අනාගතය ගැන රටට විශ්වාසයක් ඇතිවෙලා | දිනමිණ


 

අනාගතය ගැන රටට විශ්වාසයක් ඇතිවෙලා

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ

හිටපු ලේකම් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ අධ්‍යයන අංශයේ මහාචාර්ය චරිත හේරත්

ප්‍රතිපත්ති හදන්න අපි වගේ අය යන්න ඕන

සමහර ගිවිසුම් රටේ ව්‍යාපාරවලට හානිකරයි

දේශපාලනය ගෞරවනීය කරන්න බලාපොරොත්තු වෙනවා

දේශපාලනයට එන්න හිතුවේ අරමුණු දෙකකට

වසර කිහිපයකින් රටේ ප්‍රධාන ප්‍රශ්න විසදන්න පුළුවනි

යහපාලනයෙන් ව්‍යාපෘති නවත්වලා කොමිස් අරගෙන යළි පටන් ගත්තා

රටේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ වැදගත් වන්නේ කෙසේද යන්න, යහපාලන ආණ්ඩුවේ දුර්වලතා හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුව ඇති හානිය සහ වත්මන් ආණ්ඩුව ඊට මුහුණ දෙන ආකාරය, බුද්ධිමතුන් දේශපාලනයට පිවිසීමේ අවශ්‍යතාව වැනි කරුණු රැසක් පැහැදිලි කරමින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ අධ්‍යයන අංශයේ මහාචාර්ය චරිත හේරත් එහා ඉවුරට එක්වේ.

අපේ රටේ පවතින තත්ත්වය හමුවේ අද වනවිට ඉදිරියට ගමන් කිරීම අභියෝගයක් වී තිබෙනවා. එම අභියෝගය ජයගෙන ආර්ථික සෞභාග්‍යය ඇති කිරීමේ රජයේ වැඩපිළිවෙළ සම්බන්ධව ඔබ දරන මතය කුමක් ද ?

පසුගිය අවුරුදු හතරහමාරක යහපාලන ආණ්ඩුව ඉතාම අසාර්ථකයි. එම ආණ්ඩුව සමයේ අපේ රටේ වැඩියෙන්ම අර්බුදයට ලක්වූ ක්ෂේත්‍රය වන්නේ ආර්ථිකය. ආර්ථිකයට සම්බන්ධ විධිමත්, බුද්ධිමත් තීරණ ගත් බවක් අපි දැක්කේ නැහැ. විවිධ කමිටු, ජනාධිපති හා අගමැති අතර විවිධ විරසකවලින් වැඩිම බලපෑමක් වුණේ රටේ ආර්ථිකයට. ඒ නිසා මේ වනවිට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට රට ගමන්කර තිබෙනවා. මේ ආර්ථික අර්බුදයෙන් රට එළියට ගන්න අලුත් තීන්දු, නව ප්‍රතිපත්ති අවශ්‍ය වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මොහොතේ තිබෙන්නේ ජනාධිපති ධුරයට ලැබුණු ජනවරම මත ගොඩනැඟුණු ආණ්ඩුවක්. අපි අලුත් ආණ්ඩුවක් හදන්න නම් අපිට පාර්ලිමේන්තු බලයක් ලබාගන්න ඕන. ඒක ලබාගත් විගස මීට වඩා වෙනස් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට මේ ආණ්ඩුව පැමිණි විගස රටතුළ තිබුණු ඉදිරියට යන්නේ නැහැ කියන මානසික තත්ත්වය වෙනස් වුණා. ඒක තමයි ආර්ථිකයට පැමිණි ක්ෂණික බලපෑම. නැවත වරක් රට ඉදිරියට යනවා. මෙය ඉතා වැදගත්. පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ විවිධ බදු ප්‍රතිපත්ති අපි බදු සහන බවට පත්කළා. ඇතැම් ක්ෂේත්‍රවල බදු විශාල වශයෙන් අඩුකළා.

කලාපීය වශයෙන් එක් එක් රටවල් අතර පවතින ආර්ථික තරගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ කෙසේ ද ?

කලාපීය වශයෙන් අද අපි ගත කරන්නේ කලාපයේම බොහෝ රටවල් වේගයෙන් දියුණු වන කාලයකයි. ඉන්දියාව අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ මූලික වශයෙන් ව්‍යාපාර, තාක්ෂණ, ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රවලින් ඉදිරියට ගොස් තිබෙනවා. පාකිස්තානය ද ඉම්රාන් ඛාන් අගමැතිවරයා යටතේ ඉතාම හොඳ ආර්ථික දියුණුවක් ලබමින් ඉන්නවා. මේ දෙකටම වඩා ඉතාම වේගවත් ජයග්‍රහණ බංග්ලාදේශය පැත්තෙන් පේනවා. ඒ රටේ ආර්ථික වර්ධන වේගය සියයට 8ක් පමණ වෙනකොට අපේ රටේ ආර්ථික වර්ධනය වේගය සියයට 1.3ක් තරම් පහළ අගයක් අපිට පේනවා කලාපයේ රටවල් මෙතරම් කාලයකට නොතිබුණු වේගවත් ගමනක් ආර්ථිකය සම්බන්ධව යමින් සිටිනවා.

මේක අපිට අභියෝගයක්. නමුත් අපිත් වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා යාමට සහ වේගවත්ව ජාත්‍යන්තර බලපෑම්වලින් නිදහස්වන තැනකට යන්න මේ අභියෝගය ආශිර්වාදයක් කරගන්න ඕන. රටතුළ ආර්ථිකය සංවර්ධනය ජාත්‍යන්තර තත්ත්වයට සම්බන්ධයි. ජාත්‍යන්තර තත්ත්වය කළමනාකරණය කරගන්නේ නැතිව රටතුළ කිසිදු ප්‍රතිසංස්කරණයක් කරන්න බැහැ. මෙතන සටන් භූමි කිහිපයක් තිබෙනවා. අලුත් ආර්ථික, අලුත් දේශපාලන ප්‍රතිපත්ති හදුන්වාදීම මෙහිදී වැදගත් වෙනවා. ඒ සඳහා රටතුළ ස්ථාවර තත්ත්වයක් නිර්මාණය වීමත් වැදගත්. මේ සඳහා ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් නිර්මාණය කිරීමත් අවශ්‍ය වෙනවා. ඉන්දු පැසිෆික් සාගර කලාපයේ දියුණු චීනය, ඉන්දියාව, ඇමෙරිකාව යන රටවල විශාල තෙරපුමක් සාගරයේ සිදුවන්න නියමිතයි. මේ තෙරපුම හරහා එම්.සී.සී, ඇක්සා, සෝෆා වැනි ගිවිසුම් ලංකාවට ආවා. ඒ තෙරපුම හමුවේ ශක්තිමත්ව නැඟීසිට ඉදිරියට යන්න හැකිවන්නේ හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් ගොඩනැඟුවොත් විතරයි. ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ විද්‍යාවක්. අධ්‍යයනයක්. ඒකට යම්කිසි පුහුණුවක් ඇති අය යොදන්න ඕන.

රට හමුවේ පවතින අභියෝග ජයගන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් රජයට හැකිවෙයි ද ?

අවුරුදු කිහිපයක් ඇතුළත අපේ රටේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අවුරුදු කිහිපයක් තුළ මේ රටේ දැවැන්ත වෙනසක් සිදුවන්නට නියමිතයි කියා මම විශ්වාස කරනවා. ඇත්තටම ජනාධිපතිතුමා ඒ වෙනස සිදුවන තෙක් පිටුපසින් යන කෙනෙක්. ප්‍රතිඵලය දෙස බලාමයි වැඩ කරන්නේ. ඒ අනුව ගොඩක් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් වෙයි. ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රශ්න විසඳන ආකාරය සම්බන්ධයෙන් අපිට වෙනම සිතන්න වෙනවා. රටතුළ පවතින ආර්ථික ප්‍රශ්නය එතුමාගේ කාලයේ විසඳන්න හැකිවෙයි කියා විශ්වාස කරනවා. ඒ වගේම මේ රට දියුණු සහ ධනය සහිත රටක් බවට පත්කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල ඉඩක් තිබෙනවා. ඒ වෙනුවෙන් පවතින කොන්දේසි දෙකක් විදියට මම දකින්නේ රටතුළ දේශපාලන ස්ථාවරභාවය සහ ජාත්‍යන්තර තලයත් සමඟ අනවශ්‍ය ගැටුමකට නොයාම. ආර්ථික වශයෙන් දියුණු වෙන්න නම් රටේ ස්ථාවරභාවය වගේම ජාත්‍යන්තර මැදිහත්වීම්වල විධිමත්භාවය අවශ්‍යයි. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට හානිවන කිසිවක් රටතුළ සිදුනොවිය යුතුයි.

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති තවමත් මන්දගාමී තත්ත්වයේ. ඇතැම් ව්‍යාපෘති සඳහා තවමත් මුදල් වෙන්කර නැහැ. එම ව්‍යාපෘති කාර්යක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරනවා ද ?

ඉතාම දුර්වල ආණ්ඩුවක් වසර හතරහමාරක් රට පාලනය කරලා ඡන්දයෙන් පැරදිලා ගෙදර ගියා. එය භාගයක් එන්.ජී.ඕකරණය වුණු ආණ්ඩුවක්. අනෙක වෛරීකරණය වූ ආණ්ඩුවක්. මේවා එම ආණ්ඩුවේ පැවැති ප්‍රධාන මාන දෙක. රාජපක්ෂ පවුලට, රටේ වැඩකරන පිරිසට, තමන්ට විරුද්ධ දේශපාලන පාක්ෂිකයන්ට වෛර කරලා ඒ අය හිරකරලා දේශපාලනයක් කළේ. මේ දෙගොල්ල ගත් තීරණ විධිමත් ලෙස ගෙන නැහැ. ඉතාම දුර්වල හා මෝඩ තීරණ. නමුත් මේ තීන්දු තීරණ රජයක් වශයෙන් අපිට බාර ගන්න සිදුවෙනවා. මොකද රජයකට බැහැ මඟදී ඇතැම් ව්‍යාපෘති නවත්වන්න. පසුගිය රජය නම් හැම ව්‍යාපෘතියක්ම බොරුවට නවතා කොමිස් අරගෙන ආපසු පටන් ගත්තා. වරාය නගර ව්‍යාපෘතිය වසර දෙකක් නවතා පසුව බලෙන් නැවතීමේ ගාස්තු ගෙවා යළි ආරම්භ කළා. එවැනි දුර්වල ආණ්ඩුක් තිබිලා අපි බලය ගත් පසුව ඇතැම් ප්‍රශ්න ඉතා ඉක්මණින් විසඳන්න නොහැකි වෙන්න පුළුවන්. සමහර හොඳ ව්‍යාපෘති අපි ඉදිරියට කරගෙන යනවා. හොඳ ව්‍යාපෘති තිබුණා. තොරතුරු දැන ගැනීමේ පනත ගත්විට එය ටිකක් හොඳ එකක්.

ඒවා අපි ඉදිරියට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ගම්පෙරළිය වැනි වැඩසටහන් හරහා සිදුකළ හොඳ ව්‍යාපෘති තිබෙනවා. ඇතැම් ඒවා මන්ත්‍රීවරුන්ගේ ප්‍රචාරය වෙනුවෙන් කළ බොරු ව්‍යාපෘති. නමුත් අපි රටට වැඩක් ඇති ව්‍යාපෘති ගෙනයනවා. ඒ වගේම ඇතැම් ව්‍යාපාති තවදුරටත් ඉදිරියට ගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සලකා බලනවා. බිංගිරිය ආයෝජන කලාපය වැනි එකක් ගත්විට මේක ගැන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අදසක් තිබුණේ නැහැ. නමක් විතරයි දාලා තිබෙන්නේ. පසුගිය කාලයේ විදුලිබල ක්ෂේත්‍රයේ එක මෙගාවොට් එකක් හෝ ජාතික විදුලිබල පද්ධතියට එකතුකර නැහැ. ඒ නිසා පසුගිය ආණ්ඩුව පටන්ගත් ඇතැම් ව්‍යාපෘති සමාලෝචනය කර ඉදිරියට යන්න පියවර ගන්නවා.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට වත්මන් රජය අත්සන් තබනවා ද ?

ආණ්ඩුවක් ජාත්‍යන්තර ගිවිසුමකට එකඟ වූ පසුව යම්කිසි ආකෘතියකට තමයි එයින් එළියට යන්න ඕන. සිතැඟි පරිදි ඒවායින් ඉවත් වෙන්න බැහැ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එම්.සී.සී ගිවිසුමට බොහෝ දුරට එකඟවෙලා තිබුණේ. මෙයින් එළියට පැමිණීම යාන්ත්‍රණයක්. ඒ සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. එහි වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරයි. එහිදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගනී. රජයේ බොහෝ ආයතන සහ පුද්ගලයින් සිතන්නේ මෙය වැරැදි ව්‍යාපෘතියක් කියලයි.

රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීම ආයෝජන හා වෙළඳ කටයුතු ඉහළ නංවා ගැනීම සඳහා බලපාන්නේ කෙසේ ද ?

ද්වීපාර්ශ්වික ගිවිසුම් සම්බන්ධයෙන් ආණ්ඩුවක් විදියට අපි නැවත වරක් සාකච්ඡා කරමින් ඉන්නවා. දැනට තිබෙන තත්ත්වය දෙස බලද්දී ඇතැම් ගිවිසුම් නිසා රටේ ජාතික ව්‍යාපාර කඩා වැටෙමින් තිබෙනවා. ඉන්දියාව, චීනය වගේ රටකට සාමාන්‍ය මට්ටමේ සේවා බාරදුන් විට අපේ ව්‍යාපාර වැටෙනවා. පසුගිය කාලයේ ඉන්දියානු තෙල් සමාගමට ඉන්ධන පිරවුම්හල් 100 ක් දුන්නා. ඒවා දුන්නේ ජීවිත කාලයටම. එවැනි විශාල ප්‍රශ්න තිබෙනවා. යම් ද්වීපාර්ශ්වික ගිවිසුම්වලින් අපේ රටේ ජාතික ආර්ථිකයට හානියක් සිදුවෙනවා නම් ඒක කළමනාකරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටට අසාධාරණ ලෙස සකස් කළ ගිවිසුම්. ශක්තිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

රැකියා විරහිත උපාධිධාරීන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දායක කර ගැනීමේ වැඩපිළිවෙළ කුමක් ද ?

රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාටම මාර්තු මාසයේ පළමුවැනිදා ට පෙර රැකියා සඳහා ලියාපදිංචි වන්නට ආකෘතියක් ලබාදී තිබෙනවා. එහි දී බලාපොරොත්තු වන්නේ කීදෙනක් ඉන්නවා ද කියලා බලන්නයි. නමුත් මෙහි යම්කිසි ප්‍රශ්නයක් තිබෙන බවත් කියන්න ඕන. ඇතැම් අය චෝදනා කරනවා රැකියා නැහැයි කියලා සහතික කරන එක ග්‍රාම නිලධාරීන් කරන්නේ නැහැයි කියලා. උපාධිධාරියෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවක් කරනවා නම් ඔහුට හෝ ඇයට රජයේ රැකියාවක් අවශ්‍ය වෙනවා. නමුත් ග්‍රාම නිලධාරිවරයා කියනවා ඒ කෙනාට රැකියාවක් තිබෙනවා කියා. එය වැරැදි තීරණයක්. ඒ නිසා අපි ග්‍රාම නිලධාරීන්ටත් කියන්නේ මේ අවස්ථාවේ ඇත්තම තොරතුර අපිට දෙන්න කියලයි. රජය බලන්නේ උපාධිධාරීන් හැකි පමණ යම් යාන්ත්‍රණයක් ඇතුළත ස්ථානගත කරන්නයි. ඇත්තටම පසුගිය 2010 - 2015 ආණ්ඩුව උපාධිධාරීන් 60,000 ට පමණ රස්සා දුන්නා.

ඒ අයගේ සේවය රාජ්‍යයට ගන්න තමයි අපි බැලුවේ. නමුත් උපාධිධාරීන්ගේ සේවය තවම නිශ්චිත ආකාරයෙන් රටට ලබාගන්න අපහසු වී තිබෙනවා. ඒ නිසා දාන්න නොවෙයි වඩා ඵලදායී විදියට උපාධිධාරීන්ගෙන් සේවයක් ගන්න රජය අපේක්ෂා කරනවා. හේතු කිහිපයක් නිසා මේක ලෙහෙසි වැඩක් නොවෙයි. අපේ විශ්වවිද්‍යාලවල උගන්වන දේවල් වෙළෙඳ පොළේ අවශ්‍යතාවයට වඩා ගොඩක් වෙනස්. ඒ නිසා තමන්ට ලාභදායී නොවන පුද්ගලයින් පෞද්ගලික අංශයේ රස්සාවලට ගන්නේ නැහැ. එවිට ඒ අය සියලු දෙනාම ගන්න වෙන්නේ රජයට. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජයට විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එසේ කියලා රැකියා දෙන එක නවත්වන්න බැහැ.

විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, පරිපාලන නිලධාරියෙක් වශයෙන් ඔබ මෙතෙක් නියාලී සිටි භූමිකාව සමඟ ක්‍රියාකාරී දේශපාලන භූමිකාවක් එක්කර ගැනීමට අදහස් කළේ ඇයි?

මම ‍දේශපාලනයට එන්න තීරණය ක‍‍ළේ වි‍ශේෂ අරමුණු කිහිපයක් නිසයි. මම ‍මේ ර‍ටේ ප්‍රධාන ධාරාවන් ‍දෙකක කටයුතු කළ ‍කෙ‍නෙක්. එකක් තමයි ශාස්ත්‍රීය ධාරාව. මම මහාචාර්යවර‍යෙක් දක්වා පැමිණ ති‍බෙනවා. පරිපාලන ධාරා‍වේ ‍ලේකම්වර‍යෙක් දක්වා පැමිණ ති‍බෙනවා. ‍මේ ධාරා ‍දෙ‍‍කෙන්ම විසඳන්න ‍නොහැකි ප්‍රශ්නයක් අ‍පේ ර‍ටේ ති‍බෙනවා. එය ප්‍රතිපත්ති ධාරා‍වේ ති‍බෙන ප්‍රශ්නය. ශාස්ත්‍රීය ධාරාව සහ පරිපාලන ධාරාවට වඩා වැදගත් ගැටලුවක් අ‍පේ ර‍ටේ ප්‍රතිපත්ති ධාරා‍වේ ති‍බෙනවා. ඒ නිසා ප්‍රතිපත්ති හදන තැනට අපි ව‍ගේ අය ගමන් කළයුතුයි කියලා මම හිතනවා. ඒ නිසා මම ‍මේ කාර්යය ‍වෙනු‍වෙන් මහන්සි ‍වෙනවා.

මම කුරුණෑගල දිස්ත්‍රික්ක‍යේ සිටි අ‍පේ පවුල්වල ජනතාව සිටි පැත්තක ජීවත්වන ‍කෙ‍‍නෙක්. ඒ නිසා අ‍පේ පළා‍තේ ති‍බෙන ප්‍රශ්න ‍කොළඹ සිට දකින්න බැහැ. අ‍පේ පළා‍තේ වතුර සම්බන්ධ‍යෙන් විශාල ප්‍රශ්නයක් ති‍බෙනවා. ඒ ව‍ගේම අ‍පේ පළා‍තේ විශාල ශ්‍රම හමුදා‍වක් ති‍බෙනවා. අපනයන ආර්ථිකයට ‍තෝතැන්නක් බවට පත්කරන්න පුළුවන්. ඒ නිසා සම්ප්‍රදායික කෘෂි ආර්ථිකයයි අපනයන ආර්ථිකයයි ‍දෙකම අ‍පේ පළා‍තේ ගැලවී‍මේ මඟ ‍ලෙස අපි දකිනවා. ඒ නිසා සම්ප්‍රදායික කෘෂි ආර්ථිකයට අවශ්‍ය ජලය ලබා‍දෙමින් එය ‍ගොඩනඟන්න ඕන. ඒ ව‍ගේම අපනයන ආර්ථිකයට අදාළ දැනුම සහ මූලධනය, ‍වෙ‍ළෙඳ පොළ ආදිය අවශ්‍ය ‍වෙනවා. ‍මේ සියල්ල ඉදිරියට ‍ගේන්න වැඩ කරන්න ඕන. අ‍පේ දිස්ත්‍රික්කය විශාල අධ්‍යාපන ශක්තියක් ති‍බෙන දිස්ත්‍රික්කයක්. අපිට ‍ලෝක‍යේ බුද්ධි ආර්ථිකයට දක්ෂයන්, ප්‍රවීණයන් ඉදිරිපත් කරන්න, නිර්මාණය කරන්න පුළුවන් ඉඩක් ති‍බෙනවා.

අ‍පේ දිස්ත්‍රික්කය පුරාම ර‍ටේ ප්‍රධාන ධාරාවට සම්බන්ධ ‍බො‍හෝ ව්‍යාපෘති කරන්න පුළුවන් තත්ත්වයක් ති‍බෙනවා. ප්‍රාග්ධනය රටට ‍ගේන්න පුළුවන්. සෘජු වි‍දේශ ආ‍යෝජන ‍‍ගේන්න පුළුවන්. එවැනි ව්‍යාපෘති කරන්න ඉඩක් ති‍බෙනවා. ඒ ව‍ගේම අ‍පේ ර‍ටේ ප්‍රතිපත්ති හදන මණ්ඩල තුළ අ‍පේ පළාතට ‍ගෞරවයක් එන පරිදි සෑම අ‍යකුටම ආඩම්බර විය හැකි පරිදි ‍දේශපාලනයක් කරන්න අපි අ‍පේක්ෂා කරනවා. අපි වැනි අය‍ගේ ‍දේශපාලන ආගමනය කියන්නේ ‍දේශපාලනය හරහා ‍වෙන ‍දෙයක් ලබාගන්න යන ගමනක් ‍නො‍‍වෙයි. ‍

 මහින්ද අලුත්ගෙදර

 සඳුනි රණසිංහ

කැළුම් ලියනගේ

නව අදහස දක්වන්න