඇඟට පතට නොදැනෙන සේ ය.

නව අදහස දක්වන්න