දිසාපාමොක්ලා! | දිනමිණ


 

දිසාපාමොක්ලා!

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැඩවර්ජනයක් ඊයේ පැවැත්විණි. එහි අරමුණ වූයේ ලෙඩ නිවාඩු පිට වැඩ නවත්වා රජයට බලපෑමක් කිරීම ය. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ විදුහල්පති ශ්‍රේණියේ හා ගුරුවරුන්ගේ වැටුප් විසමතා ඉවත් කරගැනීම බව ද කියති. පුදුමයකට මෙන් ඉහත කී වර්ජනය හා විරෝධතාව සිදුවන්නේ අධ්‍යාපන ඇමැතිවරයා අදාළ ගැටලු විසැඳීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන දිනයේ ම ය. එම යෝජනා මගින් සියලු ගුරුවරුන්ගේ හා සියලු විදුහල්පතිවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසැ‍ඳෙන බව ද ගුරුවරයාට අභිමානවත් ජීවිතයක් ගත කිරීම සඳහා අවස්ථාව උදාවන බව ද අමාත්‍යවරයා පැහැදිලි කරයි. මෙබඳු පසුබිමක් තුළ ගුරුවරුන් ගත් ක්‍රියාමාර්ගය අනුමත කළ හැකි ද යනු ගැටලුවෙකි.

වර්ජනය දෙස ආපසු හැරී බැලුවහොත් ගුරුවරුන්ගෙන් කොටසක් සේවයට වාර්තා කළහ. තව කොටසක් ලෙඩ නිවාඩු දමා පෙළපාළියට ගියහ. තවත් කොටසක් ලෙඩ නිවාඩු දමා ගෙදර නතර වූහ. සමහර පාසල්වල පන්ති පැවැත්විණි. සමහර පාසල්වල පන්ති නොපැවැත්වූයේ වුව ගුරුවරු පාසලට පැමිණ පොත අස්සන් කළහ. පැවැති වර්ජනය ගැනත්; ලෙඩ නිවාඩු ගැනත්; වැටුප් විසමතා ගැනත් විවිධාකාර අදහස් ගුරුවරුන් අතර පවතී. ගුරුවරයා වැඩ වර්ජන නොකළ යුතු බවද ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බවද බොහෝ දෙනකුගේ අදහස වී තිබේ. ලෝකයේ දියුණු රටවල වෛද්‍යවරුන්, ගුරුවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන් කිසිවිටෙක වැඩවර්ජනවලට යොමුවන්නේ නැත. වර්ජන යනු නූතන ලෝකය ප්‍රතික්ෂේප කරන උපායමාර්ගයක් බවට පත්වෙමින් තිබේ.

ගුරුවරයාට සිය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට ක්‍රමයක් තිබිය යුතු බව කවුරුත් පිළිගනිති. වර්තමාන අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම අයිතිය පිළිගන්නා බවත්; විරෝධතාවට බාධා නොකරන බවත්; විරෝධතාව සාර්ථක වේවා යන්න තමාගේ ප්‍රාර්ථනය බවත් කියා සිටියේ ය. රජය විරෝධතාකරුවන්ට මෙන් ම උද්ඝෝෂණවලට ද අවස්ථාව ලබා දී තිබේ. ඒවා මර්දනය කිරීමේ අදහසක් රජයට නැති බව පෙනෙයි. එහෙත් ගුරු වෘත්තිය සම්බන්ධයෙන් රජය ගෙන යන වැදගත් වැඩ පිළිවෙළ නිරීක්ෂණය කිරීමට ගුරුසංගම් උනන්දුවක් දක්වා නැත. ගුරු ගැටලු විසැඳීම සඳහා රජයට කිසියම් කාලයක් ලබාදීම ගුරු සංගම්වල වගකීම වුව එය ඉටු කිරීමට ගුරු සංගම් සූදානම් නැති බව පෙනෙයි. මෙහි දේශපාලන ක්‍රියාවලියක් ඇති බව පෙනෙන්නට තිබේ. එබඳු බලපෑම් ඇතොත් ඒවා පරාජය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තිය සඳහා විධිමත් හා සාධාරණ වැටුප් ක්‍රමයක් හඳුන්වා දුන්නේ රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමැතිවරයා ය. එය කවුරුත් පිළිගන්නා සත්‍යයෙකි. ඉහත කී වැටුප් ක්‍රමය තුළ විදුහල්පතිවරුන්ට ද ගුරුවරුන්ට ද යුක්තිය ඉටුකර තිබිණි. එහෙත් පසුව බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු වරින්වර චක්‍රලේඛ නිකුත් කරමින් රිචඩ් පතිරණ මහතාගේ වැටුප් ක්‍රමය අවුල්කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස විදුහල්පතිවරුන් අතර ද, ගුරුවරුන්ගේ ශ්‍රේණි අතර ද වැටුප් විසමතාවක් ගොඩනැඟී ඇත. වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කරන්නේ ඉහත කී සියලු චක්‍රලේඛ අහෝසිකොට නව වැටුප් ක්‍රමයක් මගින් වැටුප් විසමතා ඉවත් කළ යුතු බවය. එහි දී සෑම ගුරුවරයකුගේ ම වැටුප ඉහළ යන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

ගුරු වෘත්තියට වැටුප් වැඩි කිරීම ගැන කිසිවකු විරුද්ධ වන්නේ නැත. ලෝකයේ දියුණු රටවල ඉහළම වැටුප් ලබන පිරිසක් ලෙස ගුරුවරුන් හැඳින්වේ. වත්මන් ආණ්ඩුව ගෙවී ගිය කෙටිකාලය තුළ දී ගුරු වෘත්තිය සම්බන්ධයෙන් ඉතා වැදගත් යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබේ. පළමු යෝජනාව වන්නේ උපාධිධාරීන් පමණක් ගුරු වෘත්තියට බඳවා ගැනීම ය. දෙවන යෝජනාව වන්නේ ගුරුවරයාට අභිමානවත් ලෙස ජීවත්විය හැකි පරිදි ඉහළ වැටුපක් ලබාදීම ය. මේ යෝජනා දෙකම ගුරු වෘත්තියේ අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. ගුරු සංගම් මේ තත්ත්වය වටහාගෙන රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වඩා වැදගත්ය. ඇතැම් ගුරු සංගම් ගුරුවරුන් දේශපාලනයට ඈඳාගැනීම සඳහා විවිධ උපායමාර්ග ක්‍රියාත්මක කරන බව පෙනෙයි. ඊයේ පැවැති වර්ජනයෙන් ද ඒ බව සනාථ වෙයි.

අපේ සමාජය මවුපියන්, ආගමික නායකයන් හැරුණුකොට වැඳුම් - පිදුම් කරන්නේ වැදගත් ගුරුවරයාට ය. එහෙත් ගුරුවරයා තම අභිමානය හා සමාජ වටිනාකම ආරක්ෂා කරගැනීමට සූදානම් ද යනු ගැටලුවෙකි. ගුරුවරුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ පුවත්පත් ලිපියක් සම්පාදනය කළ ප්‍රසිද්ධ ලේඛිකාවක එම ලිපියේ සිරස ලෙස යොදාගෙන තිබුණේ ‘ඇතත් තව හොඳ ගුරුවරු; වෙතී ගුරු හොරු ද තකතිරු’ යන්න ය. ගුරුවරුන්ගේ නොමනා හැසිරීම් මෙන් ම ඔවුන් දරුවන්ට ලබාදෙන නරක ආදර්ශයන් ද එම ලිපියෙන් විවරණය කර තිබිණි. හොඳ ගුරුවරු සිටිති. ඔවුන් උත්තම පුරුෂයන් ලෙස ද හැඳින්වේ. එහෙත් ගුරු හොරු ද සිටිති. ඔවුන් සමාජයේ ගර්හාවට පත්වේ. දරුවන්ගේ විනය පිරිහීමට ගුරුවරුන් වගකිව යුතු යැයි සමාජ සංවාදයක් තිබිණි. ඊට ප්‍රති උත්තරයක් ලෙස ගුරුවරුන්ගේද විනය පිරිහී ඇතැ’යි තවත් සමාජ සංවාදයක් තිබිණි.

ගුරුවරයා ඇමැතිය යුත්තේ කෙසේ ද? වරෙක ඔහු වෘත්තිකයෙකි. තව වරෙක ඔහු නායකයෙකි. තවත් වරෙක ඔහු මනුෂ්‍යත්වය ඉක්ම වූ දෙවියෙකි. එහෙත් දෙවියන් බාල ගණයේ දේශපාලනයට මුළාවන්නේ නැත. දරුවන් අමාරුවේ දමන වැඩවර්ජනවලට හවුල් වන්නේ ද නැත. ගුරුවරුන් තමන්ගේ වෘත්තිය පිළිබඳ නැවත සලකා බැලීමකට යා යුතුව තිබේ. ගුරු සංගම් වෙනුවට වෘත්තියේ වැදගත්කම හා අභිමානය රැකෙන වැදගත් සංසදයක් ඔවුන් විසින් ඇතිකරගත යුතුව තිබේ. එය නිර්දේශපාලනික එකක් විය යුතුය. ගුරු සංගම්වල දේශපාලන පදයට නටන්නට ගියහොත් ඉදිරියේ දී ගුරු ගෞරවය හොඳටම පිරිහෙනු ඇත. අතීත ගුරු පරම්පරාව හැඳින්වූයේ දිසාපාමොක් යන නමින් ය. දිසාපාමොක්ලා වැටුප් ඉල්ලා විරෝධතා දැක්වූයේ නැත. ගෝලයා දෙන ගුරු පඬුරු පමණක් ඔහු පිළිගත්තේ ය.

නව අදහස දක්වන්න