තුරු මිතුරු මුලතිව් | දිනමිණ


 

තුරු මිතුරු මුලතිව්

අසංක බණ්ඩාර

'' වෙරළ පිරිසුදු කිරීම සහ පැළ සිටුවීම තුළින් අප බලාපොරොත්තු වූ ස්ථානයට පිය මනින්ට අපට හැකිවුණා, වෙරළේ සංචාරයට පැමිණි ජනතාව වෙරළේ අලංකරණය දැකලා අතිශයින් සතුටු වුණා. හමුදාව කරලා දුන්නේ අපට කවදාවත් කරගන්න අපහසු දෙයක් කියලා ධීවර ප්‍රජාව කිව්වා . වෙර‍ළේ පැළ සිටුවීමේ දී අපි වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ, වෙරළට ආවේණික වටිනා ශාක සිටුවීමට. එතැන දී බලාපොරොත්තු වුණු තවත් දෙයක් තමයි මුහුදු ඛාදනය වැළැක්වීම, වෙරළ සංරක්ෂණය සහ වෙරළේ සංචාරය කරන්නන්ට සෙවණ ලබාදීම." 

හැත්තෑ දෙවන ජාතික උත්සවයට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක තුරු මිතුරු - නව රටක් ව්‍යාපෘතියට සමගාමීවත් වෙරළ සංරක්ෂණ රුක් රෝපණ ව්‍යාපෘතියේ දී මුලතිවු සිට කෝකිලායි දක්වා වෙරළ තීරයේ තෝරාගත් ස්ථානවල කිලෝමීටර් 34.5 ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි පැළ දහසක් රෝපණය කෙරින.

මෙය ශ්‍රී ලංකාවේ මුහුදු තීරය පිරිසිදුව අලංකාරව පවත්වාගෙන යාමේ අභිලාශයෙන් යුද්ධ හමුදාධිපතිවරයාගේ සංකල්පය මත කාක දූපතෙන් ඇරඹි මුහුදු වෙරළ පිරිසුදු කිරීමේ වැඩ සටහනේ එක් පියවරකි.

මුලතිවු නගරය හා මුහුදු තීරය අලංකාරව පවත්වාගෙන යාම, තුරුලිය රැකීම හා ස්වභාව සෞන්දර්ය ඉහළ නැංවීමේ අරමුණින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් ජේ සෙනෙවිරත්න විසින් යෝජිත මෙම රුක් රෝපණ වැඩ සටහන 59 සේනාංකාධිපති එවක බ්‍රිගේඩියර් වර්තමාන මේජර් ජෙනරාල් ඩබ්ලිව්. එල්. පී. ඩබ්ලිව්. පෙරේරාගේ අධීක්ෂණය මත 591 බළසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහගේ මෙහෙයවීම තුළින් ක්‍රියාවට නංවන ලදි.

59 සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්. එල්. පී. ඩබ්ලිව්. පෙරේරා රුක් රෝපණ වැඩ සටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි අතර මුලතිවු ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්. එස්. රාජකරුණා, 68 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්. එම්. පී. ජේ. රත්නායක, 591, 592 හා 593 බළසේනාධිපතිවරුන් හා සියලු ඒකක අණදෙන නිලධාරීහු සහභාගී වූහ.

මූදිල්ලා, අරලිය, කොහොඹ සහ දොඹ පැළ රුක් රෝපණ වැඩ සටහන සඳහා යොදා ගන්නා ලද අතර ගාල්ල දිස්ත්‍රික් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පුෂ්ප කුමාර විසින් ඒ සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබා දී තිබුණු අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. කණගේෂ්වරම්, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් යූ. උමාමගල්, ප්‍රාදේශීය සභා සභාපති ටී. තවරාසා, සමෘද්ධි අධ්‍යක්ෂ කණක මූර්ති, අපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස්. එල්. කුමාර්, මුලතිවු වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ස්ටීෆන් සහ මධ්‍යම පරිසර අධිකාරී මුලතිව් - එස්. පී.තවතිරුබා ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයන් මෙම රුක් රෝපණ වැඩ සටහනට සහභාගී වූහ.

යුද්ධ හමුදාව විසින් මානුෂිය මෙහෙයුම අවසන් වූ දා සිට මේ දක්වා සිදු කරන සංවර්ධන ව්‍යාපෘති ජනතාව සමඟ කළමනාකරණයක් සිදුව නැත්තේ පුද්ගල මනෝභාවයන් නිසා බව මේජර් ජෙනරාල් ජයන්ත පෙරේරා එහි දී පැවසීය.

'' අපි කරපු ව්‍යාපෘති පේන්නෙ නැහැ. මිනිස්සුන්ට ඇඟට දැනිලා නැහැ. එතකොට මේ පැත්තේ හමුදාව සහ මිනිස්සු ලොකු ගැප් එකක ඉන්නේ. ඒක අතර මැදට ප්‍රදේශීය දේශපාලනයේ මැදිහත් වීම බලපාල තියෙනවා. අපේ අරමුණ පරිසරය පිරිසුදු කර, පාරිසරික අංලකරණය මගින් මිනිස්සුන්ගේ චින්තනය ශක්තිමත් කර ඒ තුළින් වෙනත් අරමුණු උදෙසා දත නියවන්නන් මතවාදී තලයෙන් බැහැර කිරීම. ''

'' වෙරළ පිරිසුදු කිරීම සහ පැළ සිටුවීම තුළින් අප බලාපොරොත්තු වූ ස්ථානයට පිය මනින්ට අපට හැකිවුණා, වෙරළේ සංචාරයට පැමිණි ජනතාව වෙරළේ අලංකරණය දැකලා අතිශයින් සතුටු වුණා. හමුදාව කරලා දුන්නේ අපට කවදාවත් කරගන්න අපහසු දෙයක් කියලා ධීවර ප්‍රජාව කිව්වා . වෙර‍ළේ පැළ සිටුවීමේ දී අපි වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ, වෙරළට ආවේණික වටිනා ශාක සිටුවීමට. එතැන දී බලාපොරොත්තු වුණු තවත් දෙයක් තමයි මුහුදු ඛාදනය වැලක්වීම, වෙරළ සංරක්ෂය සහ වෙරළේ සංචාරය කරන්නන්ට සෙවණ ලබාදීම."

" මීට අමතරව අපි අපගේ සේනාංකවල සහයෝගයෙන් ග්‍රාමසේවා වසම්වල කෘෂිකර්මාන්තය දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කරන්න අපට වඩාත්ම පහසු ස්වාභාවික ජල මූලාශ්‍ර නිසා. ඒවගේම මේ ප්‍රදේශයට ආවේණික මීමැසි පාලනය දියුණු කිරීමටත් අපි ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා, වනාන්තරය ආශ්‍රිත නිසා ස්වභාවික මීපැණි ඝනත්වයෙන් යුක්තව ලබාගැනීමට අපට පුළුවනි. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ද මෙය මහත් රුකුලක් වෙනවා ''

සාගර ජලයේ ක්‍රියාකාරීත්වය හෙවත් සාගර ජලය ආශ්‍රිත නිර්මාණය වන සාගර තරංග, වඩදිය, බාදිය, හා දියවැල්වල බලපෑමෙන් වෙරළ ඛාදනය සිදුවේ.මෙහි දී ප්‍රබල වන්නේ සාගර තරංගයි.සාගර ජල තලය මතු පිට සුළඟ ගැටීම නිසා සාගර තරංග හෙවත් රළ නිර්මාණය වේ.මෙම රළ වේගයෙන් වෙරළේ වැදීම නිසා වෙරළ ඛාදනය උග්‍ර වෙයි.සෘතුමය සුළං, වාසුළි හා භුමි කම්පාවල දී හටගන්නා සුනාමි තරංගද ඛාදනය වේගවත් කිරීමට හේතු වේ.

අතීතයේ සිට ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස වෙරළ ඛාදනය සිදුවුවද වර්තමානයේ එය ප්‍රබල කිරීමට විවිධ මානව ක්‍රියාතාරකම් ද හේතු වී ඇත.

පැළ සිටුවීමේ අවස්ථාවට එක්වෙමින් මුලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම් කනගේෂ්වරන් ද අදහස් පළ කළේය.

" ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් දායකත්වය ලබාදීම ඉතාමත් යහපත්. අප එය අගය කළ යුතුයි. "

'' යුද්ධ හමුදාව විසින් කළ මෙම ව්‍යාපෘතිය, අනාගතය වෙනුවෙන් කරන ලද ආයෝජනයක්, වෙරළ ආරක්ෂා කිරීම සහ අලංකරණය කිරීම වෙනුවෙන් අප ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මම හෘදයාංගම ස්තුතිය පළ කරනවා. ''

නාගරික වනාන්තර, හරිත මාර්ග, හරිත ආවරණ සහ කෘෂි වන වගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට අනුව ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තියේ දක්වා ඇති පරිදි යුද්ධ හමුදාධිපතිවරයගේ සංකල්පයකට අනුව ‘තුරු මිතුරු නව රටක්’ වනාන්තර සහ නගර අලංකරණ ව්‍යාපෘතිය දියත් කෙරිණ.

මෙම ව්‍යාපෘතියට සමගාමීව ලුතිනන් කර්නල් රෝහිත විතානගේ සම්බන්ධීකරණ දායකත්වය යටතේ මාන්චොලේ පිහිටි මුලතිව් දිසා රෝහල පිරිසුදු කොට තීන්ත ආලේප කෙරුණේ 64, 59, 68 වන සේනංකකයන්හී හමුදා සෙබළුන් දෙසීයකගේ ශ්‍රම දායකත්වයෙනි.

මෙම රෝහල මගින් ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 47ක පුද්ගලයන් 50, 000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබති.

'' මේ ව්‍යාපෘතිය කරන්න ගියානම් ඇත්තටම අපට විශාල මුදලක් සහ විශාල පිරිසක් අවශ්‍ය වෙනවා '' මුලතිවු දිසා රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂ එස්. කජීන් පෙන්වාදෙයි.

" කඩතොලු බිත්තිවල තිබුණු අඳුරු පැහැය ඉවත් කොට ඇසට ප්‍රියමනාප පැහැයක් ලබා දෙමින් සිදුකළ මෙම කර්තව්‍යය පිළිබදව මුලතිවු ආරක්ෂක සේනා ආඥාපතිවරයා ඇතුළු නිලධාරීන්ට මෙන්ම සමස්ත හමුදා සමාජිකයන්ට අපේ ගෞරවය හිමිවිය යුතුයි. "

ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලට පැමිණ සිටි ප්‍රදේශවාසියකු වන අදිවර්.

" මගේ වයස අවුරුදු 62ක්. මට මතක හැටියට යුද්ධය තිබුණු අවධියේ ප්‍රභාකරන් ප්‍රතිකාර ගන්න ආවේත් මේ රෝහලට. ඒ තරමටම මෙතැන පහසුකම් තියෙනවා. මේ රෝහල එකම අවස්ථාවක සම්පූර්ණයෙන් පිරිසුදු කර තීන්ත ආලේප කරනවා. අපි දැක්කේ පළමු වතාවට. ඇත්තමට ඒ ගැන හමුදාවේ මහත්වරුන්ට ස්තුතිවන්ත වෙනවා "

කාබනික පොහොර පමණක් භාවිත කරමින් පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස එළවළු වගා කිරීමද මෙදින ආරම්භ කෙරිණ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය මේ සඳහා භූමි ප්‍රමාණයන් තෝරාගෙන තිබේ.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරේ සමාරම්භක උත්සවයට සමගාමීව දිවයින පුරා ස්ථාපිත සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථාන මට්ටමින් පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය දියත් කරනු ලබයි.

මන්තායි නැගෙනහිර, මුහුදුබඩ පත්තුව, ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි සහ වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකින් සමන්විත මුලතිව් දිස්ත්‍රික්කය ග්‍රාමසේවා වසම් හතළිස්හතකින් සමන්විතය.

වර්ග කිලෝමීටර් පන්සියයකින් යුක්ත මෙම දිස්ත්‍රික්කයේ සීයයට හැත්තෑවක්ම, මිනිස්වාසයෙන් තොර ස්වභාවික ජලමූලාශ්‍රයන් ඇති ඝන වනාන්තරයයි. මිශ්‍ර ජනකොට්ඨාසයක් ජීවත්වන මෙහි ජනතාව ධීවර සහ ගොවිතැනට මූලිකත්වය ලබා දෙති. දශක තුනක දරුණු යුද්ධයක් පැවැති මෙහි දැඩි රැකියා වියුතියක් පැවතිය ද වන්නේ සාක්ෂරතාවය සියයට සියයකි.

චතුරංග එම් ප්‍රදීප්

නව අදහස දක්වන්න