විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගුවන් මගියෙක් අත්අඩංගුවට | දිනමිණ


 

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගුවන් මගියෙක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , ඒවා ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යමින් සිටියදී , කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇති ලොබි ශාලාවේ ආවේක්ෂණ රාජකාරී වල නියැලී සිටි ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) දින අළුයම අත් අඩංගුවට ගෙන තිබේ .

අත් අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.ඔහු ඩුබායි වෙත රැකියාවක් අපේක්ෂාවෙන් ගොස් ඇති අතර , එය ලැබෙන තෙක් මාස 02 ක කාළයක් එරට රැදී සිටිය ද , ඔහුට එම රැකියාව නොලැබීම නිසා , ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ දී මෙම දුම්වැටි තොගය මිලදී ගෙන තිබේ .

ඊයේ (25) අලුයම 12.30 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන පැමිණ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියක රුපියල් 6,12,000 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 10,200 සගවා ගෙන තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන ඇත .

ඊයේ (25) දින සවස මෙම ගුවන් මගියා පොලිස් ඇප මත නිදහස් කර තිබූ අතර ,අනිද්දා (28) දින මෙම දුම්වැටි තොගය සහ මෙම ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

නව අදහස දක්වන්න