වන අලින්ට ෂොට් එක දෙන හණ අලි වැට | දිනමිණ


 

වන අලින්ට ෂොට් එක දෙන හණ අලි වැට

දශක ගණනාවක් පටන් පුත්තලම දිස්ත්‍රික්කයේ උතුරු කොටසට දැඩි බලපෑමක් එල්ල වී ඇති වන වන අලි ගැටලුවට විසඳුමක් ලබාදීමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොඨාසයට අයත් මුරියාකුලම ප්‍රදේශයේ ගොවි මහතෙක් පසුගියදා සමත්වීය.

ඔහු නමින් ජේ.කේ. අජීත් වීරසිංහයි. පත්‍ර අග තියුණු උල් සහිත හණ වර්ගයක් සිටුවා වසර දහයක් තිස්සේ සිදුකළ අත්හදා බැලීමෙන් පසු සාරාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි වී ඇති බව ඔහු සඳහන් කරයි.

වන අලින්ගෙන් වගා බිම් ආරක්ෂා කරගැනීමට ඉතා සාර්ථක ක්‍රමයක් මෙය බවත් මෙම ක්‍රමය සෙසු ගම්මානවලට හඳුනාදීමට කටයුතු කරන බව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතා සඳහන් කර සිටියේය.

වගාබිම් මායිම්වල මෙම හණ විශේෂය සිටුවීමෙන් වන අලින්ට ඉඩම් තුළට කඩා වැදීම්ට විශාල බාධාවක් වේ.

වන අලි ගැටලුව නිසා මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වසම් 16න් 14ක් පුරා ගම්මාන 500කට ආසන්න ලක්ෂ 4ක පමණ ජනතාවගේ දෛනික කටයුතුවලට මෙන්ම ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල වී ඇත.

වන අලින්ගෙන් බෝග වගාවන්ට මෙන්ම පොල් වගාවටද මේ වන විට දැඩි බලපෑම් එල්ල වී තිබේ. පසුගිය වසර කිහිපය තුළ ලක්ෂ ගණනාවක් වන අලින් පොල් ගස් විනාශ කර තිබේ. එසේම මුං, කව්පි, උඳු, බඩඉරිඟු, කුරක්කන් ඇතුළු බෝග වගාවන් පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් බොහෝ ඉඩම් කැලෑ වැදී තිබේ. විශාල මුදලක් වැය කොට වගා කළ ද අස්වැන්න නෙළීම පටන් ගන්නා කාලයේ වන අලින් භෝග වගාවන් විනාශ කිරීම සිදු කරන බව ජනතාව පෙන්වා දෙති.

මේ සියල්ල හමුවේ වන අලින් කඩා වැදී සිදුකරන වගා හානි වළක්වා ගැනීමට වසර 10කට පෙර කළ අත්හදා බැලීමක් මේ වන විට සාර්ථක වි ඇති බව සනාථ වී තිබේ.

මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ ජේ.කේ. අජීත් විරසිංහ මහතා,

“වන අලි කරදරයෙන් බැට කා හිටිය අනිත් අය වාගේම මමත් ඒ දුක වින්දා. නමුත් මේ කරදරයෙන් මිදෙන්න විවිධ දේවල් කළා. ඒ අතර විදුලි අලි වැටත් යොදා ගත්තා. නමුත් එයත් සාර්ථක වුණේ නැහැ. අලි රංචු අලි වැටවල් ගණන් ගත්තේ නැහැ. මට ලැබුණු හණ පැළ කිහිපයක් මීට අවුරුදු 10කට කලින් ඉඩමේ තැන් කිහිපයකින් හිටවා දැමුවා. මේ හණ ගස්වල අතුවල කටු සහිත වීමත් අවසානයේ දිග කටුවත් නිසා මට විශ්වාසක් ඇති වුණා අලින්ට ඉඩමට ඇතුළුවීම්ට නොහැකි බව. පස්සේ අවුරුදු කිහිපයක් යද්දී මම ඉඩමේ තුන් පැත්තක හණ හිටවා බැලුවා."

මේ පිළිබඳව අදහස් දැක්වූ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසූරිය මහතා,

“ මම කරුවලගස්වැව සේවයට ඇවිල්ලා දැන් සෑහෙන කාලයක් වෙනවා. ඒ කාලය පුරාම මට සිදුවුණේ අලි මිනිස් ගැටුමට උත්තර සොයන්න. ඒ තරමට මේ අලි කරදරය මට එපා කළා. නමුත් මේ අජිත් විරසිංහ වන අලි කඩා වදින එක සම්පුර්ණයෙන් නවතා දමල තිබන්නේ. මේ හණ විශේෂය වැට දිගට සිටුවලා හොද ප්‍රතිඵලයක් ලබා ගෙන තිබෙනවා. මේ ගසේ පත්‍රවල තැනික් තැන පිහිටා ඇති කටු ස්වභාවයක් අවසානයේ ඇති අගල් දෙකක් පමණ දිගැති කටුව ඇනි යෑමත් සමඟ පැය ගණනාවක් යන තුරු පවතින වේදනාවත්, රාත්‍රියේ මේ කටුව සහිත කොටස යම් දීප්තියක් නිකුත් කිරිමක් සේ සිදුවීමත් නිසා සමහර විට අලි බියවිමට හේතු වී ඇති බවට යම් විශ්වාසයක් ගොඩ නැඟිලා තිබෙනවා.

  අමරනන්ද  විජේසේකර - මහවැව 

නව අදහස දක්වන්න