පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලීමක් | දිනමිණ

පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලීමක්

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නිවැරදී ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා එළඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන මෙන් තමන් ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියෝ ඊයේ (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළහ. 
 
දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මන්ත්‍රීවරියන් 12දෙනෙක් පමණක් බවත් එය පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 5%ක් පමණක් බවත් මේ හේතුව නිසාම විශේෂයෙන් කාන්තාවන් හා දරුවන් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී එය බාධාවක් වූ බවත් මෙහිදී ප්‍රකාශ විය. 
 
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුමේධා ජී.ජයසේන මහත්මිය ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තු නියෝජනය සඳහා 25% ක කාන්තා නියෝජනයක් දිනාගැනීමට සමත් වුවද එම ප්‍රතිශතය පාර්ලිමේන්තු මැතිවරණයකදී පක්ෂ අපේක්ෂක ලැයිස්තු වලින් හිමි නොවන නිසා පක්ෂ නායකයින් වැඩි කාන්තා අපේක්ෂිකාවන් පිරිසක් මැතිවරණ අපේක්ෂක ලැයිස්තු වලට ඇතුළත් කර ගැනීමට අවධානය යොමු කල යුතු බවයි.
 
පවතින මැතිවරණ ක්‍රමය තුළ කාන්තා අපේක්ෂිකාවකට මැතිවරණයට තරඟ කිරීම විශාල අභියෝගයක් වන්නේ පිරිමි අපේක්ෂකයින් ඡන්දය ජයග්‍රහණය කිරීමට පාවිච්චි කරන උපක්‍රම වන මත්පැන් හා මුදල් බෙදීම, වෙනත් බඩු භාණ්ඩ බෙදීම කාන්තාවන්ට කළ නොහැකි නිසා බව රෝහිණි විජේරත්න මන්ත්‍රවරිය ප්‍රකාශ කළාය. ඇය තවදුරටත් සඳහන් කළේ තමන් ඇතුළු කාන්තා මන්ත්‍රීවරියන් විසින් පසුගිය කාලය තුළ මේ රටේ කාන්තාවන්, දරුවන් සහ අධ්‍යපනය වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මෙන්ම ආංශික අධික්ෂණ කාරක සභා මගිනුත් විශාල වැඩකොටසක් සිදු කළ බවයි. 
 
මෙහිදී පාර්ලිමේනතු මන්ත්‍රීනි තුසිතා විජේමාන්න මහත්මිය සඳහන් කළේ ලංකාව තුළ අවම විවාහ වයස අවුරුදු 18 බවට පත් කිරිම, ළමා විවාහ වැලැක්වීම උප්පැන්න සහතිකයේ මව්පියන් විවාහකද යන තීරය ඉවත් කිරීම,දේපළ පැවරීමේදි දියණියන් නොසලකා හැරීම වැලැක්වීම, ආදී යෝජනා රැසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාන්තා මන්ත්‍රීවරියන්ට හැකි වූ බවයි.
 
විශේෂයෙන් පසුගිය ජනවාරි මුල් සති දෙක තුළ පමණක් රට තුළ සත්‍රී දුෂණ 142ක්, බරපතල ලිංගික අපයෝජන 42ක්, ළමා අපයෝජන 54ක් වාර්තා වි තිබේ. මේනිසා කාන්තාවන් හා ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින නීති සංශෝධනය කොට නව නීති හඳුන්වාදීම ඉතා වැදගත් වන බව මන්ත්‍රීවරියෝ පෙන්වා දුන්හ. ‍
 
මේනිසා දේශපාලනයේදී කාන්තාවන්ට නිසි තැන නොලැබීම, කාන්තාවන් අවර ගනයෙහිලා සැලකීම මෙන්ම කෙතරම් අධ්‍යාපනයෙන් ඉහලට පැමිණියද ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී කාන්තා දායකත්වය අවම බවත් මේ නිසා පොදුවේ එක් දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රීවරියක්වත් තේරී පත්වන අයුරින් හෝ කාන්තා නියෝජනයක් ඊලඟ මැතිවරණය සඳහා ලබා දෙන ලෙස මන්ත්‍රීවරියෝ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
 
මෙම අවස්ථාවට  සුමේධා ජී.ජයසේන,වෛද්‍ය සුදර්ශනි ප්‍රනානාදුපුල්ලේ, වෛද්‍ය තුසිතා විජේමාන්න, ශ්‍රියානි විජේවික්‍රම, රොහිනි කුමාරි විජේරත්න, විජේකලා මහේශ්වරන්, හිරුණිකා ප්‍රෙමචත්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහභාගී වූහ.
 

නව අදහස දක්වන්න