කොදෙව් පිලට එරෙහි පුහුණු තරගයෙන් ක්‍රිකට් ආයතන පිලට කඩුලු 2ක ජයක් | දිනමිණ


 

කොදෙව් පිලට එරෙහි පුහුණු තරගයෙන් ක්‍රිකට් ආයතන පිලට කඩුලු 2ක ජයක්

උපුල් තරංගගෙන් නායකත්වයේ ඉනිමක්

 කලෙකට පසුව සිය පිතිහරඹ දස්කම් මැනවින් විදහා දැක්වූ උපුල් තරංග නායකත්වයෙන් ඉනිමක් ක්‍රීඩා කරමින් රැස් කළ විශිෂ්ට ශතකය මතින් ඉනිම ගොඩනැගූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම ඊයේ පී.සරා ඕවල් පිටියේ දී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින පුහුණු තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

පසුගිය වසරේ මාර්තු මාසයේ දී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ 35 හැවිරිදි උපුල් තරංග ඊයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් අගනා ලකුණු 120ක් රැස් කරමින් කණ්ඩායමේ ජයග්‍රහණයට කදිම දායකත්වයක් ලබාදුන්නේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ඕවර 43.4කදී ලකුණු 282ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 2ම එක් ලකුණක් ඇතුළත බිඳ වැටීමෙන් පසුව අසේල ගුණරත්න සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 198ක සම්බන්ධතාවක් ගොඩනැගූ උපුල් තරංග පන්දු 124කින් ලකුණු 120ක් රැස් කළේ හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමගිනි. ඔහුට අගනා සහයක් ලබාදුන් අසේල ගුණරත්න හතරේ පහර 7ක් සමග ලකුණු 64ක් රැස් කළේ පන්දු 75කිනි. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ සඳුන් වීරක්කොඩි සහ අංක 3 පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු නොලබා දැවී ගිය අතර මුළු ලකුණු සංඛ්‍යාව 211කදී අසේල ගුණරත්න දුවද්දී දැවීයාමෙන් පසුව තවත් කඩුලු 3ක්ම බිඳ වැටුණේ ලකුණු 18ක් ඇතුළතදීය. එහෙත් ඉන් පසුව ළහිරු උදාර නොදැවී ලකුණු 22ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු ඉහළ දැමූ අතර තික්ෂිල ද සිල්වා නොදැවී ලකුණු 25ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගියේය.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය වන ෂායි හෝප් සහ බ්‍රෙන්ඩන් කිං දෙදෙනාම ලකුණු ලැබීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ සමත්වූහ. එහෙත් ඉන් පසුව සුනිල් ඇම්බ්‍රිස් සමග එක්වූ ඩැරන් බ්‍රාවෝ වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 88කදී ලකුණු 100ක් රැස් කිරීම කැපී පෙනුණි. හතරේ පහර 14ක් සහ හයේ පහරක් එල්ල කරමින් කොදෙව් ඉනිම වර්ණවත් කළ බ්‍රාවෝ තුන්වැනි කඩුල්ලට සුනිල් ඇම්බ්‍රිස් සමග එක්ව ලකුණු 113ක් රැස් කිරීමට සමත්වූ අතර නිකොලස් පූරන් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 79ක් විය. ඇම්බ්‍රිස් සහ පූරන් දෙදෙනාම ලකුණු 41 බැගින් රැස් කිරීමට සමත්වූහ. පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුසංඛ කඩුලු 3ක් දවාලූ අතර අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ දැමුවේය.

කොදෙව් පිල - 282 (ඕවර 43.4) ඩැරන් බ්‍රාවෝ 100, සුනිල් ඇම්බ්‍රිස් 41, නිකොලස් පූරන් 41(ඩිල්ෂාන් මධුසංඛ 47/3, අසිත ප්‍රනාන්දු 17/2)

ක්‍රිකට් ආයතන පිල- 283/8 (ඕවර 47.3) උපුල් තරංග 120, අසේල ගුණරත්න 64, තික්ෂිල ද සිල්වා නොදැවී 25, ළහිරු උදාර 22 ( ශෙල්ඩන් කොට්රෝල් 22/2, හේඩ්න් වෝල්ෂ් 52/2, ෆේබියන් ඇලන් 62/2)

 

නව අදහස දක්වන්න