කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක තියුණු ජයක් | දිනමිණ


 

කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක තියුණු ජයක්

මට අවශ්‍ය තරග දිනවන ක්‍රීඩකයෙක් වීමටයි

වනිඳු හසරංග

තරගයක් ජයග්‍රහණයෙන් නිමා කළ හැකි ක්‍රීඩකයන්ට වැඩි කාලයක් කණ්ඩායමේ රැඳී සිටීමට හැකි බවත්, තමාට එවැනි ක්‍රීඩකයකු වීමට අවශ්‍ය බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග කියයි.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පෙරේදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිලට එක් කඩුල්ලට තියුණු ජයක් අත්කර දෙමින් නොදැවී ලකුණු 42ක් රැස් කළ 22 හැවිරිදි හසරංග තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ අදහස් පළ කළේය.

දිවා තරගයක් ලෙස පැවැති මේ තරගයේ දී ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් පිලට ලබා දුන් අතර සිය ඕවර 50 අවසානයේ කොදෙව් පිල කඩුලු 7කට ලකුණු 289ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඉනිම නිමාවීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී එක් කඩුල්ලකින් තරගය ජයගත්තේය.

ලකුණු 290ක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු යුගලය වන අවිශ්ක ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න පළමු කඩුල්ලට ලකුණු 111ක සම්බන්ධතාවක් ගොඩ නගමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. මේ දෙදෙනාම අර්ධ ශතක රැස් කිරීමට සමත්වූ අතර ජයග්‍රහණය පහසු ඉලක්කයක් බවට ද පත් කළහ. එහෙත් ඉන් අනතුරුව අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 42ක් රැස් කිරීමෙන් පසුව මුළු ලකුණු සංඛ්‍යාව 153දී පිටියෙන් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ මැදපෙළ පිතිකරුවන් පීඩනයකට හසු කරගැනීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ.

කුසල් මෙන්ඩිස් ලකුණු 20කට දැවී යද්දී ඇන්ජෙලෝ මැතිව්ස්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි. ධනංජය ද සිල්වා ලකුණු 18කට දැවීයද්දී ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව දිස් වුයේ කඩුලු 5කට ලකුණු 201ක් ලෙසිනි. කුසල් පෙරේරා දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 215ක්ව තිබියදීය.

‘මම බැට් කරන්න එනකොට ජයග්‍රහණයට ලකුණු 75ක් රැස් කළ යුතුව තිබුණා. තිසර පෙරේරා ඒ වනවිට හොඳින් පන්දුවට පහර දෙමිනුයි සිටියේ. මටත් ආ විගසම වාගේ හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරන්න අවස්ථාව ලැබුණා.’ ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගිය වනිඳු හසරංග එසේ කීවේය.

‘අපිට ඇති තරම් පන්දු තිබුණා. ඒ නිසා මම පුළුවන් තරම් බැලුවේ තිසර අයියාට අවස්ථාව දෙන්න. ඊළඟට ඉසුරු අයියා (ඉසුරු උදාන) එයාටත් හොඳින් පන්දුවට පහර දෙන්න පුළුවනි. මම බැලුවේ පුළුවන් තරම් අනිත් අයට ඉඩ දීලා මට අවස්ථාව එනකල් බලා සිටීමයි.’ ඔහු කීවේය.

අවසන් පිතිකරුවන් සමග එක්ව කලෙකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ මේ යොවුන් ක්‍රීඩකයා නොදැවී ලකුණු 42ක් රැස් කළේ පන්දු 39කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

‘මේ තරගය ජයග්‍රහණය දක්වා රැගෙන යන්න මට හැකිවුණේ අන්තර් සමාජ විස්සයි20 අවසන් තරගයේ දී හොඳින් ක්‍රීඩා කරමින් පන්නරයක් ලබාගත්තු නිසයි. මේ වගේ අවස්ථාවක් ලැබෙනතුරු මං කාලයක් තිස්සේ බලා සිටියා.’ හසරංග පැවැසීය.

තිසර පෙරේරා සමග එක්ව ලකුණු 38ක සම්බන්ධතාවක් ගොඩ නැගූ හසරංග අනතුරුව ලක්ෂාන් සඳකැන් සමග එක්ව වටිනා ලකුණු 27ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය දක්වා ඇදගෙන ගියේය. ශ්‍රී ලංකා ඉනිමට කදිම දායකත්වයක් ලබා දුන් තිසර පෙරේරා පන්දු 22කදී ලකුණු 32ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගිනි.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිලේ ඉනිම වර්ණවත් කළ ආරම්භක පිතිකරු ෂායි හෝප් සිය එක්දින තරග දිවියේ 9 වැනි ශතකය වාර්තා කිරීමට සමත්විය. ඔහු දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 230 දක්වා ඉහළ දැමීමෙන් පසුවය. ඒ වනවිට පන්දු 140කට මුහුණ දුන් මේ පිතිකරුවාගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් විය.

අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ ඩැරන් බ්‍රාවෝ ලකුණු 39ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමට හසුවූ අතර නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යනවිට රොස්ටන් චේස් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 41කි. වමත් වේගපන්දු යවන්නා වන ඉසුරු උදාන කඩුලු 3ක් දවාලීය.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය 26 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

 

නව අදහස දක්වන්න