උදයංග 17තෙක් රිමාන්ඩ් | දිනමිණ

උදයංග 17තෙක් රිමාන්ඩ්

සුභාෂිණී සේනානායක

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ 14නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු වරෙන්තු නිකුත් කර සිටි උදයංග වීරතුංග මහතා ඊයේ අලුයම මෙරටට පැමිණීමෙන් අනතුරුව රහස් පොලසියි විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් අද දිනයේ පැමිණීමට ඇති අපහසුතාව මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලැබුණු බවත් කියා සිටි රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඩබ්ලිව් තිලකරත්න මහතා ඉදිරියේදී නීතිපති දෙපාර්තමේන්තුවේ උප‍දෙස් ලබා දැනුම් දෙන තුරු සැකකරු ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දැනුම් දුන්නේය.

මෙම ගනුදෙනුව සිදු වී වසර පහක් වෙනවා. දීර්ඝ විමර්ශනයක් නිසා සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගන්න දින 10ක් වත් අවශ්‍ය වෙනවා. සැකකාර වීරතුංග මහතා මෙම ගනුදෙනුව නීත්‍යානුකූලව සිදුව ඇති බවට අද දිනයේ ලබා දුන් ප්‍රකාශයයේ සඳහන් කළා. ඔහුට මුදල් විශුද්ධිකරණ පනතට වැටෙන චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. ඔහු වසර 30ක් රුසියාවේ සිටි බවට ප්‍රකාශ කළා. එම මුදල් ලැබුණු ආකාරය ඔප්පු කිරීමේ වගකීම ඔහුට ඉදිරියේදී පැවරෙනවා. 2015 මුදල් විශුද්ධීකරණ පනත යටතේත් 2016 ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත යටතේත් 2018 වසරේ අප්‍රේල් මස 3 වනදා පොදු දේපල පන‍ත යටතේත් ඔහුට චෝදනා ගොනු කර තිබෙනවා. මෙම විමර්ශනය නැවත කළ යුතුයි. විමර්ශනය සඳහා විවිධ තොරතුරු ලැබී තිබෙනවා. රතු නිවේදනය ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා-

වගකීමෙන් කතා කළ යුතුයි. රජයේ නීතිඥවරයෙක් ඉදිරිපත් වී වරෙන්තු ඉල්ලීම සිදු කරනු ලැබුවේ. යුක්රෙන් ජාතිකයකුට සහ සිංගප්පූරු ජාතිකයන් දෙදෙනෙකුටත් වරෙන්තු ගැනීම සාක්ෂි ලබා දීමෙන් අනතුරුව සිදුව තිබෙනවා.

පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමර්ශන සම්බන්ධයෙන් උපදෙස් පතා තිබෙනවා. කුමන වරදවල්, කුමන වගන්ති සම්බන්ධයෙන් කටයුතු කරන්නේද යන්න මේ වනවිට විමසා තිබෙනවා. මෙය ගැඹුරු විමර්ශනයක්. සැකකරුගෙන් බන්ධනාගාගරයේ සිටියදී ප්‍රකාශ ලබා ගැනීම අසීරුයි. ඉදිරි දින නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අධීකරණයට ඉදිරිපත් කරනවා.

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා-

සැකකරුට පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා එල්ල කළ නොහැකියි. නඩු වාර්තාව විශාලයි. මෙය නිත්‍යානුකූළ ගනුදෙනුවක් බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ යුතුයි. 17 වනදා ලිඛීත සැළකිරීම් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම සියලු කරුණුවලින් අනතුරුව සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙසත් එදිනට විමර්ශන ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

නව අදහස දක්වන්න