වාර්තා පොත අලුත් කළ අවිශ්ක සහ කුසල් ශ්‍රී ලංකා ඉනිම 345 දක්වා ඉහළට ඔසවති | දිනමිණ


 

වාර්තා පොත අලුත් කළ අවිශ්ක සහ කුසල් ශ්‍රී ලංකා ඉනිම 345 දක්වා ඉහළට ඔසවති

සූරියවැවට ලකුණු වැස්සක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තුන්වැනි කඩුල්ලට ගොඩනැගුණු ඉහළම සම්බන්ධතා වාර්තාවත්, සූරියවැව ක්‍රිකට් පිටියේ එක්දින තරගයක ඕනෑම කඩුල්ලකට ගොඩනැගුණු හොඳම සම්බන්ධතා වාර්තාවත් දෙකම අයිතිකරගනිමින් අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් පෙන්නුම් කළ විශිෂ්ට පිතිහරඹය නිසා ඊයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දිවා රාත්‍රී දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 8 දැවී ලකුණු 345ක් රැස් කිරීමට සමත් විය. එය මෙම ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය. ඊට පෙර ශ්‍රී ලංකා පිල විසින්ම 2015 ජූලි මාසයේදි පාකිස්තානයට එරෙහිව කඩුලු 4කට ලකුණු 368ක් රැස් කරමින් එම වාර්තාව තැබුවේය.

මුළු ලකුණු සංඛ්‍යාව 9 වනවිට ප්‍රබල පිතිකරුවන් දෙදෙනකුම ආපසු ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සිදුවී තිබුණු මොහොතේ ආරම්භක පිතිකරු අවිශ්ක සමග එක්වූ කුසල් මෙන්ඩිස් සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වෙමින් සිය එක්දින තරග දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට ඊයේ සමත් විය. ලකුණු 2ක් ලබා සිටියදී ජේසන් හෝල්ඩර්ගේ පන්දුවකට ස්ලිප් හී සිටි නායක කීරොන් පොලාර්ඩ් උඩපන්දුව අතහැරීම නිසා කඩුල්ල රැක ගැනීමට වාසනාවන්ත වූ මේ 25 හැවිරිදි පිතිකරුවා ඊයේ එක්දින ශතකයක් රැස් කළේ තරග 50කට පසුවය. ඊට පෙර ඔහුගේ මංගල එක්දින ශතකය වාර්තා වූයේ 2017 වසරේ මාර්තුවේදී බංග්ලාදේශයට එරෙහිව දඹුල්ලේ පැවැති තරගයේදීය.

ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි ඕවරයේදී සිය එක්දින තරග දිවියේ ලකුණු 2000ද සම්පූර්ණ කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා එක්දින තරග බිමේ වසර 20ක් පැරැණි තුන්වැනි කඩුල්ලේ ඉහළම සම්බන්ධතා වාර්තාව අවිශ්ක සමග එක්ව බිඳ දැමුවේය. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2000දී සාජා නුවර පැවැති එක්දින තරගයේ තුන්වැනි කඩුල්ලට ලකුණු 226ක සම්බන්ධතාවක් ගොඩ නැගූ මහේල ජයවර්ධන සහ මාවන් අතපත්තුය. අවිශ්කගේ සහ කුසල්ගේ සම්බන්ධතාවට තවත් ලකුණු 4ක් එක් වෙද්දී මේ ක්‍රීඩාංගණයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන ඉහළම සම්බන්ධතාවේ වාර්තාවත් බිඳ වැටිණි. ඊට පෙර 2017 ජූලි මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එක්ව පළමු කඩුල්ලට ලකුණු 229ක් රැස් කරමින් එම වාර්තාවට හිමිකම් කීහ.

පන්දු 107කින් හතරේ පහර 9ක් සමග කුසල් මෙන්ඩිස් සිය එක්දින ශතකය වාර්තා කිරීමෙන් මොහොතකට පසුව 21 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු ද තම දෙවැනි එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය. පන්දු 109කදී වාර්තා වූ අවිශ්කගේ ශතකයට හතරේ පහර 6ක් ඇතුළත් විය. දෙදෙනාම වාර්තා කළේ ඔවුනොවුන්ගේ එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාවය.

මුළු ලකුණු සංඛ්‍යාව 248ක්ව තිබියදී 41 වැනි ඕවරයේදී කුසල් මෙන්ඩිස් දැවී යනවිට පන්දු 119කදී හතරේ පහර 12ක් සමග ලකුණු 119ක් රැස් කර තිබුණු අතර මුළු ලකුණු සංඛ්‍යාව 271දී අවිශ්ක ප්‍රනාන්දු දැවී යනවිට පන්දු 123කදී හතරේ පහර 10ක් සමග ලකුණු 127ක් ලබා සිටියේය. මේ කඩුලු දෙකම දවාගනු ලැබුවේ අල්සාරී ජෝශප් විසිනි.

ශ්‍රී ලංකා ඉනිමේ 40 වැනි ඕවරය නිමාවෙද්දී කඩුලු 2කට ලකුණු 246ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල ඉතිරි ඕවර 10දී තවත් ලකුණු 99ක් උදුරා ගත්තේය. කුසල් මෙන්ඩිස්ගේ දැවීයාමෙන් පසුව පිටියට පැමිණි ඇන්ජෙලෝ මැතිව්ස් ඊයේ ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා භූමියේ ඔහුගේ සියවැනි එක්දින තරගයටය. අවිශ්ක සහ මැතිව්ස් දෙදෙනාම දැවී ගියේ ජෝශප් විසින් එවනු ලැබූ 43 වැනි ඕවරයේදීය. අනතුරුව තිසර පෙරේරාත්, ධනංජය ද සිල්වාත් පිටියෙන් ඉවත් කළ කෝට්රල් කඩුලු 4 සම්පූර්ණ කර ගත්තේය. අවිශ්කගේ සහ කුසල්ගේ පිතිහරඹය හේතුවෙන් දැඩි පීඩනයට ඇද වැටී සිටි කොදෙව් පිලේ ක්‍රීඩකයන් අතින් අවසන් ඕවර කිහිපය තුළ උඩපන්දු ගණනාවක්ම ගිලිහී ගියේය.

කාසියේ වාසිය දිනූ කොදෙව් පිලේ ඇරියුමෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙකම පිට පිට දවාගනිමින් ශෙල්ඩන් කෝට්රල් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වීම නිසා තුන්වැනි ඕවරය වනවිට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 9ක්ව තිබිණි. කෝට්රල් යැවූ තුන්වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් ස්ලිප් ක්‍රීඩක ෆේබියන් ඇලන්ට උඩපන්දුවක් ලබා දී නායක දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත්වූ අතර තම 100 වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ආ විගසම එවැනිම පන්දුවකින් දැවී ගියේ කඩුලු රකින ෂායි හෝප් වෙත උඩපන්දුවක් ලබා දෙමිනි. ඊයේ දිනයේ ශ්‍රී ලංකා පිලේ කිසිදු වෙනස්කමක් සිදුනොවුණු අතර කොදෙව් පිලට හේඩ්න් වෝල්ෂ් වෙනුවට ෆේබියන් ඇලන් ඇතුළත් විය.

ෆවුස් මොහොමඩ්

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට...

නව අදහස දක්වන්න