භූගත ජලයට ප්‍රතිපෝෂණයක් | දිනමිණ

භූගත ජලයට ප්‍රතිපෝෂණයක්

දේශගුණික වෙනස් වීම් සහ භූගත ජලය ප්‍රයෝජනයට ගැනීම වැඩි වීමත් සමඟ බොහොමයක් භූගත ජල මූලාශ්‍රවල දැකිය හැක්කේ ජලය අඩු වෙමින් පවතින තත්ත්වයකි. මෙයාකාරයෙන් භූගත ජල මූලාශ්‍රවල ජලය අඩු වීමෙන් භූගත ජල මට්ටම පහළ බැසිය හැකි අතර එමඟින් පාංශු ජලය අඩු වීමේ අවදානමක් ද ඇති වේ. එය ම මතු දිනෙක පරිසරයට අවශ්‍ය ජලය ලැබීම අඩු වීමට හේතු වීමෙන් විශාල වශයෙන් පාරිසරික ගැටලු ඇති වීම නොවැළැක්විය හැකි වනු ඇත.

සෑම ජීවියකුටම සිය ජීවය පවත්වාගෙන යෑම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. ජලය යනු බහුල ව පවතින ස්වාභාවික සම්පතක් වුව ද ලෝකයේ ජීවත් වන සෑම මිනිසුන් හතර දෙනකුගෙන් තිදෙනකුම පිරිසුඳු ජලය නොමැතිකමින් පීඩා විඳී.

ඝණ කිලෝමීටර 1,386,000,000 Km3 ක් පමණ වන ජල පරිමාවක් මහ පොළොව මත රැඳී ඇතැයි සැලකෙන නමුත් ඉන් 97%ක් ම පවතිනුයේ කරදිය ලෙසින් මහ සයුරේ ය. මුළු දිය පරිමාවෙන් 2.6%ක් එනම් ඝණ කිලෝමීටර 36,036,000Km3ක් පමණ උත්තර හා දක්ෂිණ ධ්‍රැව කලාපවල හිම ලෙස පවතී. ඉතිරිය පොළොව මත ඇති ඇළ,දොළ,ගංඟා, විල් වැව් තුළ ද වාෂ්ප ලෙස වායුගෝලයේ ද භූගත ජලය ලෙස පොළොව මතුපිටට ආසන්න පාෂාණ ස්ථර තුළ ද ගබඩා වී තිබේ.

මිහිතලය මත මුළු මිරිදිය ප්‍රමාණය සැලකූ විට එනම් ඝණ කිලෝමීටර 27,747,720Km3කින් 77% ක් (ඝණ කිලෝමීටර 7,927,920Km3) පවතින්නේ ධ්‍රැවයන්හි අයිස් හා හිම ලෙස ය. 22% ක් භූගත ජලය ලෙස ද ඝණ කිලෝමීටර 360,360 Km3 ඉතිරිය ඇළ, දොළ, ගංගා, විල්, වැව් හා වායු ගෝලයේ ද පැතිර ඇත. මෙයින් පැහැදිලි වන්නේ මිනිස් ප්‍රයෝජනයට ගත හැකි ජලය පවතින්නේ ඉතා සුළු ප්‍රමාණයක් බව ය.

මිහිදිය රැඳවුම්

පොළොව මතුපිටට පහළින් කලාපවල රැඳී පවතින ජලය භූගත ජලය ලෙස හැඳින් වේ. මිහිතලය මතුපිට කලාපය හරස්කඩක් සැලකීමේදී ජලය හමුවන්නේ පොළොව මතුපිට සිට කිලෝමීටර් එකක් තෙක් පමණි.

ජලධර හෙවත් මිහිදිය රැදවුම් නමින් හැඳින්වෙන්නේ ප්‍රයෝජනයට යොදා ගත හැකි ලෙසින් ඉතා හොඳින් භූගත ජලය දරා ගත හැකි සංතෘප්ත කලාපය යි. හිස් අවකාශ වැඩි පස් කලාප හා අඩු පරාගම්‍යතා සහිත පාෂාණ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවෙන් කොටසක් පොළොව තුළට පෙරී කාන්දු (Infiltration) වීමෙන් පොළොව තුළට ගමන් කරන අතර වැසි ජලයෙන් වැඩි ප්‍රමාණයක් පොළොව මතුපිටින් ගලා බසී. නොගැඹුරු ළිං හා ගැඹුරු නළ ළිං කැණීම් කරනුයේ පොළොව තුළට ඇතුළු වී, ජලධරවල ඇති ජලය, මිනිසාගේ ප්‍රයෝජනය සඳහා ලබා ගැනීමට ය.

එකී හේතු මත භූගත ජල පුණරාරෝපණය හෙවත් ප්‍රතිපෝෂණය දැකිය හැක්කේ මේ දිනවල වැඩි අවධානයක් හිමි කරගත යුතු කාරණයක් ලෙස ය. අනාදිමත් කලක පටන් මෙරට තුළ නොගැඹුරු ළිං කැණුම් කර භූගත ජලය ලබා ගැනීම සිදු කර ඇති බවට තොරතුරු හමු වුව ද ගැඹුරු නළ ළිං කැණුම් කර භූගත ජලය ලබා ගැනීම ආරම්භ වී ඇත්තේ 70 දශකයේ පමණ සිට ය. වර්තමානය වන විට ගැඹුරු නළ ළිං හා නොගැඹුරු නළ ළිං මගින් භූගත ජලය ලබා ගැනීම ඉතා ම ප්‍රචලිත වී ඇති අතර මෙම භූගත ජලය; ජලසම්පාදන ක්‍රම, කර්මාන්තශාලා,රෝහල්,වගා කටයුතු සඳහා යොදා ගනී.

කෙසේ වෙතත් බහුල ලෙස භූගත ජලය ලබා ගැනීමත් සැලසුම් රහිත සංවර්ධන කටයුතු සිදු කිරීමත් හේතුවෙන් සැලකිය යුතු ලෙස භූගත ජලය ක්ෂය වීමේ තත්ත්වයක් මේ වන විට දැකගත හැකි ය.

අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල භූගත ජල මට්ටම වසරින් වසර පහළ යන බව අප විසින් සිදු කරන ලද නිරීක්ෂණවලින් පැහැදිලි වන අතර ඉදිරියේදී මුහුණපෑමට සිදු වන පාරිසරික හා දේශගුණික වෙනස් වීම් හේතුවෙන් නුදුරු අනාගතයේදී මෙම තත්ත්වය තව දුරටත් වැඩි විය හැකි බවක් ද අපේක්ෂා කළ හැකිය.

මේ හේතුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක අවශ්‍යතාව වටහා ගත් ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයේ භූගත ජල අංශය විසින් විමර්ශන භූගත ජලය ඇති ස්ථාන සොයා ගැනීමට සිදු කර ඉන් අනතුරු ව එම ස්ථානයන්හි නළ ළිං ඉදිකිරීමට කටයුතු කරයි. නළ ළිං කණින අවස්ථාවේදී එකතු කර ගන්නා ජල සාම්පල ජල සම්පාදන මණ්ඩලයේ රසායනාගාරවලදී පරීක්ෂාවට බඳුන් කරන අතර එම ජලයේ ගුණාත්මකභාවය මිනිස් පරිභෝජනයට සුදුසු ලෙස පවතින්නේ නම් පමණක් අදාළ නළ ළිං ජලධාරිතා පරීක්ෂණයකට ලක් කෙරේ.

ජල ධාරිතා පරීක්ෂණ

ජලධාරිතා පරීක්ෂණයකදී තෝරාගත් වේගයකින් නොනවත්වා ජලය පැය 24ක් හෝ 48ක්, 72ක් පොම්ප කර එම ජල මට්ටම මනිනු ලබන අතර ඊට අමතර ව අවට ළිං හා නළ ළිං හි ජල මට්ටම ද නිරීක්ෂණයට ලක් කෙරේ. මෙලෙස රැස් කරගන්නා දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරු ව ජලධාරිතා පරීක්ෂණයට ලක් කරන ලද ළිදෙන් හෝ නළ ළිදෙන්, පරිසරයට හානියක් නොවන අන්දමෙන් ලබා ගත හැකි ආරක්ෂාකාරී ජල ප්‍රමාණය හා දිනකට ‌ෙපාම්ප කළ යුතු පැය ගණන සෑදීම සඳහා නිර්දේශ ලබා ගැනීමක් ද සිදු වේ. ජලධරයට හා පරිසරයට වන හානිය වළක්වා ගැනීම හෝ ඉතා අවම කර ගැනීම වෙනුවෙන් භූගත ජලය ලබා ගැනීමේදී දිනකට ලබා ගන්නා ප්‍රමාණය සහ කාලය පරීක්ෂණාත්මක ව නිගමනය කිරීම අතිශය වැදගත් වේ.

1979 වර්ෂයේ අරඹන ලද ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ භූගත ජල අංශය මඟින් ඉකුත් වසර 40ක කාලය තුළ රට පුරා ඉදිකර ඇති නළ ළිං ගණන 32000කට අධික බව කිව යුතු ය. නළ ළිං ඉදිකර භූගත ජලය ලබා ගැනීම කරන අතරතුර පරිසරයේ වෙනස්වීම් නිසා සිදුවන භූගත ජල ප්‍රමාණය අඩු වීම, එහි ගුණාත්මක වෙනස් වීම් අධ්‍යයනය කිරීම,භූගත ජල කළමනාකරණය ආදිය සම්බන්ධයෙන් පසු විපරම් කිරීම හා අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතින නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ නළ ළිං කැණීම් කිරීම ඉතා ප්‍රචලිත කාරණාවක් ලෙස දැකිය හැකිය. ඇතැමුන් මෙය ව්‍යාපාරයක් බවට ද පත්කොට ගෙන ඇති අතර එහි සාර්ථක අසාර්ථක බව මෙන් ම ගුණාත්මක භාවය පිළිබඳ සොයා බැලිය යුතු කාලය එළැඹ ඇත.

දේශගුණික වෙනස් වීම් සහ භූගත ජලය ප්‍රයෝජනයට ගැනීම වැඩි වීමත් සමඟ බොහොමයක් භූගත ජල මූලාශ්‍රවල දැකිය හැක්කේ ජලය අඩු වෙමින් පවතින තත්ත්වයකි. මෙයාකාරයෙන් භූගත ජල මූලාශ්‍රවල ජලය අඩු වීමෙන් භූගත ජල මට්ටම පහළ බැසිය හැකි අතර එමඟින් පාංශු ජලය අඩු වීමේ අවදානමක් ද ඇති වේ. එය ම මතු දිනෙක පරිසරයට අවශ්‍ය ජලය ලැබීම අඩු වීමට හේතු වීමෙන් විශාල වශයෙන් පාරිසරික ගැටලු ඇති වීම නොවැළැක්විය හැකි වනු ඇත.

ලෝකයේ බොහෝ රටවල භූගත ජල ප්‍රතිපෝෂණය ඉතා ප්‍රචලිත වී ඇති බව දැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ ද නොයෙකුත් ආයතන මේ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද එය තවම ප්‍රායෝගික ව එතරම් ජනප්‍රියතාවක් අත්කොටගෙන නැත.

මතුපිට ජලය පහළට ගමන් කරවීමට සලස්වා, භූගත ජලධර වෙත ඇතුළුවීම‌ට සැලැස්වීම, ‘භූගත ජල ප්‍රතිපෝෂණය’ නැතහොත් ‘පුනරාරෝපණය’ යනුවෙන් හැඳින්වෙන අතර එය විද්‍යානුකූල නොවන අන්දමින් සෑම ස්ථානයක ම සිදු කළ හැක්කක් නොවේ. භූ රූප විද්‍යාව,භූ ගර්භ විද්‍යාව,වර්ෂාපතනය, පාංශු වර්ගය හා ඉඩම් පරිමාණය යන කාරණා ඒ සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වන බව අවබෝධ කරගත යුතු ය.

ශ්‍රී ලංකාවේ භූගත ජලය ප්‍රධාන වශයෙන් පෝෂණය වන්නේ වර්ෂාපතනය මඟිනි. ශ්‍රී ලංකාවට වාර්ෂික ව ඝන කිලෝමීටර 130ක වර්ෂාවක් ලැබෙන බවට සැලකෙන නමුත් එම වැසි ජලයෙන් ඝන කිලෝමීටර 50ක් පමණ මතුපිට ජලය සේ ගලා ගොස් ගංගාවලට එක් ව මුහුදට ගලාගෙන යයි. තවත් ඝන කිලෝමීටර 40ක් පමණ ගංගා, ඇළ දොළ, ජලාශ, වැව්වල ගබඩා වන අතර මහ පොළොවට උරා ගන්නේ ඝන කිලෝමීටර 40ක් පමණ ප්‍රමාණයකි.

එසේ ම වර්ෂාපතන රටාවේ වෙනස් වීම් හා ඉඩම් පරිහරණ කටයුතු නිසි ආකාර නොවීම හේතුවෙන් ද පොළොවට උරා ගන්නා ජල ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව කිව යුතු ය. වර්තමානයේදී ඉතා කෙටි කාලයක් තුළ අති විශාල වර්ෂාපතනයක් ලැබී කාණු පද්ධති පිටාර ගලා, ගංවතුර තත්ව ඇති වී නගර, පාරවල් යට වන අවස්ථා බහුල ය. ඉකුත් වසර 30ක පමණ සිට නාගරික, ග්‍රාමීය ඉදිකිරීම් බොහෝමයක ඇත්තේ වැහි පිහිලි සහිත වහලවල් ය. එමඟින් සිදු වනුයේ වර්ෂාව ඇති වන විට වහලයට වැටෙන ජලය වැහි පිහිලි මඟින් කාණු පද්ධතියට එක් වී ඇළදොළ, ගංගා ඔස්සේ මුහුදට ගලා යෑම ය. මේ හේතුවෙන් ද පොළවට වැසි ජලය උරා ගැනීම අල්ප වී ඇති බව පැහැදිලි ය.

සියලු කරුණු සලකා බලා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ භූගත ජල වයඹ කාර්යාලය මඟින් වැසි ජලය මගින් භූගත ජලය ප්‍රතිපෝෂණය කිරීමේ විශේෂ වැඩසටහනක් අරඹන ලද්දේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ භූගත ජල අංශයට වසර 40ක් සපිරීම නිමිතිකොට ගනිමින් ය. එහි ප්‍රධාන අරමුණු දෙකකි.

ඉන් පළමු වැන්න නම් භූගත ජලය ප්‍රතිපෝෂණය කිරීමේ ක්‍රම ප්‍රායෝගික ව ස්ථාපනයකොට එමඟින් ප්‍රදේශයේ රජයේ කාර්යාල, පළාත් පාලන කාර්යාල, පාසල්, රෝහල්, පොලීසිය, හමුදා කඳවුරු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම ය. මේ යටතේ ප්‍රධාන වශයෙන් පාසල් ගුරු භවතුන් හා සිසු සිසුවියන් දැනුවත් කරමින් ක්‍රියාකාරකම් ලබාදෙන වැඩපිළිවෙළක් අරඹන අතර භූගත ජල ප්‍රතිපෝෂණ ක්‍රම ඉතා අඩු වියදමින් කිරීමට හැකිවන අයුරින් ප්‍රායෝගික අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

විද්‍යාත්මක අධ්‍යයන

භුගත ජලය ප්‍රතිපෝෂණයකොට විද්‍යාත්මක ව එය අධ්‍යයනය කිරීම දෙවැනි අරමුණයි. ඒ සඳහා වාරියපොළ භුගත ජල අංශයේ කාර්යාලය ඉතා ම යෝග්‍ය වේ. භූ රූප විද්‍යාව අනුව එහි වටපිටාව අතින් වාරියපොළ ප්‍රදේශයේ උස් ම තැන වන අතර භූ ගර්භ විද්‍යාව අනුව ජීර්ණය වූ තිරුවාණ පාෂාණය පිහිටා ඇත. මෙය අඩි 60ක් පමණ ගැඹුරට ඇති අතර එය භූගත ජලය ප්‍රතිපෝෂණය කර ගබඩා කිරීම සඳහා ඉතාමත් උචිත ය.

කාර්යාලයේ වහලවලට වැටෙන වැසි ජලය මින් පෙර වැහිපීලී මඟින් කාණු පද්ධතියට එක් වී, මාර්ගයේ කාණුවලට එකතු වූ නමුත් ස්ථාපනය කෙරෙන භූගත ජල ප්‍රතිපෝෂක පද්ධතිය මඟින් සිදු වනුයේ වැහිපීලී මඟින් එන වැසි ජලය ටැංකියට එකතු කර එය පිරී, අඩි 15ක පමණ ගැඹුරට කපා ඇති පොකුණට යාමට සැලැස්වීම ය. මෙහිදී වැහි ජලය සමඟ එන කොළරොඩු ආදිය ඉවත් කරවීමට අවශ්‍ය ක්‍රමවේද ද සකස්කොට තිබේ. මේ ක්‍රියාවලියේදී සියලු ජලය පොළොව යටට යෑමට ඉඩ නොතැබිය යුතු අතර අපවිත්‍ර වන පළවෙනි සහ දෙවැනි වැස්සෙහි ජලය ඉවත්කොට ඉන් පසුව ලැබෙන වැසි ජලය පොළොව යටට යැවීමට කටයුතු කළ යුතු ය. නිවැරදි කළමනාකරණයෙන් තොර වුවහොත් සමස්ත ක්‍රියාවලියෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම උගහට ය.

එසේ ම මෙයාකාරයෙන් පොළොව තුළට ගමන් කරවීමට සලස්වා ඇති වැසි ජලය පොළොව තුළ කිසියම් ගැඹුරක් දක්වා ගමන් කර භුගත ජල මට්ටම උච්චාවචනය වන්නේ ද යන කාරණාව සලකා බැලීම වෙනුවෙන් නිරීක්ෂණ සිදුරු ද ඉදිකළ යුතු වේ. එමඟින් අවට පරිසරයේ භූගත ජල ගබඩා වීම වැඩි වී ඇති ද? යන්න සොයාබැලීමත් අවට පරිසරයේ ඉදිකර ඇති ළිං මඟින් දත්ත එකතු කිරීමත් ආරම්භ කළ යුතු වේ.

එපමණක් නොව භූගත ජලය ප්‍රතිපෝෂණය ඇරඹීමත් සමඟ අවට ප්‍රදේශයේ භූගත ජලයේ ගුණාත්මක තත්ත්වය වෙනස් වීම සඳහා අදාළ, සාම්පල පරීක්ෂාවක් ද ආරම්භ කිරීම අනිවාර්ය වේ. මෙය භූගත ජල ප්‍රතිපෝෂණ හා සම්බන්ධ ව ප්‍රායෝගික ව හා පරීක්ෂණාත්මක ව ශ්‍රී ලංකාවේ අරඹන ලද ප්‍රථම වැඩසටහන බව සාඩම්බරයෙන් කිව හැකි අතර එය ජාතික ජල සම්පාදන මණ්ඩලයේ භූගත ජල අංශය මඟින් භූගත ජල ප්‍රතිපෝෂණය වෙනුවෙන් අරඹන ලද සාර්ථක වැඩසටහනක් වනු දැකීම අපගේ අපේක්ෂාව ය.

 

නව අදහස දක්වන්න