යහපාලනයෙන් ගෙනා රටට අහිතකර ජිනීවා යෝජනා 2කින් රජය ඉවත්වේ | දිනමිණ

යහපාලනයෙන් ගෙනා රටට අහිතකර ජිනීවා යෝජනා 2කින් රජය ඉවත්වේ

මහින්ද අලුත්ගෙදර

පැවැති යහපාලන රජය විසින් ජිනීවා ජගත් මානව හිමිකම් කොමිෂන් සභාවේ දී සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30-1 සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරේදා(17) දිනයේ ජනාධිපති කාර්යාලයේ කැඳවන ලද විශේෂ රැස්වීමකදී මේ තීන්දුව ගෙන තිබෙන අතර එම හමුව සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළුව මැති ඇමැතිවරුන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

මෙම යෝජනා දෙක ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තියට නොගැලපෙන නිසා එම යෝජනාවලින් ඉවත්විය යුතු යයි මේ සාකච්ඡාවේ දී තීරණය කර තිබෙන අතර 2015 සහ 2016 වසරේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සඳහා ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය ලබා දී ඇත්තේ එම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව ද අනාවරණය විය.

ඒ අනුව ඉදිරි සතියේ දී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙන අතර ඊට පෙර එම ස්ථාවරය පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.

කෙසේ වුවද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යුද අපරාධ චෝදනා ලත් හමුදා සෙබළුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හා නඩු පැවරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ අතුරුදන්වූවන් සම්බන්ධ කාර්යාලයක් ස්ථාපිත කිරීම මෙම යෝජනා දෙකට ඇතුළත් වන කාර්යයන් වෙයි.

මෙම හේතු නිසා අදාළ යෝජනා දෙකෙන් රටට යහපතක් නොවන බැවින් ඉන් ඉවත්වීමට රජය තීරණය කර තිබෙන අතර, ඉදිරි සතියේ දී විදේශ සබඳතා ඇමැතිවරයා ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සලයට ගොස් රජයේ එම තීරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ද නියමිතව තිබේ. එය ඊට පෙර අමාත්‍ය මණ්ඩලයටත්, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න