දේශ­පා­ලන පළි­ගැ­නීම්! | දිනමිණ


 

දේශ­පා­ලන පළි­ගැ­නීම්!

කිසිදු දේශ­පා­ලන පළි­ගැ­නී­ම­කින් තොරව රාජ්‍ය-පාල­නය ගෙන යන බවට සහ­ති­ක­යක් අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා ලබා දී තිබේ. මේ සහ­ති­කය ලබා දෙන්නේ ප්‍රසිද්ධ සංඝ සභා­වක් ඉදි­රි­පි­ට­දීය. අතී­තයේ ශ්‍රී ලංකාව පාල­නය කළ රජ­ව­රුන් රාජ්‍ය පාල­නය සඳහා උප­දේ­ශන ලබා­ගත්තේ ද, ගැටුම් නිරා­ක­ර­ණයේ දී ක්‍රම­වේද විමසා දැන­ගත්තේ ද මහා සංඝයා වෙතින් ය. එය ධර්ම­යට ගරු කිරී­මක් ලෙස ද, බුද්ධි­මය තීන්දු - තීර­ණ­ව­ලට ගනු ලබන ප්‍රවේ­ශ­යක් ලෙස ද පැවැ­තිණි. මහින්ද රාජ­පක්ෂ මහතා නිර­න්ත­ර­යෙන් ම ශාස­න­යට ළැදිව ක්‍රියා­ක­රන නාය­ක­යෙකි. ඔහු ශ්‍රී ලංකාව තුළ අති­ශය ජන­ප්‍රිය නාය­ක­යකු වීමට බලපෑ එක් හේතු­වක් ලෙස ද එය පවතී. මහා සංඝයා ඉදි­රියේ ලබා දෙන ප්‍රති­ඥා­වක් හැම­විට ම අර්ථ­දා­යක ලෙස පව­තින්නේ ය. 

දේශ­පා­ලන පළි­ගැ­නීම් යන්න සුලබ ලෙස භාවිත වන වච­න­යකි. එලෙස ම එය සෑම ආණ්ඩු­වක් ම අඩු - වැඩි වශ­යෙන් පාවිච්චි කර ඇත. බල­යට පත්වන ආණ්ඩුවේ දේශ­පා­ලන නාය­කයෝ පරා­ජ­යට පත් වූ දේශ­පා­ලන නාය­ක­ය­න්ගෙන් දිගට - හර­යට පළි­ගැ­නීම් කරති. එය ද සුලබ සිද්ධි­යක් බවට පත් වී ඇත. යහ­පා­ලන ආණ්ඩුව සිය පළි­ගැ­නීමේ ක්‍රියා­ව­ලිය කේන්ද්‍ර­ගත කර තිබුණේ රාජ­පක්ෂ පවුල වෙත ය. රාජ­පක්ෂ පවුලේ සෑම සාමා­ජි­ක­යකු ම නීතිය හමු­වට ගෙන ගොස් හිරි­හැර කිරී­මට යහ­පා­ලන ආණ්ඩුව ක්‍රියා කළේය. ඉදි­රි­පත් වී ඇති ඇතැම් චෝදනා හාස්‍ය­යට හේතු­වක් වෙයි. යහ­පා­ල­න­යට අනුව සිල් රෙදි බෙදා­දීම වර­දකි. මහ­ජ­න­යාට ටක­රන් ලබා­දීම වර­දකි. තම පියා වෙනු­වෙන් ස්මාර­ක­යක් ඉදි­කි­රීම වර­දකි. ජන­තා­වට ලිතක් ලබා­දී­මත් වර­දකි. 

ශ්‍රී ලංකාවේ දේශ­පා­ලන පළි­ගැ­නී­ම්වල ඉති­හා­ස­යට ගිය­හොත් එය ඉතා දැඩි ලෙස ක්‍රියා­ත්මක වී ඇත්තේ 1977 දී ය. එදා බල­යට පත් එක්සත් ජාතික පක්ෂ රජය ආය­ත­න­වල දේශ­පා­ලන පළි­ගැ­නී­ම්ව­ලට නොනිල අව­ස­ර­යක් ලබා දී තිබිණි. දේශ­පා­ලන හේතු මත රාජ්‍ය සේව­ක­යන් විශාල ප්‍රමා­ණ­යක් ආය­ත­න­ව­ලින් එළි­යට ඇද දැමිණි. දේශ­පා­ලන හේතු මත නිවාස විශාල සංඛ්‍යා­වක් ගිනි­බත් කර තිබිණි. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ­ජන නියෝ­ජි­ත­යන්ට පවා පහ­ර­දීම් සිදු­කර තිබිණි. එජාප නාය­කයා වූ ජේ. ආර්. ජය­ව­ර්ධන දේශ­පා­ලන පළි­ගැ­නී­ම්ව­ලට අවශ්‍ය කාල­යක් ද ලබා දී තිබිණි. එම කාලය තුළ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව නිහඬ ව කල් යවනු දක්නට ලැබිණි. එක්සත් ජාතික පක්ෂය දේශ­පා­ලන පළි­ගැ­නීම් සඳහා හැම විට ම ප්‍රකට ය. 

1977 න් පසු වඩාත් උත්සන්න තත්ත්ව­ය­කට පත්වූ මේ විෂය මුළු­ම­නින් ම කපා හැරී­මට කිසිදු ආණ්ඩු­වක් සමත් වූයේ නැත. අඩු - වැඩි වශ­යෙන් සෑම ආණ්ඩු­වක් ම දේශ­පා­ලන පළි­ගැ­නීම් සිදු­කර ඇති බව සත්‍ය­යෙකි. රාජ්‍ය සේවය මීට හොඳින් ම ගොදුරු විය. ආය­තන ප්‍රධා­නීන් සේව­යෙන් පහ කිරීම, වෘත්තීය සමිති නාය­ක­යන්ගේ වැඩ තහ­නම් කිරීම නුසු­දුසු පුද්ග­ල­යන් දේශ­පා­ලන බලය මත තන­තු­රු­ව­ලට පත්කි­රීම දිගින් - දිගට ම සිදු වී ඇත. බොරු ‍චෝදනා ඉදි­රි­ප­ත්කොට වැඩ තහ­න­ම­කට නතු කරන රාජ්‍ය සේව­ක­ය­කුට නඩු මඟට ගොස් නැවත සේවය ලබා­ගැ­නී­මට සැලැ­කිය යුතු කාල­යක් ගත­වෙයි. ඇතැම් නඩු­වක් අව­සන්  වන්නේ නිල­ධ­රයා විශ්‍රාම ගන්නා කාලයේ ය. මේ අනුව ඔහුට හෝ ඇයට හෝ සිය වෘත්ති­යෙන් ජීවි­ත­යට අර්ථ­යක් එකතු කර ගැනී­මට ඉඩ ලැබෙන්නේ නැත.

2002 රනිල් වික්‍ර­ම­සිංහ ආණ්ඩු­වෙන් ද, 2015 යහ­පා­ලන ආණ්ඩු­වෙන් ද රාජ්‍ය සේවයේ හා අර්ධ රාජ්‍ය සේවයේ සැලැ­කිය යුතු පිරි­සක ගෙදර යවා ඇත. තවත් පිරි­ස­කට උස­ස්වීම් ලබා දී නැත. ඇතැම් කෙන­කුට වැටුප් වර්ධක ලබා දී නැත. මේ සියල්ල හැඳි­න්විය හැක්කේ එකි­නෙක පුද්ග­ල­යන්ගේ ජීවිත විනාශ කිරී­මක් හැටි­යට ය. මෙහිදී තනි ජීවි­ත­යක් පම­ණක් නො ව; සම­ස්ත­යක් ලෙස පවු­ලක් ම අභි­යෝ­ග­යට ලක්වන බව අමු­තු­වෙන් කිව යුතු නැත. රාජ්‍ය පාල­නයේ ඉහ­ළම පුද්ග­ල­යන් එක අතෙ­කින් දේශ­පා­ලන පළි­ගැ­නීම් ක්‍රියා­වට නංවන අතර ‍තව අතෙ­කින් දේශ­පා­ලන හෙංච­යි­යන් පළි­ගැ­නීම් ක්‍රියා­වට නංවන බව පෙනෙයි. නිවැ­රැදි නාය­ක­ත්ව­යක් හා හරි දේශ­පා­ලන ප්‍රති­ප­ත්ති­යක් මත මේ සියල්ල නවතා දැමිය හැකි ය. ගෝඨා­භය රාජ­පක්ෂ ආණ්ඩුව ඒ බව සනාථ කර­මින් සිටී.

නව රජය බල­යට පත්වී­මෙන් පසු දේශ­පා­ලන පළි­ගැ­නීම් මත කිසිදු රාජ්‍ය සේව­ක­යකු ගෙදර යවා ඇති බව වාර්තා වී නැත. දේශ­පා­ලන බල­පෑම් මත සිදු­වන පහ­ර­දීම් හා සේව­යෙන් නෙර­පීම් වාර්තා වී නැත. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශ­වල සේව­ක­යන්ගේ දුක් ගැන­විලි ඉදි­රි­පත් කිරීම සඳහා ආය­තන ගණ­නා­වක් තිබේ. එක ආය­ත­න­යක් අග­මැ­ති­ව­ර­යාගේ අධී­ක්ෂ­ණය යටතේ ක්‍රියා­ත්මක වෙයි. ඕනෑම දේශ­පා­ලන පළි­ගැ­නී­මක් සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි භාර­ගැ­නී­මට ද, ඒ සඳහා ක්‍රියා­ත්මක වීමට ද අදාළ ආය­තන සූදා­නම් ය. යහ­පා­ලන ආණ්ඩුව යටතේ පීඩා­වට පත්වූ විශාල පිරි­ස­කගේ පැමි­ණිලි එම ආය­ත­න­යට භාර දී ඇත. ඒවා අභි­යා­චනා ලෙස ද සැලැ­කිය හැකිය. අදාළ ආය­ත­නය මේ වන විටත් බොහෝ දෙන­කුට යුක්තිය ඉටු­කර දී ඇති බව දැන­ග­න්නට ලැබේ. 

දේශ­පා­ලන පළි­ගැ­නී­ම්ව­ලට එරෙහි ව ක්‍රියා­කි­රීමේ දී අංශ කිහි­ප­ය­කින් ඊට පිළි­තුරු සැප­යිය යුතු බව පෙනී යයි. පළ­මුව නාය­ක­යන් විසින් දේශ­පා­ලන පළි­ගැ­නීම් නැවැ­ත්වී­මට ක්‍රියා කළ යුතුව තිබේ. දෙව­නුව පළි­ගැ­නී­මට ලක්වූ තැනැ­ත්තන්ට යුක්තිය ඉටු­කි­රීම සඳහා ක්‍රියා කළ යුතු ව තිබේ. තෙව­නුව දේශ­පා­ලන විරු­ද්ධ­වා­දී­න්ගෙන් පළි­ගැ­නීම සඳහා නීතිය, අධි­ක­ර­ණය හා පොලි­සිය යොදා­ගැ­නීම නැවැ­ත්විය යුතු ව තිබේ. නව රජය පොලි­සි­යට හා අධි­ක­ර­ණ­යට බල­පෑම් කිරී­මෙන් ඉවත් ව සිටී. ඇත­මකු එය වැරැ­ද්දක් ලෙස දකින බව ද පෙනෙ­න්නට ඇත. එහෙත් යුක්ති­යට හා සාධා­ර­ණ­යට මුල් තැන දෙන රජ­ය­කට අධි­ක­ර­ණ­යට බල­පෑම් කිරීමේ හැකි­යා­වක් නැත. පොලි­සි­යට අනිසි බල­පෑම් කිරීමේ හැකි­යා­වක් ද නැත. මහ බැංකු කොල්ලය ගැන වුව නීති අංශ ස්වාධීන තීන්දු ගත යුතුව තිබේ. 

ආණ්ඩුව යහ­පත් දේශ­පා­ලන සංස්කෘ­ති­යක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා පරි­ශ්‍ර­ම­යක යෙදී ඇති බව පැහැ­දි­ලිය. රාජ්‍ය නිල­ධා­රීන්ට ස්වාධීන ලෙස කට­යුතු කිරී­මට ඉඩ දීම, විරෝ­ධ­තා­ක­රු­වන්ගේ අයි­ති­වා­සි­කම් පිළි­ගැ­නීම සේ ම දේශ­පා­ලන පළි­ගැ­නීම් නැවැ­ත්වී­මට ගනු ලබන උත්සා­හ­යෙන් ද ඒ බව තව­දු­ර­ටත් සනාථ වෙයි.

නව අදහස දක්වන්න