හොරවල පාලම් යෝජනාවට වසර 32යි | දිනමිණ


 

හොරවල පාලම් යෝජනාවට වසර 32යි

තවමත් ගමන පාලම් පාරුවෙන්

බෙන්තර පාලම හැරුණු විට දකුණු පළාතෙන් බස්නාහිර පළාතට පිවිසිය හැකි පිටිගල සිට අවිත්තාව හරහා ඇති පාලමට බෙන්තර සිට ඇල්පිටිය හරහා කිලෝමීටර් පනහක් පමණ යායුතුය. එතැන් සිට නැවත ගාලු පාරට තවත් එවැනිම දුරක් පැමිණිය යුතුවේ. බෙන්තර පාලමත්, පිටිගලට නුදුරින් ඇති පාලමත් අතර කදිම විකල්ප මගක් ඇත. එතැන පාලමක් නොමැති අතර දෙපළාතේ අය එගොඩ මෙගොඩ වන්නේ කඹයකින් අදිනු ලබන පාලම් පාරුවකිනි.

බෙන්තොට - මහ ඌරගහ මාර්ගයේ හොරවල ප්‍රදේශයේ ඇති මේ තොටුපොළෙන් ගොඩ වී දිනකට පාලම් පාරුව මතින් බෙන්තර ගඟ හරහා එගොඩ මෙගොඩ වන්නෝ දහස් ගණනෙකි. පාපැදි, යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන් රථ, කුඩා ලොරි රථ, ආදී වාහනද දහස් ගණනක් එගොඩ මෙගොඩ වන බව ගම්වාසීහු පවසති.

පාරුවේ ක්‍රියාකරු පවසන ආකාරයට ආදායමක් ඇතත් නැතත් රුපියල් 12500 ක් ප්‍රාදේශීය සභාවට දිනකට ගෙවිය යුතුව ඇත. ජනතාව පවසන ආකාරයට දිනකට පාරුවෙන් උපයන ආදායම රුපියල් තිස් හතළිස් දාහකට වැඩිය. 1988 දී ප්‍රථම දකුණු පළාත් සභාවට කොමියුනිස්ට් පක්ෂයෙන් තේරී පත් වූ දිවංගත ඩී. ඇස්. කුමාරසිංහ මහතා එදා මෙතැන පාලමක් ඉදි කිරීමට ගෙනා යෝජනාව එජාපයේ ගාමිණී අබේවර්ධන මහතා ස්ථිර කොට ඒකමතිකව සම්මත කෙරුණත් එදායින් වසර 32 කට පසුවත් තවමත් පාලමක් ඉදි කර නැත.

පියසේන පන්නිල විතාන මහතා -

මට මතක හැටියට මෙතැන පාලම් පාරුවක් ආරම්භ කළේ දකුණු පළාත් සභාවේ මහ ඇමැතිව සිටි ඇම්. ඇස්. අමරසිරි මහතාගේ කාලයේදීයි. අප එදා සිට මෙතැනට ස්ථිර පාලමක් ගන්න නොගත් උත්සාහයක් නෑ. ආණ්ඩු වෙනස් වීමෙන් වැඩෙත් නතර වුණා.

බෙන්තොට ප්‍රා. සභා මන්ත්‍රී දේශප්‍රිය හෙලන් කුමාර මහතා -

මෙතැන තවත් කුමන්ත්‍රණයකුත් තිබෙනවා. ඒ පාලම් පාරුව පවත්වාගෙන යන වලල්ලාවිට ප්‍රාදේශීය සභාව මගිනුයි. බෙන්තර ගඟ අපේ නම්, හොරවල තොටුපොළත් අපේ නම්, මේ පාලම් පාරුව වෙනත් ප්‍රාදේශීය සභාවකට දී ඇත්තේ ඇයි?

පියරත්න ගුණවර්ධන මහතා -

මෙතැන තිබූ පාලම් පාරුව පෙරළී මීට වසර තුනකට පමණ පෙර විශාල අනතුරක් වුණා. ඉන් පසුව ත්‍රිරෝද රථයක් පෙරළී ළමයෙක් මිය ගියා. මෙතැන වරින් වර පාලම් පාරු පහක් ගිලුණු බව මට මතකයි. මෙතැන පාලමක් හදන්න නිලධාරීන් එවලා මැනගෙනත් ගියා.

ඉඳුරුව සමූහ ඇම්. පී. මුනිදාස

නව අදහස දක්වන්න