පුත්තලම ශාන්ත ඇන්ඩෘ ක්‍රීඩා උළෙල | දිනමිණ


 

පුත්තලම ශාන්ත ඇන්ඩෘ ක්‍රීඩා උළෙල

පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉකුත් දින පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාල භූමියේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුත්තලම නගරය කේන්ද්‍රකර ගනිමින් සුවිසල් පවුරකට මැදිව ඉදිවී ඇති මේ විදුහල් මාතාව 1885.01.05 වන දින ආරම්භ කර ඇති අතර එදා මෙදා තුර පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනයට සේම ක්‍රීඩා කෞෂල්‍යය ඔප්නැංවීමට අපමණ වෙහෙසක් දරයි.

මෙම පාසලේ දරු දැරියන් ක්‍රීඩාවට උපන් හපන්නු යැයි කිවහොත් එය නිවැරදිය. ක්‍රීඩා පිටියේ ජය කෙහෙළි නංවමින් සම්මාන සහතික ගොනු පොදි බැදීමට එකෙකුට එකෙකු නොදෙවෙනිව දක්ෂකම් පෑම පුදුමය දනවන්නකි.

මයුර, පරෙවි, තිසර යන නම් වලින් යුතු ක්‍රීඩා නිවාස දරුවන්ගේ අපූර්වතම කලා නිර්මාණයක් බවට පත්ව තිබුණි. නිවාස තේරීමේ තරගයෙන් පරවි නිවාසය ප්‍රථම ස්ථානයත්, මයුර නිවාසය දෙවන ස්ථානයත්, තිසර නිවාසය තෙවන ස්ථානයත් හිමිකර ගැනීමට සමත්ව තිබුණි.

මෙහි විශේෂතම අවස්ථාව වූ ක්‍රීඩා පිටිය අලංකෘත කළ සරඹ සංදර්ශනය කැපී පෙනෙන අවස්ථාවක් ලෙස නරඹන්නන්ගේ නෙත් සිත් මොහොතකට ඇද බැද ගන්නා ලදී.

මෙම අවස්ථාව සදහා විදුහලේ විදුහල්පති එම්.කේ.ඊස්පරන් මහතාගේ සහභාගිත්වයෙන් පුත්තලම කලාප අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂක එච්.එම්.අර්ජුන මහතා ඇතුළු විෂය අධ්‍යක්ෂකවරු සහ ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යයින්, මවුපියන් සහ පාසලේ සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය වී තිබුණි.

ක්‍රීඩා ආචාර්යවරුන් වන ලක්මාල් පලිහක්කාර, ඉන්දික පැතුම්, තරුෂ නිර්මාල් කුමාර යන මහත්වරුන්ගේ පුහුණුව දැනුම මත ක්‍රීඩා උළෙල සිදු කෙරුණි.

 කේ. ප්‍රියංකර කළුපහන

වනාතවිල්ලුව සමූහ

නව අදහස දක්වන්න