රැඳිලා ඉන්න නම් ඉගෙන ගන්න ඕනෑ | දිනමිණ


 

රැඳිලා ඉන්න නම් ඉගෙන ගන්න ඕනෑ

 දමිත්‍රි සුබසිංහ

 

 

2019 වසරේ දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළු පළන් ඇය, රසික අාදරය දිනාගත් ආකර්ෂණීය රංගන ශිල්පිනියකි. නමින් දමිත්‍රි සුබසිංහ වන ඇය මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා‘ ටෙලි නාට්‍යයේ උදාරා සහ මධාරා යන ද්විත්ව චරිත රඟන්නී ය. මේ ඇය ආලින්දයට දැක්වූ අදහස් ය.

 

ඔබ අධ්‍යාපනය ලැබුවේ..

මම මූලික අධ්‍යාපනය ලැබුවේ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයේ. උසස් පෙළ වාණිජ්‍ය අංශයෙන් හදාරා සමත් වුණා.

පාසලේදී කලා කටයුතුවලට දායක වුණාද?

පාසල් කාලයේ දී මා ජනප්‍රිය වුණේ නර්තන අංශයෙන්. මා නර්තනයට දක්ෂ බව ගුරුවරු සහ මගේ සමකාලීන යාළුවන් නිතර කිව්වා. මම ඒ කාලයේ දී ආසාවෙන් නර්තනය හැදෑරුවා.

පවුලේ විස්තර කියමු..

‍තාත්තයි අම්මයි මමයි විතරයි මගේ පවුලේ ඉන්නේ. අම්මා ගෘහිණියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්.

ඔබ 2019 වර්ෂයේ දී ‘දෙරණ අවුරුදු කුමරිය‘ ලෙස කිරුළ පළඳන්නට වාසනාව ලැබුවා. ඒ සොඳුරු මතකය අවධි කළොත්?

මම ඒ තරගයට අයදුම් කළේ අහම්බෙන්. ඉන් ලද ජයත් වාසනාවක්. අවසන් වටයට තේරුණාට ජයග්‍රහණය ලබයි කියලා හිතුවෙ නෑ. එතැනින් පස්සෙ රංගනයට අවස්ථාවක් ලැබෙයි කියලා කොහොමත් හිතුවෙ නෑ. ඒ සියල්ලම අහම් අහඹු සිදුවීම්.

‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා‘ නාට්‍ය ඔබ සහභාගී වූ පළමු නාට්‍යද?

නැහැ. මගේ පළමු රංගනය දෙරණ රූපවාහිනී සේවයෙන් විකාශනය වුණ ‘නොනිමි‘ කියන ටෙලි චිත්‍රපටය. දිලූක ගුණතිලක මහතාගේ ඒ නිර්මාණයෙන් පසුවයි ‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා‘ ටෙලි නාට්‍යයේ උදාරා සහ මධාරා කියන ද්විත්ව චරිත රංගනයට අවස්ථාව ලැබෙන්නේ. නාට්‍යයේ හැටියට මධාරා හදිසි රිය අනතුරකින් මිය ගිහින්. උදාරා කියන්නේ විහඟි දුවගේ පුංචි අම්මා. ඇයට මවගේ අඩුව පුරවාලන චරිතය තමයි මම රඟන්නේ.

නාට්‍යයේ හැටියට ඔබ අනාගතයේදී දේවකගේ බිරිඳ වෙයි ද?

චරිතයේ මූලික අරමුණ වෙන්නේ විහඟි දුවට හොඳ අම්මා කෙනෙක් වීමයි. දුවකට අම්මා නැති අඩුව නොදැනෙන අයුරින් මේ චරිතය කරන්න වෙනවා. ඒ චරිතයට උපරිම සාධාරණයක් කිරීමට මම උපරිම උත්සාහයක් ගන්නවා.

ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳයි. බොහෝ දෙනෙක් මාව හඳුනාගෙන මඟ තොටේදී කතා කරනවා. හොඳට චරිතය කරනවා කියලත් කියනවා. ඒකට හේතුව මේ නාට්‍ය වටා තිබෙන්නේ සංවේදී චරිත කිහිපයක් වීමයි. උදාරා කියන්නේ ඉන් එක් චරිතයක්. සංවේදී කතාවලට රසිකයන් ආදරෙයි.

නාට්‍ය කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය කොහොමද?

එයට දායක වන ප්‍රවීණ ශිල්පීන් හා ශිල්පිනියන්ගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. නොදන්නා ගොඩක් දේවල් කියලා දෙනවා. ඒ උපදේශ අනුව රඟපානවා. විශේෂයෙන්ම, විහඟි දුවගේ චරිතය රගපාන සනුජි ලියංසා දුව එක්ක වැඩේ කරන්න ගොඩක් ලේසි වුණා. ඇය මට ගොඩක් සමීපයි. ආධුනික අපට ප්‍රවීණ කලාකරුවන්ගෙන් ලැබෙන උපදේශ වටිනවා. ඒ සහයෝගය නැතිව අපිට ඉදිරියට යන්න අමාරුයි. මම හිතන්නේ ඕනෑම ක්ෂෙත්‍රයකට මෙය පොදු දෙයක්.

ඔබ වෘත්තිය රංගන ශිල්පිනියක් නොවෙයි නේද?

මම රැකියාව කරන්නේ පෞද්ගලික බැංකුවක. එහි සියලු කාර්ය මණ්ඩලය මට උපරිම සහයෝගයක් දෙනවා. එය නැතිනම් මට නිදහසේ රංගන කටයුතුවල යෙදෙන්න බැහැ. මම ඔවුන් සියලු දෙනාටම ස්තුතිපූර්වක වෙන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

ඔබ ප්‍රේමවන්තියක් ද?

ඔව්. ඔහු ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාව කරන කෙනෙක්.

විවාහයෙන් පසු රංගනයෙන් ඔබ ඈත් වෙයිද?

නැහැ. මගේ රංගන කටයුතුවලට ඔහුගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මගේ රූගත කිරීම්වලට ඔහුත් සහභාගී වෙනවා. ඒ නිසා මම රැකියාවෙන් හෝ කලාවෙන් මම ඈත්වෙන්නේ නෑ.

රංගනය ගැන වැඩිදුර හදාරන්න බලාපොරොත්තු වෙනවද?

එහෙම බලාපොරොත්තුවකුත් තියෙනවා. මොකද, මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න නම් රංගනය හරිහැටි ඉගෙන ගන්න ඕනෑ.

ඔබට සහයෝගය දුන් අය මතක් කළොත්?

දෙරණ රූපවාහිනී ආයතනයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා පුමුඛ කාර්ය මණ්ඩලයට, දිලූක ගුණතිලක, සමන් එදිරිමුනි, චරිත් කොතලාවල, ධම්මික අළුත්ගෙදර, දෙනුවන් සේනාධීර යන මහතුන් ඇතුළු සියලුම හිතවතුන්ටත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් මා දිරිමත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.

 

 

හේමන්ත බණ්ඩාර

නව අදහස දක්වන්න