ට්‍රන්ක පෙට්ටිය නිසා සුළි සුළඟින් පණ බේරුණා | දිනමිණ


 

ට්‍රන්ක පෙට්ටිය නිසා සුළි සුළඟින් පණ බේරුණා

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුන්දරම් අරුමෛනායගම්

බත බුලතින් ස්වයංපෝෂිතව තිබූ උතුරු නැඟෙනහිර දෙපළාත්වල ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කරමින් නවසිය හැත්තෑ හයේ දී හමා ගිය චණ්ඩ සුළි කුණාටුව එදා මෙදා තුර අපේ රටට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙස වාර්තාගත වෙනවා. එවන් බිහිසුණු අත්දැකීමකට උපන්තේකට මුහුණ නොපාපු අහිංසක ජනතාවට සොබා දහම විසින් උගන්නාපු අමතක නො‍වෙන පාඩමක් ලෙසත් එය සලකන්නට පුළුවන්. ඒ වෙනකොට යංතං කරදඬු උස්මහත් වෙච්චි කෙළිලොල් යෞවනයකුව සිටි සුන්දරම්ගේ ජීවිතයත් එදා ඒ සුළි කුණාටුවට හසුවෙලා වැල්ලේම සැඟවී ගියා නම් අද ඔබට ලියන්නට මෙවන් සුන්දර කතාවක් අප වෙත ඉතිරි වන්නේ නෑ. අව්, වැහි, සුළි සුළං, ගංවතුර, නාය යෑම් වගේම කර්කෂ නියං සාය වැනි ස්වාභාවික විපත්වලට මෙන්ම ජීවිතේට එල්ල වු බොහෝමයක් අභියෝගවලට නොසැලී මුහුණපාමින් ජීවිතය දිනා ගත් දිරිය පුත්‍රයෙක් අද රටේ ආර්ථිකය නංවන්න සෘජුවම දායකත්වය සපයන රාජ්‍ය අමාත්‍යාංශයක මුල් පුටුවේ වාඩි වෙලා. උපන් ගමට, රටට දැයට මෙන්ම ජන ජීවිතයටත් සෙත සලසන තීන්දු තීරණ ගන්න ඒ මුල් පුටුව දක්වා පැමිණි ගමන් මඟේ මං සලකුණු සිහිපත් කරමින් ඔහු අප සමඟ පිළිසඳරට එක් වුණා.

නවසිය හැට එකේ සැප්තැම්බර් මාසේ විසිනව වැනි දා අම්පාර දස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු නගරයට හැතැප්මක් විතර දුරින් පිහිටි කෝලාවිල් ගමේ දී ඔහු මෙලොව එළිය දුටුවා. අම්මාගේ බඩ පිහදාගෙන උපන් මේ පුංචි පුත් කුමාරයාට අප්පා සුන්දරම් අරුමෛනායගම් යන නම තිබ්බා. වර්තමානයේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මුල් පුටුව හොබවන්නට තරම් ඒ පුංචි පුතා පින්වන්තයෙක් වුණා.

ඔබේ මව්පියන් කවුද?

පියාගේ නම ආනා සුන්දරම්. ඔහු විශ්‍රාමික ගුරුවරයෙක්.

අම්මාගේ නම රාසම්මා. ඇය රැකියාවක් කළේ නෑ.

පවුලේ සහෝදර සහෝදරියන්?

අට දෙනයි. සහෝදරයන් පහයි. සහෝදරියන් දෙන්නයි. මම පවුලේ බාලයා.

ඔබේ ළමා කාලයත් සුන්දර ඇති?

අපොයි ඔව්, මම පවුලේ බඩපිස්සානේ. හැමෝගේම ආදරේ වැඩිපුර ලැබුණා. අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි මාව හොඳට හුරතල් කළා. අයියලාට නම් බයයි.

ගමේ පරිසරය කොහොමද?

හරිම අපූරුයි. ගමේ වැඩි දෙනෙක් කුඹුරු ගොවියෝ, ගම පුරාම වෙල්යායවල්, වැව් අමුණු, තල්, පොල් වතු. අපි වැඩි කාලයක් ගත කළේ වෙල්යායේ, කමත්වල සෙල්ලම් කරමින්.

ඔබේ පවුලටත් කුඹුරු වතුපිටි තියෙන්න ඇති?

ඔව්, තාත්තා රැකියාවට අමතරව වී ගොවිතැන් කළා. අයියලා තාත්තාගේ කුඹුරු වැඩවලට උදව් කළා. මම පුංචි නිසා ඒ වගේ වැඩවලින් බේරුණා. මුළු දවසම කළේ සෙල්ලම තමයි.

පාසල් කාලේ කොහොමද?

පුංචි කාලේ නම් පාඩම් කළේම නෑ. සමහර දවසට පාසලට නොගිහින් කුඹුරුවල කමත්වලට පැනලා සෙල්ලම් කළා. ගමේ යාළුවෝ ගොඩක් හිටියා. වැව්වලට පැනලා තරගෙට පීනුවා. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන්ම දුවන්නේ සෙල්ලම් කරන්න. ගෙදර එන්නේ ඇඳිරි වැටුණාටත් පස්සේ.

ඔබ මුලින්ම ගියේ මොන පාසලටද?

කෝලාවිල් ප්‍රාථමික පාසලට. පස් වැනි පන්තියේ දී ශිෂ්‍යත්වය සමත් වෙලා අක්කරෙයිපත්තුවේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට ගියා.

මඩකළපුවේ දී ඉගෙනීමට උනන්දු වෙන්න ඇති?

නෑ. මම ගෙදර ඉඳලා පයින් පාසලට ආවේ ගියේ. උදේ හවස හැතැප්ම දෙකහමාර බැගින් දවසකට හැතැප්ම පහක් යනවා එනවා. පාසල ඇරිලා ආපුවාම හරිම වෙහෙසයි. නිදා ගන්නවා. හැබැයි පයින් යන ගමන වෙහෙස දැනෙන්නේ නෑ. ළමයි එක්ක අඹ වතුවලට පැනලා අඹ කඩාගෙන කනවා. කුරුම්බා කඩාගෙන බොනවා. පැය ගාණක් ගමනටම ගත වෙනවා. පාඩමට වඩා සෙල්ලමටයි හිත ගියේ.

ඔබේ හිත වෙනස් වුණේ කොහොමද? ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කුමක්ද?

හැරවුම් ලක්ෂ්‍යය වුණේ මගේ අයියා කෙනෙක්. එයා තමයි සෙල්ලමටම බර වුණු මගේ ජීවිතේ වෙනස් කරලා පාඩමට යොමු කළේ.

ඒ කොහොමද?

අයියා උපාධිධාරී ගුරුවරයෙක්. ඒ වන විට ඔහු ඉගැන්නුවේ හැටන් නගරයේ හයිලන්ඩ්ස් විද්‍යාලයේ. එක නිවාඩුවකට අයියා ගෙදර ඇවිත් ඊළඟ පාසල් වාරය ඇරැඹෙන විට මාවත් ඔහු ඉගැන්වූ හයිලන්ඩ්ස් විද්‍යාලයට එක්ක ගියා. එහි දී අයියගේ නවාතැනේම නතර වෙලා මමත් අයියාත් එක්කම පාසලට ගියා.

ඒ කී වැනි වසරේදීද?

අටවැනි වසරේ දී. ඉන් පසුව මට සෙල්ලම් කරන්න පරණ යාළුවොත් නෑ. අයියා ළඟ නිසා කට්ටි පනින්නත් බෑ. පාඩම් කරන්නම සිද්ධ වුණා. අයියා ඉගැන්නුවේ වාණිජ විෂය ධාරාවට අයත් විෂයයන්. අයියා මටත් පාඩම් කියලා දුන්නා. මම සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණා.

උසස් පෙළට ඔබ තෝරා ගත්තේ?

වාණිජ විෂය ධාරාව. අයියා උදව් කළා. මටත් ඉගෙන ගන්න ආසාවක් ඇති වුණා. අපි කළේ එච්. එන්. සී. ඊ. කියන නව විභාගය. ඒ සඳහා මම මඩකළපුවේ ශිවානන්ද විද්‍යාලයට ඇතුළු වෙලා නේවාසිකාගාරයේ නැවතුණා.

එහි දී ඔබට බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වෙනවා.

ඔව්. ජීවිතේටම ලබාපු බිහිසුණුම අත්දැකීමට මුහුණ දුන්නා. ලංකාවට හමාපු දරුණුම සුළි කුණාටුවට අපි අසු වුණා.

ඒ කවදාද? කොහොමද?

1976 දී මම විද්‍යාලෙට ඇතුළු වුණා විතරයි. අපි අලුත් නේවාසිකාගාරයේ දවල් කෑමට සූදානම් වෙමින් හිටියා. හිටපු ගමන්ම තදින් සුළං හමන්නට පටන් ගත්තා. වෝඩ්න් අපිට කිව්වා, එළියට නොගිහින් තමන්ගේ කාමර ඇතුළටම වෙලා ඉන්න කියලා. ඒත් අපිට බය හිතුණා. ළමයි ඔක්කෝම පොදු ශාලාවට එකතු වුණා. හුළං එන්න එන්නම වැඩි වුණා. ලයිට් ගියා. අපේ නේවාසිකාගාරේ තිබුණේ මුහුදට සැතපුමක් විතර දුරින්. හෝ ගාලා මුහුදේ රළ බිඳෙනවා. හරියට මුහුද ගොඩ ගලනවා වගේ. වැස්ස වහිනවා. අපි ඉක්මනට අපේ ඇඳුම් පොත්පත් දාපු ට්‍රන්ක පෙට්ටිත් අරගෙන එළියට පැන්නා. ට්‍රන්ක පෙට්ටියේ බරට අපිව සුළඟට ගහගෙන ගියේ නෑ. අපි පෙට්ටි බදාගෙන බඩ ගාගෙන බිම දිගේ ඇදුණා. කරුවලයි. වැස්සයි. විදුලි කොටන එළියෙන් පාර සොයා ගත්තා. පේන තෙක් මානේ ගස් කඩා වැටෙනවා. මුරුංගා ගස් හැම තැනම කැඩිලා වැටිලා. යාළුවෝ හොයාගන්නත් බෑ. සමහරු ගස් අස්සේ හැංගිලා. කොහොම හරි එළිවෙනකල්ම අපි නවාතැන ළඟ බිම දිගා වෙලා හිටියා. එළිය වැටිලා බලනකොට අපි හිටපු නේවාසිකාගාරේ වහල කැඩිලා. බිත්ති පොළොවට පාත් වෙලා. ඒ වෙලාවේ එළියට පැන ගත්තේ නැත්නම් අද ඔබට මේ කතාව කියන්න සුන්දරම් කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ.

සුළි සුළඟින් අවට ජනතාවට ලොකු විපතක් වෙන්න ඇති?

ඔව්. ඒක ලංකාවට බලපාපු දරුණුම සුළි සුළඟ කියලයි කියන්නේ. මුහුද ගොඩ ගලලා. ගං වතුර ගලලා. ගොඩනැගිලි කැඩිලා. පාසල් නේවාසිකාගාරේ බිමට සමතලා වෙලා. මිනිස්සුන්ගේ ගේ දොර කැඩිලා. උන් හිටි තැන් අහිමි වෙලා. වාහන නෑ. ලයිට් නෑ. ගෙවල්වලට යන්න ක්‍රමයක් නෑ. කන්න බොන්නත් නෑ. මහා විපතක්. අපේ ගමට කිලෝ මීටර හැටකටත් වැඩියි. අපේ පාසලේ ගමේ ළමයි කීප දෙනෙක්ම හිටියා. අපි එකතු වෙලා පයින්ම ගමට යන්න පටන් ගත්තා. ගමට යන්න දවස් දෙකක් විතර ගියා. අම්මලාට පණිවුඩයක්වත් යවා ගන්න විදිහක් නෑ. කඩවල්වලින් ඉල්ලාගෙන බිස්කට් කකා ගියා. වතුරවත් නෑ. යන්තම් කල්මුණේට ළඟා වුණා. එතැන ඉඳලත් කිලෝ මීටර 25ක් ගමට යන්න තියෙනවා. ඒත් පයින් ගියා. ඒ යනකොට ඔලුවිල් පාලම කැඩිලා. යන්න විදිහක් නෑ. පැය ගාණක් ඉන්න විට ගම්මු වල්ලම් දෙක තුනක් ගෙනත් අපිව එගොඩ කළා. එතැන් පටන් නින්දවූර් දක්වා පයින් ගියා. නින්දවූර් ඉඳලා පුංචි වෑන් එකක් හම්බ වුණා. අපි ගැන අනුකම්පා කරලා ඒ වෑන් හිමියා අපිව අක්කරෙයිපත්තුවට එක්ක ගියා. ගෙදරට යන විට එකම මළ ගෙයක් වගේ. අම්මා, අප්පා, අක්කලා මාව බදාගෙන හඬා වැළපුණා. ඔවුන්ට ආරංචි වෙලා තිබුණේ මුළු මඩකළපුවම ඉවරයි කියලා. මාව පණ පිටින් දකින්න ලැබෙයි කියලා ඔවුන් හිතලා නෑ. මාව දැකපු ගමන් ඔවුන්ට පුදුම සතුටක්. මාවත් නග්ගවාගෙන වාහනයක් අරන් පහුවදාම ආහාර ද්‍රව්‍ය, හාල්, පොල් පටවාගෙන ගිහින් විපතට පත් වුණු මිනිස්සුන්ට බෙදුවා.

පාසල් ගමන ආපහු පටන් ගත්තේ කවදාද?

පාසල ඇරියේ මාස තුනකට විතර පස්සේ. නේවාසිකාගාරේ කැඩිලා. මම අයියාගේ යාළුවෙකුගේ ගෙදර නැවතුණා. සොක්කලිංගම් කියලා. ඒ ගෙදර ඉඳලා උසස් පෙළ විභාගයට ලීවා.

ප්‍රතිඵල හොඳ වෙන්න ඇති?

ඔව්. මාත් එක්ක තව තුන් දෙනෙක්ම විශ්වවිද්‍යාලයට තේරුණා. 1981 දී මම යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණ. වාණිජ අංශයෙන්.

විශ්වවිද්‍යාල ජීවිතේ කොහොමද?

යාපනේ සංස්කෘතිය වෙනස්. හරි නිදහස්. අධ්‍යාපන කටයුතුත් සමඟම විනෝද වෙන්නත් අවස්ථාව ලැබුණා. හුඟාක් චිත්‍රපටි බැලුවා. විනෝද ගමන් ගියා.

විශ්වවිද්‍යාලයේ දී ප්‍රේමයට ඉඩක් ලැබුණේ නැද්ද?

නෑ. නෑ. හොඳ මිතුරියන් හිටියා. අපි සහෝදරත්වයෙන් ආශ්‍රය කළා. ඒත් විවාහ වෙන්න තරම් ප්‍රේම සම්බන්ධතා ඇති වුණේ නෑ. අද ඒ අයත් විවාහ වෙලා සතුටින් ඉන්නවා.

විශ්වවිද්‍යාලයෙන් පිට වුණේ?

1985 දී. අවසාන විභාගයෙන් දෙවන පෙළ පහළ පන්ති සාමාර්ථයක් ලැබුණා. මම ගමට නොගිහින් කොළඹට ආවා. කොල්ලුපිටියේ විගණන සමාගමකට බැඳිලා වැඩ කළා. ඒ අතර ගුරු පත්වීමක් ලැබිලා කළුතර මුස්ලිම් විද්‍යාලයට ආවා. ඒ පාසලේ වසර දෙකක් විතර ඉගැන්නුවා.

ඔබ පරිපාලන සේවයට එක්වුණේ?

1988 දී. ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයට ලියලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටියාට මට කිසිම පිළිතුරක් ආවේ නෑ. ඉතින් අසමත් ඇති කියලා හිතාගෙන කනගාටු වුණා. මම හොඳට මහන්සිවෙලා විභාගයට ලිව්වා. ප්‍රතිඵල නො ආපු එක ගැන මම පුදුම වුණා.

ඉන් පස්සේ?

මගේ පාසලේ සහෝදර ගුරුතුමියකගේ සැමියාත් එවර පරිපාලන විභාගයට ලිව්වා. අපි දවසක් විවේක කාලයේ දී තේ බොමින් සිටින විට ඇය මට කීවා පරිපාලන විභාගෙන් සමත් වෙලා මගේ මහත්තයා හෙට සම්මුඛ පරීක්ෂණයට යනවා. ඔබත් යනවද කියලා. එවිටයි මට මතක් වුණේ මට කිසිම පිළිතුරක් නොලැබුණු බව. පස්සේ මම අයියාගේ යාළුවෙකුට කතා කළා. ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍ය‍ාංශයට මා සමඟ ගියා. එතැන දී දැනගත්තා ලංකාවෙන්ම දෙමළ මාධ්‍යයෙන් පරිපාලන විභාගය සමත් වෙලා තිබුණේ මම විතරයි කියලා. මට ලියුම එවලා අක්කරෙයිපත්තුවට. ඒත් ලැබුණේ නෑ. හරියටම වාචික පරීක්ෂණයට දවස් දෙකයි. හොඳ වෙලාවට අවශ්‍ය සහතික සහ ලිපි ලේඛන මම නවාතැනේ තියාගෙන හිටියා. මම වාචික පරීක්ෂණයෙන් සමත් වුණා.

ඒ කොයි කාලෙද?

1990 දී. එවර පරිපාලන සේවයට 25 දෙනෙක් බඳවා ගත්තා. එයින් එකම ද්‍රවිඩ ජාතිකයා මමයි.

පළමු පත්වීම ලැබුණේ කොයි පළාතටද?

බදුල්ල කච්චේරියට. මට ඒ වෙනවිට සිංහල වචනයක්වත් බෑ. ඒ වෙනවිට හිටපු සහකාර මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වා මහතා. එතුමා මට කිව්වා වැඩ කරන්නට භාෂාව බාධාවක් කරගන්න එපා. වැඩ කරන ගමන් භාෂාව ඉගෙන ගන්න කියලා.

ඔබ ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද?

මම දෙමළ, සිංහල පත්තර දෙකම ගත්තා. අරගෙන අකුරෙන් අකුර සම කරමින් බැලුවා. වචනයෙන් වචනය ඉගෙන ගත්තා. අද මට භාෂා තුනෙන්ම වැඩ කරන්න පුළුවන්. 1991 දී මම බදුල්ල කච්චේරියේ වැඩ බාර ගත්තා. මගේ බිරියට හොඳට සිංහල පුළුවන්. ඇගේ උදව්වත් මට ලැබුණා.

ඔබ විවාහ වුණේ?

යෝජනාවක් අනුව. ඇය අක්කරෙයිපත්තුවේ. ඇගේ නම ශාන්ති. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලිපිකාරිනියක් ලෙස සේවය කළා. අපි 1992 පෙබරවාරි මාසේ විවාහ වුණා.

ඔබේ දූ දරුවන් ගැනත් කියන්න?

1992 දෙසැම්බරයේ දී පුතා සදූර්ෂන් උපන්නා. ඔහු මේ රටේ විශ්වවිද්‍යාලයකින් වාණිජ විද්‍යා උපාධිය හදාරා ඉන්දියාවේ හින්දුස්ථාන් විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා. දියණිය සදූෂිකා ඉපදුණේ 1994 දී. ඇය ලන්ඩනයේ නොදන්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් අනුක රසායන විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබලා දැන් කොළඹ වෛද්‍ය පීඨයෙන් අනුක රසායන ව්‍යාධි විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා සූදානම් වෙනවා.

බදුල්ලෙන් පස්සේ ඔබේ සේවය යොමු වුණේ?

අවුරුදු දෙකකට පස්සේ බදුල්ලෙන් මඩකළපුවට පත් වෙලා ගියා සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස. අවුරුදු පහක් මඩකළපුවේ වැඩ කළා. මම අවුරුදු එකොළහක් විතර සහකාර මැතිවරණ කොමසාරිස් තනතුරේ වැඩ කරලා තිබෙනවා.

වර්තවමාන පත්වීමත් සමඟ ඔබේ අරමුණු කවරාකාරද?

අපේ අමාත්‍යාංශය රටේ ආර්ථිකය නංවන්නට ඍජුවම දායකත්වය සපයන අමාත්‍යාංශයක්. ආර්ථික වර්ධනය උදෙසා විදේශීය ආයෝජකයන්ගේ දායකත්වය වැඩි වශයෙන් ලබාගන්නට කටයුතු කිරීම අපේ වගකීමයි. විෂය භාර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ පිළිබඳ බෙහෙවින් උනන්දු වෙනවා. අලුතින් ඉදිවන ආයෝජන කලාපවල අපේ තරුණ තරුණියන්ට වැඩි වශයෙන් රැකියා අවස්ථා ලබා දිය යුතුයි. මේ අරමුණු ඉටු කරගන්නට නම් අනලස්ව කඩිනම්ව වැඩ කළ යුතු යැයි මම සිතනවා.

සාගරිකා දිසානායක ජයසිංහ 
සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න