රාජ්‍ය සේවයේ කොඳු ඇට සිටුවීම | දිනමිණ

රාජ්‍ය සේවයේ කොඳු ඇට සිටුවීම

දුමින්ද අලුත්ගෙදර

රජය සහ ජනපති, අගමැති හා කැබිනට් මණ්ඩලය සිටිනුයේ වන නිලධාරිනිය සමඟ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. පාලන තන්ත්‍රයේ වෙනස නිසා රාජ්‍ය නිලධාරීන් වුව දේශපාලනඥයකු කී පමණින් යමක් කරන්නට නොයන බවද පෙන්වා දුන්නේ ය. ජාතියේත් ජාතික ආර්ථිකයේත් යහපතට අදාළ වන පරිද්දෙන් පෞද්ගලික ප්‍රතිලාභ ගැන නොතකා රාජ්‍ය නිලධාරීන් ජාතියේ යහපත අරමුණු කරගෙන ඕනෑම තීන්දුවක් තීරණයක් නීතියට අනුව ගත යුතුය. එවැනි නිලධාරීන් ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් ද රජය දී තිබේ.

දේවානි ජයතිලක ගම්පහ දිසා වන නිලධාරිනිය යි. ඇය ශ්‍රී ලාංකීය අනාගත පරපුරේ උරුමය වෙනුවෙන් හඬ නැඟූ අභීත කාන්තාවක් වග සමාජ මාධ්‍ය උණුසුම් පුවත් මැව්වේ ය. ඇයට අයුක්තියක් නොවන ලෙස කටයුතු කරන්නැයි බලපෑම් එල්ල වූයේ ද සමාජ මාධ්‍යයෙනි. වත්මන් පාලනය බිහි කරන්නට ද බොහෝදුරට සමාජ මාධ්‍යය ද ඉවහල් විය. කෙසේ වෙතත් ලක් රජයේ සැබෑ රාජ්‍ය සේවකයාගේ භූමිකාව ඇය රඟදැක් වූ බව පසක් කරගන්නට තවත් උපහැරණ අවැසි නොවේ. මහජන නියෝජිතයන් ඉදිරියේ වුව තමාට පැවරී ඇති රාජකාරිය වෙනුවෙන් පෙනී සිටින්නේ කීයෙන් කී දෙනකු ද යන්න සියලු පුරවැසියන් තම හෘද සාක්ෂියෙන් විමසා බැලීමට සුදුසු ම කාලය අප පසු කරමින් සිටින්නේ ය. දේවානි ඒ අතර විශේෂ තැනැත්තියකි. එසේ ම මෙහිදී වටහා ගත යුතු කරුණ වන්නේ දේවානිට තම කොන්ද නොනමා රාජකාරිය කිරීමට අවශ්‍ය පරිසරය සැකසී ඇත්තේ කෙසේ ද යන්න ය. කැබිනට් මණ්ඩලය එක හෙළාම කියා සිටියේ ඔවුන් දේවානි සමඟ අත්වැල් බැඳ ගන්නා බව ය. ගෝඨාභය මහතාගේ ජනාධිපතිධුරය යටතේ රාජ්‍ය සේවය ශක්තිමත් වී ඇති තරම එයින් පැහැදිලිවේ.

රාජ්‍ය නිලධාරියා යනු රාජ්‍ය මුදල් භාවිත කරන මෙරට ජනගහනයෙන් අතළොස්සෙන් කෙනෙකි. හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාලයන් විසින් Civil Service Administration in Ceylon නමින් තම ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද පර්යේෂණ නිබන්ධනයකින් මේ බව සනාථ කොට තිබේ. රාජ්‍ය සේවය සියයට 25ක් පමණ දූෂිත බවත් නිලධාරීන්ගෙන්ද සියයට 25ක් පමණ දූෂිත බවත් මීට ඉහත දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙක් හෙළිකොට තිබුණි. දශක ගණනාවක සිට රාජ්‍ය සේවකයන්ට එල්ල වන්නේ අප්‍රසාදයකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම දහසය දෙනකුගෙන් එක් අයෙක් රාජ්‍ය සේවකයෙක් වන අතර එම රාජ්‍ය සේවකයන් උදෙසා වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව රජයට වැයවන මුදල රුපියල් බිලියන 800කට ආසන්න බවට ද වාර්තා පළ වී තිබේ.

දේශපාලන බලපෑම්

දීර්ඝ කාලයක් රාජ්‍ය සේවකයින් මෙලෙස චෝදනාවට ලක්වීමට වගකිව යුත්තේ දේශපාලන අධිකාරිය බව පැහැදිලි ය. රාජ්‍ය සේවකයින්ගේ කාර්යය නිසි ලෙස ඉටු කිරීමට බාධාවක් වූයේ දේශපාලන අධිකාරිය බව බදුල්ල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට බලපෑම් කිරීම සහ ආනමඩුව ප්‍රදේශයේ ගුරුවරියක් දණගැස්වීම මෙන්ම රාජ්‍ය සේවකයකු ගස් බැඳීමේ සිද්ධිය පෙන්නුම් කරන්නේ ය. එකී යුගය අවසන් වූයේ පසුගිය ජනපතිවරණයෙන් පසුව ය. එතැන් සිට ඇරැඹි පාලනය රාජ්‍ය ආයතනවල දේශපාලනයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් දඩයම් නොකිරීමට ද වගබලා ගෙන තිබේ. එපමණක් ද නොව රාජ්‍ය සේවකයාට තම කාර්යය නිවැරැදිව කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට තිබේ. රාජ්‍ය සේවකයාගේ ගෙල සිරකර මේ රටේ ආර්ථික හා සමාජීය ප්‍රගමණයක් අපේක්ෂා කිරීම නිසා ඔවුන් නිවැරැදි ලෙස ස්ථාන ගත කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ. උපාධිධාරින් බඳවා ගන්නේ ද මෙරට ආර්ථිකයට දායක කරගත හැකි නිවැරැදි ක්‍රමවේදයකට ය. එය ම රටේ ඉදිරිගමනට සුබදායක ය.

රාජ්‍ය සේවකයන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමට බාධා එල්ල වන්නේ කවර ආකාරයෙන් ද යන්න දේවානි මෙරට පුරවැසියන්ට පාඩමක් කියා දී තිබේ. එක් පැත්තකින් ජාති, කුල මල, ආගම් සහ දේශපාලන පක්ෂවලට බෙඳී වෙන් වූ ජනතාව තම පෞද්ගලික අභිප්‍රායන් වෙනුවෙන් තනි තනියෙන් සටන් වඳිති. එක්ව රට ගොඩනැඟීම වෙනුවට තමන් නියෝජනය කරන මහජන නියෝජිතයා හරහා තමන්ට අවැසි දෑ ඉටු කර ගැනීමට ප්‍රයත්න දරති. එය සැබෑ දේශප්‍රේමී ජනතාවකට නොගැළපෙන්නෙකි. එහෙත් ජනතා අවශ්‍යතා දෙස ද අප උපේක්ෂාවෙන් බැලිය යුතුය. රක්ෂිත භූමියේ ක්‍රීඩා පිටියක් සකසා දෙන්නට යැයි ඔවුහු ඉල්ලන්නේ කවරක් නිසා ද? 72 වසරක දේශපාලන ගමන් මඟ ඔස්සේ නැවත හැරී සිතා බලන්නේ නම් 1971 වසරේ තරුණ කැරැල්ල මතුවූයේ ඇයි ද යන්න බැලීම කාලෝචිතය..

හතළිස් එක් වසරකට පෙර දියත් කරන ලද නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නද්ධ අරගලය උපන්ගෙයි ම පරාජයට පත් වූ නමුත් එදා තරුණයෝ ශ්‍රී ලංකා පොලිසියට පහර දුන්හ. ශ්‍රී ලංකා පොලිසිය යනු මෙරට නීතිය ආරක්ෂා කරන ප්‍රමුඛ රාජ්‍ය ආයතනය යි. එකී රාජ්‍ය ආයතනවලට පහර දෙන තැනට පත් වූ ශ්‍රී ලංකාවේ තරුණයින්ගේ අරගලය දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන ආර්ථික දේහය දෙදරවන්නට සමත් විය. එනිසා ම වත්මන් ජනපතිවරයා තරුණ හඬට කන් දෙන්නේ ය. ඔවුන්ගේ හැකියාවන් සියුම්ව විදහා දැක්වීමට අවස්ථාව උදාකරමින් සිටින්නේ ය. තරුණ අරගල කිහිපයකට මුහුණ දුන් ලක් රජය වත්මනේ නිවැරැදි දිශාවට හරවන්නට නම් පාලක පක්ෂයට දැවැන්ත කාර්යය භාර්යයක් ඉටු කරන්නට ඇති වග වත්මන් ජනපතිවරයා වටහාගෙන සිටීම වාසනාවකි.

කඩොලාන ප්‍රශ්න

ලෝකය හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉතා ඉහළ මට්ටමක ඇති වග තේරුම් ගන්නට අපහසු කිසිවෙක් නොමැත. එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව කඩොලාන කෙරෙහි වැඩි අවධානයක් නොදක්වන බව වන නිලධාරිනිය සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර සංවාදයෙන් පසක් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් ම ලෝකයේ වෙනත් රටවල් කඩොලාන වනාන්තර ආරක්ෂා කර ගැනීමට දැඩි ප්‍රයත්නයක නිරත වෙද්දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳව ද ප්‍රශ්නාර්ථ මතුවෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ කඩොලාන සම්බන්ධයෙන් මහජනතාව වැඩි අවධානයක් දක්වන බවක් පෙනෙන්නට නොමැති වුවත් ලෝකයෙන් ම කඩොලාන සංරක්ෂණයට පෙරමුණ ගත් රටවල් අතරින් එක් රටක් වන්නට ද ශ්‍රී ලංකාව සමත් වී තිබීම දෛවෝපගත ය.

සිද්ධිය සම්බන්ධයෙන් පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් අමතා සඳහන් කළේ, තමන් සිය අමාත්‍යංශයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බවය. දේවානි ජයතිලක වන නිලධාරිනිය ඇමැතු විට ඇය පවසන්නේ අමාත්‍යංශ ලේකම්වරයාගේ අවසර නොමැතිව ප්‍රකාශයක් කළ නොහැකි බව ය. රාජ්‍ය සේවයේ කොන්ද කෙළින් තබා ගන්නට හැකි වූයේ නිවැරැදි නායකත්වය නිසා වග ඉන් ගම්‍ය වන්නේ ය. මෙකී නිලධාරිනියගේ ආරක්ෂාව වෙනුවෙන් අමාත්‍යාංශය පෙරමුණ ගෙන තිබුණත් අතීතයේ එවැනි තත්ත්වයක් දක්නට නොලැබුණි. රජයේ ඉඩම් බලෙන් අල්ලාගත් මැරයින්ට රාජ්‍ය නිලධාරින් යටත් වී සිටියේ ය. රාජ්‍ය සම්පත් මංකොල්ල කා පැන යන තුරු රාජ්‍ය සේවකයාට බලා සිටින්නට සිදුවිය. මහ දවල් බැංකු මංකොල්ලකා පැන ගිය සොරුන් ගැන මාධ්‍ය වාර්තා පළ විය. එහෙත්, අද රාජ්‍ය සේවකයාට රාජකාරිය අකුරට ම කිරීමට හැකි ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කොට තිබේ. එය යහපත් රාජ්‍ය සේවයක් පවත්වා ගැනීමටත්, මහජන සේවා සපයන ආයතන කාර්යයක්ෂම කිරීමටත් පිටුවහලක් වන්නේ ය.

වනජීවී අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරිනිය අතර ඇති වූ සංවාදය පිළිබඳ කනගාටු වන බවය. ඇමැතිවරයා එසේ ප්‍රතිචාර දක්වන විට, පසුගිය දිනක කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, නීතියට අනුව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය ප්‍රතිඥාවක් දී ඇති බව ය. සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමට ගත හැකි පළමු පියවර එය බව පැහැදිලි ය. රජය සහ ජනපති, අගමැති හා කැබිනට් මණ්ඩලය සිටිනුයේ වන නිලධාරිනිය සමඟ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. පාලන තන්ත්‍රයේ වෙනස නිසා රාජ්‍ය නිලධාරීන් වුව දේශපාලනඥයෙකු කී පමණින් යමක් කරන්නට නොයන බවද පෙන්වා දුන්නේ ය. ජාතියේත් ජාතික ආර්ථිකයේත් යහපතට අදාළ වන පරිද්දෙන් පෞද්ගලික ප්‍රතිලාභ ගැන නොතකා රාජ්‍ය නිලධාරීන් ජාතියේ යහපත අරමුණු කරගෙන ඕනෑම තීන්දුවක් තීරණයක් නීතියට අනුව ගත යුතුය. එවැනි නිලධාරීන් ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් ද රජය දී තිබේ.

නිවැරැදි තීරණ

කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කිරීම තවත් විශේෂිත කාරණයකි. දේවානි ජයතිලක නිලධාරිනියගේ තනි අරගලය මේ රටේ ජනතාවට ඔක්ෂිජන් සැපයූ බව නොරහසකි. සිද්ධියෙන් පසු වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්. ඒ. සී. වේරගොඩ සඳහන් කළේ, මෙරට කඩොලාන වන ගහනය තවත් හෙක්ටොයාර් 10,000 කින් වැඩි කිරීමේ ව්‍යපෘතිය යටතේ එය සිදු කරන බවය. අදාළ අංශවල ඇස් ඇරවන්නට රාජ්‍ය සේවකයාට හැකියාව ඇත. අවශ්‍ය වන්නේ නිර්භයව තම රාජකාරීය සිදු කිරීම පමණකි.

සිංහරාජ වැසි වනාන්තරයේ පැවැති 11,187ක හෙක්ටෙයාර ප්‍රමාණය හෙක්ටෙයාර 35,000ක් දක්වා වැඩි කරන්නට ගැසට් පත්‍රයක් ද පසුගිය කාලයේ නිකුත් කෙරිණි. සෘජු තීන්දු තීරණ සහ යහපත් පාලනය රටක් නිවැරැදි දිශාවට තල්ලු කරන බවට අත්දැකීම් අනුව පැහැදිලි කරුණකි. ඊට අවශ්‍ය වන්නේ මේ සියල්ල විනිවිද ව පහළම රාජ්‍ය සේවකයා දක්වා විතැන් කිරීම ය. රාජ්‍ය සේවයේ මුල්ම පුරුක වන ග්‍රාම නිලධාරින් ගැන එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බලන්නට වත්මන් ජනපතිවරයා පියවර ගෙන තිබීම යහපත් ය. බොහෝ ජනතා ගැටලු ඇරැඹෙන්නේ කුඩාම ඒකකයෙන් බව පැහැදිලි ය. එනිසා කළ යුතු දේ කළ යුතු මොහොතේ ම සිදු කිරීමෙන් බොහෝ ගැටුම්වලට විසඳුම් ලැබේ. යහපත් රාජ්‍ය පාලනයේ ස්වභාවය කවරක් ද යන්න ජනතාවට අවබෝධ වෙමින් තිබේ. වත්මන් ජනපතිවරයාගේ කළමනාකරණ රටාව අනුව එය රාජ්‍ය සේවයේ පහළ ම ධූරාවලිය දක්වා දිවෙන බව ද ඔප්පු වෙමින් පවතී. මේ රට ඉසුරින් පිරි රටක් බවට පත්වීමට එම ක්‍රියාදාමය ඉවහල් වනු ඇති බවට සැකයක් ද නැත.

නව අදහස දක්වන්න