බැටික්ලෝ කැම්පස් හදන්න රජයේ ඉඩම් අක්කර 15ක් හොරෙන් අරන් | දිනමිණ

බැටික්ලෝ කැම්පස් හදන්න රජයේ ඉඩම් අක්කර 15ක් හොරෙන් අරන්

CID විමර්ශනවලින් හෙළිවෙයි

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාට අයත් බැටික්ලෝ කැම්පස් ආයතනය ඉදිකිරීමේ දී රජයේ ඉඩම් අක්කර 15 ක් නීති විරෝධීව අත්පත් කැර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එසේ ඔවුන් අක්කර 15ක් අල්ලාගෙන ඇත්තේ බැටික්ලෝ කැම්පස් ඉදිකිරීම සඳහා මහවැලියට අයත් ඉඩමක් රජයෙන් ඔවුන්ට ලබාදී තිබියදී ම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අයත් එම ඉඩම නිදහස් කැර ඇත්තේ 2013 වසරේ හීරා ෆවුන්ඩේෂන් නැමැති ආයතනයක් වෙනුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැඟෙනහිර පළාතේ තරුණ තරුණියන්ට නොමිලයේ වෘත්තීය පුහුණු පාඨමාලා ලබාදීමේ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන බව පවසා මහවැලි අධිකාරියෙන් කළ ඉල්ලීමකට අනුව 2013 ජූලි 24වැනි දා මඩකලපුව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අක්කර 35ක එම ඉඩම අක්කරයකට රුපියල් 14,340ක් බදු වශයෙන් අයකර ගැනීමේ පදනම යටතේ වසර 35ක කාලයකට හීරා පදනමට ලබාදී තිබෙන බවද විමර්ශන වලින් හෙළිවී තිබේ.

කාර්මික විද්‍යාලයක් වෙනුවෙන් රජයෙන් නිදහස් කළ එම ඉඩම පසුව බැටික්ලෝ කැම්පස් ලෙස අරාබි විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට යොදාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අත්පත්කර ගෙන ඇතැයි අනාවරණය වී ඇත්තේ හීරා පදනමට නිකුත් කළ ඉඩම් කොටසට අමතර ඉඩම් අක්කර 15 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. හීරා පදනමට කර්මික විද්‍යාලයක් ඉදිකිරීමට බදු පනමින් ලබාදුන් මහවැලියට අයත් මුල් ඉඩම බැටික්ලෝ කැම්පස් නැමැති අරාබි විශ්වවිද්‍යාලය ඉදිකිරීමට ලබාදී ඇත්තේ 2018 වසරේ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහිදී සිදුව ඇත්තේ වංචාවක් බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාව ඉකුත් සතියේ අවස්ථා තුනකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. එහිදී පෙනීගොස් ඇත්තේ පවතින නීතියේ හිඩැස් වලින් රිංගමින් ඉතා සූක්ෂම ලෙස වංචාවන් ගොන්නක්ම සිදුව ඇති බවය. ඒ නිසාම තවදුරටත් ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බැටික්ලෝ කැම්පස් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 4.5 ක් ලැබී ඇති බවත් එයින් බිලියන 3.6 ක් ලැබී ඇත්තේ සෞදි අරාබියේ ආයතනයකින් බවත් අනාවරණය වී තිබේ. එම මුදල බැංකු 7 ක් හරහා මෙරටට ලැබී ඇත්තේ පවතින විනිමය නීති උල්ලංඝනය කරමින් බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඒ සම්බන්ධයෙන්ද වෙනම විමර්ශනයක් පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න