කොරෝනා වෛරසය ගැන බටහිර මාධ්‍ය ගෙන යන ප්‍රචාර නින්දිතයි | දිනමිණ

කොරෝනා වෛරසය ගැන බටහිර මාධ්‍ය ගෙන යන ප්‍රචාර නින්දිතයි

කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේ හැකියාව චීනය සතුව ඇති බවත් භීතිය සහ චකිතය වර්ධනය කිරීමට බටහිර මාධ්‍ය ගන්නා උත්සාහය ඉතා නින්දිත සදාචාර විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එම සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක මහතා සිය අත්සනින් නිකුත් කැර ඇති නිවේදනයේ මෙසේ සඳහාන් වේ. කොරෝනා වෛරසය වැළඳුනු පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට තම සංවේගය පළ කරන ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමය, මෙම වෛරසය කෙටි කලකින් මැඩපැවැත්වීමේ හැකියාව චීන කොමියුනිස්ට් පක්ෂයට, රජයට සහ චීන ජනතාවට හැකි බව හේ එම නිවේදනයෙන් ප්‍රකාශ කර සිටියි.

චීන නායකයන් මෙම මොහොතේ ජනතාවගේ ආරක්ෂාව ගැන දැඩිව සිතන බව පැහැදිලිය. පසුගිය සෙනසුරාදා චීන ජනපති ෂී ජිංපින් රජයේ නිලධාරීන්ට දැනුම් දුන්නේ ජනතාගේ ජීවිත සහ සෞඛ්‍යට ප්‍රධාන තැනක් දිය යුතු බවයි.

පසුගිය දින කිහිපය පුරා චීනය ගෙන ඇති ක්‍රියාමාර්ග දෙස බලන විට මේවා හිස් වදන් පමණක් නොවන බව පැහැදිලිය. රෝගය තවදුරටත් පැතිරයාම අඩු කිරීමට කොරෝනා වෛරසය පැතිර ඇති ප්‍රදේශ බොහොමයක් පිටස්තර ලෝකයට වසා ඇත. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳවල් දහස් ගණනකින් යුතු නව සෞඛ්‍ය මධ්‍යස්ථාන දින කිහිපයක් තුළ සකස් කැර ඇත. මේ වන විටත් සමහර රෝගීන් සුවපත් කැර ඇති අතර, ආහාර සහ සෞඛ්‍ය පිළිබඳ නව නීති බොහොමයක් හඳුන්වා දී ඇත්තේ මෙවැනි තත්ත්වයන් නැවත ඇති නොවීමටය. ලෝක ඉතිහාසය පුරා මෙවැනි ආසාධනයන් විටින් විට මතුව ඇත. මෙය ස්වභාවික තත්ත්වයකි. නමුත් වැදගත් වන්නේ මෙවැනි හදිසි අවස්ථාවන්ට රාජ්‍යයන් මුහුණ දෙන ආකාරයයි. යම් කිසි රටක් හදිසි අවස්ථාවකට මුහුණ දෙන විට, අප ඔවුන්ගේ ගැටලුවලට සංවේදී විය යුතුය. එම රට එම අර්බුදයට හොඳින් මුහුණ දෙන්නේ නම් අප සතුටු විය යුතුය. නමුත් බටහිර මාධ්‍ය කොරෝනා වෛරසය ගැන කරන වාර්තා දෙස බලනවිට අපට පෙනී යන්නේ ඔවුන් භීතිය සහ තැති ගැනීම වර්ධනය කිරීමට උත්සහ ගන්නා බවයි. බටහිර මාධ්‍යවල මෙම හැසිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ අපට හොඳ අත්දැකීම් ඇත. ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමයේ අදහස නම් චීනය තම මුළු ශක්තිය යොදා මෙම අර්බුධය ජය ගැනීමට කරන උත්සහය ප්‍රසංශනීය බවත්, කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේ හැකියාව චීනය සතු බවත්ය.

නව අදහස දක්වන්න