කොරෝනා සුවවුණු චීන කත මවුරට යන්න සූදානම් | දිනමිණ

කොරෝනා සුවවුණු චීන කත මවුරට යන්න සූදානම්

සන්ධ්‍යා කරුණාරත්න

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ශරීර ගතව අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලැබීමෙන් පසු අද (19) රෝහලෙන් පිටත්ව චීනය බලා යාමට නියමිත බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

පසුගිය ජනවාරි 25 දා සිට දින 24ක් පුරා රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ මෙම කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවත් ඇයගෙන් වෙනත් කිසිවෙකුට වෛරසය ආසාදනය නොවන බවට තහවුරු කිරීමෙන් පසුව ඇයව චීනය බලා පිටත්කර යැවීමට නියමිත බවත් ඒ මහතා පැවසුවේය.

කොරෝනා වෛරසය ශරීර ගතවූ අයෙකුට මෙරටින් වාර්තා වූ‍යේ ඇය පමණක් වන අතර පසුගිය දින කිහිපය පුරා මෙම වෛරසය ශරීර ගතව ඇති බවට සැකසහිත සාම්පල් 60 කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂණයට ලක් කළද වෛරසය ශරීර ගතවූ කිසිවෙක් වාර්තා නොවූ බවත් දැනට සැක සහිත සාම්පල් 2ක් පමණ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂාවට ලක්කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න