විපක්ෂයේ වගකීම! | දිනමිණ


 

විපක්ෂයේ වගකීම!

එක්සත් ජාතික පක්ෂය, අතුරු සම්මත ගිණුමට විරුද්ධවීමෙන් බලවත් මෝඩකමක් සිදුකරගෙන තිබේ. එය ජනතා විරෝධී තීන්දුවක් හැටියට ද, රටට අහිතකර තීන්දුවක් හැටියට ද සමාජය දැනටම තහවුරු කරගෙන ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක වැදගත් විපක්ෂයක වගකීම් හා යුතුකම් මේ අනුව ප්‍රශ්න කිරීමට ලක්වෙයි. එලෙසම ජනතාවාදී දේශපාලනයක් ගැන කතාකරන හා දුප්පතාගේ - හිතවතා ලෙසින් පෙනී සිටින විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ප්‍රතිපත්තිය ද මේ අනුව අභියෝගයට ලක් වෙයි. මැතිවරණයක් අත ළඟ තිබියදී ජනතාව කුපිත කරවන තීන්දුගැනීම කුමන පක්ෂයකට වුව ගෝචර දෙයක් නොවේ. මෙයින් පෙනීයන්නේ එජාපය ගිලීසිටින ගොහොරුවෙහි ගැඹුර තවත් වැඩිවන බව ය.

ආණ්ඩුව අතුරු සම්මත ගිණුමක් වෙත ප්‍රවේශ වන්නේ ඉදිරි කෙටි කාලය තුළ ආර්ථිකය පවත්වාගැනීම සඳහා ය. අලුත් අවුරුදු සමයේ ජනතාවට අවශ්‍ය ආර්ථික සහන ලබාදීම පමණක් නො ව; යහපාලනය අඩාල කර ඇති ගෙවීම් යථා තත්ත්වයට පත් කිරීම මෙහි ඉලක්කය වී තිබේ. ‘ගම් පෙරළිය’ වැඩසටහන පමණක් කොන්ත්‍රාත්කරුවනට ගෙවන්නට ඇති මුදල රුපියල් බිලියන පනස් දෙකක් බව සඳහන් වී ඇත. තවත් ක්ෂේත්‍ර ගණනාවක හිඟ මුදල් පවතී. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. යහපාලන ආණ්ඩුව ගෙදර ගියේ ආර්ථිකය අවුල්කරමින් ය. එහි මුදල් අමාත්‍ය මංගල සමරවීර හැඳින්විය හැක්කේ මෝස්තරකාරයකු ලෙස මිස ආර්ථික විශේෂඥයකු හැටියට නො වේ.

යහපාලනය විවේචනයට ලක්වන්නේ ජාතික ආර්ථිකය කම්බස් කළ ආණ්ඩුවක් හැටියට ය. අපනයන ක්ෂේත්‍රයේ කඩාවැටීම, දේශීය කර්මාන්ත බිඳවැටීම, සංචාරක කර්මාන්තය ඇදවැටීම, කෘෂිකර්මයේ පිරිහීම පමණක් නොව; ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළයෑමත් ඊට සාක්ෂි ලෙස පෙන්වා දිය හැකි ය. ආයෝජකයන් රට හැර ගියේ ය. ආණ්ඩුව ජාතික සම්පත් විකිණුවේ ය. නැතහොත් දිගුකාලීන බද්දට ලබා දුන්නේ ය. මේවා යථා තත්ත්වයට ගෙන ඒම පහසු නැත. පළමුව කළ යුත්තේ ණය හා රාජ්‍ය වියදම් පියවාගෙන නවෝත්පාදන වෙත ප්‍රවේශ වීම ය. දැනට පවතින සුළුතර ආණ්ඩුවට තනිව එය කළ නො හැකි ය. මෙබඳු අවස්ථාවලදී ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා විපක්ෂය ආණ්ඩුවට සහාය පළකළ යුතු ය. එහෙත් එක්සත් ජාතික පක්ෂය එය ඉටුකරන බවක් පෙනෙන්නට නැත.

ජනතාවාදී දේශපාලකයන්ට ආත්මාර්ථය ඉක්මවා ගිය පොදු පරමාර්ථ තිබිය යුතු ය. ඉන් අදහස් වන්නේ හුදු දේශපාලන වාසි අමතක කොට රට හා ජනතාව වෙනුවෙන් තීරණ ගත යුතු අවස්ථාවල දී ඔවුන් නිසැක ලෙස ම ජනතාවගේ පැත්ත ගන්නා බව ය. දේශපාලන නායකයකු සැබෑ නම්; ඔහු විනයගරුක හා ආචාරශීලී පුද්ගලයකු ද විය යුතු ය. 2015 දී යහපාලන ආණ්ඩුව පිහිටුවීමට සහයෝගය ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරය අතහැර වහාම සිය කාල්ටන් නිවෙසට ගියේ ය. මහින්ද මහතා එසේ කළේ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වී අවසන් වනවාත් සමඟ ය. ජනතා තීන්දුවලට හිස නැමීමත්, ජයග්‍රහණ හා පරාජයන් දෙස උපේක්ෂාවෙන් ප්‍රතිචාර දැක්වීමත් පෞරුෂයකින් යුතු දේශපාලන නායකයන්ගේ ක්‍රමය වෙයි.

එළැඹෙන අලුත් අවුරුදු සමය යනු ජනතාවගේ අපේක්ෂා දල්වන කාලයෙකි. ඒ අනුව සියලු දෙනාගේ ආර්ථිකය සතුටුදායක තත්ත්වයක පැවැතිය යුතුය. ඒ සඳහා රාජ්‍ය අංශයේ ආදායම් ද ශක්තිමත් ව පැවැතිය යුතු ය. රටක ආදායම් හා වියදම් පිළිබඳ ඇස්තමේන්තුව අනුමත කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට ය. නූතන පාර්ලිමේන්තුවේ තත්ත්වයට අනුව විපක්ෂ නායකවරයාට හා විපක්ෂ කණ්ඩායමට එහිලා ඉටුකළ යුතු වගකීමක් හා යුතුකමක් පැවැරී ඇත. එය ඉටු නොකරන්නේ නම්; ජනතාව අපහසුතාවට පත්වීම නොවැළැක්විය හැකි ය. ඉතිහාසයේ මෙබඳු අවස්ථාවලදී විපක්ෂය හැමවිටම සිය යුතුකම ඉටුකර ඇති බව පැහැදිලි ය. විපක්ෂ නායකවරයකු තම වගකීම පැහැරහරින පළමු අවස්ථාව ලෙස මෙය සැලැකිය හැකි ය. මේ තත්ත්වය සජිත් ප්‍රේමදාස මහතාගේ අනාගත දේශපාලනයට ද බලපානු ඇත.

දැනට පවතින දේශපාලන ආරංචි මාර්ගවලට අනුව ලබන මාර්තු 08 දා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. ඊට පෙර අතුරු සම්මත ගිණුම අනුමත වීමට නම්; කරුණු දෙකක් ඉටුවිය යුතු ය. පළමුවන කාරණය නම්; විපක්ෂය අදාළ ගිණුමට කැමැත්ත පළකොට සිය ජාතික වගකීම ඉටු කිරීම ය. දෙවන කාරණය නම්; කථානායකවරයා හදිසි අවස්ථාවක් ලෙස සලකා පාර්ලිමේන්තුව කැඳවා සිටීම ය. එය ඉටු නොවන්නේ නම්; ජනාධිපතිවරයාට සිය බලය පාවිච්චි කොට වෙනත් විකල්පයක් වෙත යොමුවීමට සිදුවනු ඇත. වඩාත් යෝග්‍ය උපාය මාර්ගය වන්නේ පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුම අනුමත කර ගැනීම ය. එහි වගවීම පැවරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය වෙත යැයි කිව හැකි ය. විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී බුද්ධිමත් තීරණයක් ගත යුතුව තිබේ.

කුමන තත්ත්වයක් යටතේ වුව ජනතාව අපහසුවට පත් නොකරන බවට ද, සංවර්ධන ව්‍යාපෘති නතර නොකරන බවට ද ප්‍රතිඥාවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබා දී ඇත. මහින්ද මහතා මේ ප්‍රතිඥාව ලබා දෙන්නේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාව අබියසදී ය. රටේ බහුතර ජනතාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගැන බලවත් විශ්වාසයක් තබාගෙන ඇති බව පැහැදිලි ය. මේ ජනතා විශ්වාසය බිඳ දැමීම සඳහා විපක්ෂය නොයෙක් උප්පරවැට්ටි යොදන බව ද පෙනෙන්නට තිබේ. අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට ඒවාට මුහුණදීමේ ශක්තිය ආණ්ඩුවට තිබේ.

 

නව අදහස දක්වන්න