රසායනික ත්‍රස්තවාදය | දිනමිණ


 

රසායනික ත්‍රස්තවාදය

මානව ක්‍රියාකාරිත්වය නිසා කෘමි විශේෂ අභාවයට ගිය හොත් සමස්ත පරිසරය බිඳ වැටෙයි. එමෙන් ම වසර කීපයකින් මානවයා ද අතුරුදහන් වේ. නව වාණිජ කෘෂිකර්මය අන් සියලු ජීවීන් සහ ශාක විශේෂ අමතක කර වැඩි අස්වැන්න සඳහා විෂ රසායන සහ සින්තටික් පොහොර මත විශ්වාසය රැඳවීය. වල්පැළෑටි සහ පළිබෝධකයන් යැයි නම්කර ශාක සහ සත්ත්ව විශේෂ මිහිතලයෙන් සදහට ම වඳකර දැමිණ.

කෘමිනාශක සහ ෆොසීල ඉන්ධන සත්ත්ව ජීව විශේෂ වඳවීයාමට මෙන්ම ගෝලීය උණුසුම ඉහළයාමට හේතු වී ඇතැයි විද්‍යාත්මක පර්යේෂණ තහවුරු කර ඇත. එය සයවැනි මහා විනාශය යි. දිගු කලක් පරිසරයට හිතැති පිරිස් ගෙන ගිය උද්ඝෝෂණ සහ අරගලවල ප්‍රතිඵලයක් ලෙස දැන් මෙම ව්‍යසනයේ සැබෑ තොරතුරු ගෝලීය මානව සමාජයේ ඉදිරියේ විවෘත ව ඇත. ඒ සඳහා සියලු මානවයන්ගේ අවධානය යොමුවීමට දැන් කාලයයි. කෘමීන් 75 - 98% ක්, ක්ෂීරපායි සත්ත්ව විශේෂ 83% ක්, වනාන්තර 80% ක්, සාගර ජීව විශේෂ 80% ක්, සමූද්‍ර පක්ෂි විශේෂ 70% ක්, වනජීවී විශේෂ 67% ක්, ශාක විශේෂ 50% ක්, බිම් පණු විශේෂ 83% ක්, මීමැස්සා, සමනලයා ඇතුළු පරාගසංයෝජකයන් 40% ක් මිහිතලයෙන් අතුරුදහන් වෙමින් හෝ වඳවී ගොස් ඇත. මානවයන් 55% ක් මන්දපෝෂණයෙන් පීඩාවිඳිති. පෘථීවිය මත සීතල ප්‍රදේශ ගෝලීය උණුසුම නිසා දියවී යමින් පවතී. 2035 වන විට සාගර ජල මට්ටම ඉහළ ගොස් බොහෝ දූපත් මෙන්ම වෙරළබඩ කලාප සාගර ජලයෙන් යට වේ. බටහිර ඇන්ටාක්ටිකාව ග්ලැසියරවලින් තොර කලාපයක් ලෙස පරිවර්තනය වේ. ආක්ටික් ප්‍රදේශ අයිස් සහ ග්ලැසියර තවදුරටත් ස්ථාවර නොවේ.

හිමාල අඩවියේ එවරස්ට් කඳු මුදුනේ අයිස් සහ ග්ලැසියර දියවී යාම ශීග්‍රයෙන් සිදු වේ. දේශගුණික වෙනස මානව සමාජය දැඩි කම්පනයට මෙන්ම අසීමාන්තික අවදානමට ලක් කරයි. මෙම ව්‍යසනය වළක්වා ගත හැකි ද? කෑදර මානව ක්‍රියාකාරිත්වය නිසා නිර්මාණය වූ පෘථීවියේ මහා පාරිසරික බිඳවැටීම නවතාගැනීමට මානව දේශපාලනය, ආගම්, ආර්ථීක සහ සංවර්ධන උපායමාර්ග සමත් වේ ද? ආර්ථීක සංවර්ධනය මත පමණක් අනාගතය රඳා නොපවතී. පටු දේශපාලන පරමාර්ථ සහ ලාභය වර්තමාන ව්‍යසනයේ පදනමයි.

කෘමි විශේෂ අභාවයට

පරාගසංයෝජක කෘමි විශේෂ මිලියන සංඛ්‍යාත ප්‍රමාණයක් මිහිතලයෙන් අතුරුදහන්වීමට හේතුව මානව ක්‍රියාකාරිත්වයයි. 1970 සිට ගණනය කළ හොත් කෘමි විශේෂ අඩක් පෘථීවියට අහිමි විය. තවමත් එම ව්‍යසනය අඛණ්ඩ ව සිදු වේ. මිලියනයට අධික ජීව විශේෂ නුදුරු අනාගතයේ අප අතහැර යනු නියතය. අවිධිමත් ව විනාශකාරී කෘෂි රසායන භාවිතය එක් හේතුවකි. අනෙක් කරුණ දේශගුණික වෙනස හෙවත් අසීමාන්තික ව ගෝලීය උණුසුම ඉහළ යාමයි. මෙම හේතු දෙක ම මානව කේන්ද්‍රීය සංවර්ධනයේ ආනිශංසයකි.

ස්වභාවික ව කුඩා පක්ෂීන් ගේ සහ ඇතැම් සත්ත්ව විශේෂවල ආහාර දාමය කෘමීන් මත යැපිණ. මී මැස්සා සහ සමනලයා වැනි ජීව විශේෂ පෘථීවිය මත ඇති ශාක පරාගසංයෝජනයට මහත් සේවාවක් සම්පාදනය කළේය. එහෙත් කෑදර මානව ක්‍රියාකාරිත්වය ඔවුන් නැවත නො පැමිණෙන මාවතට යොමු කර අවසන්ය. කෘමි විශේෂයන්ගේ උපත වසර මිලියන 400 ක් පමණ අතීතයට විහි දී යයි. ඇතැම්විට පෘථීවිය මත බිහි වූ පළමු පියාසරිකයන් ඔවුන් විය හැකිය. සොබාදහමේ පැවැත්මට මෙන් ම සුන්දරත්වයට ඔවුන්ගෙන් සිදු වන මෙහෙවර අතිමහත්ය. සත්ත්ව සහ ශාක පරිණාමයේ දී විශාල කාර්යභාරයක් කෘමීන්ගෙන් සිදු වේ. සැබවින් ම ඔවුන් සකළ ජීවයේ කේන්ද්‍රයයි. එහෙත් අද ඔවුන් ගේ පැවැත්ම අනතුරට ලක් ව ඇත. මානව ක්‍රියාකාරිත්වය නිසා කෘමි විශේෂ අභාවයට ගිය හොත් සමස්ත පරිසරය බිඳ වැටෙයි. එමෙන් ම වසර කීපයකින් මානවයා ද අතුරුදහන් වේ. නව වාණිජ කෘෂිකර්මය අන් සියලු ජීවීන් සහ ශාක විශේෂ අමතක කර වැඩි අස්වැන්න සඳහා විෂ රසායන සහ සින්තටික් පොහොර මත විශ්වාසය රැඳවීය. වල්පැළෑටි සහ පළිබෝධකයන් යැයි නම්කර ශාක සහ සත්ත්ව විශේෂ මිහිතලයෙන් සදහට ම වඳකර දැමිණ.

කෘෂි රසායන පාරිසරික අනතුරක් යැයි විවිධ පර්යේෂකයෝ 1945 සිට ප්‍රකාශ කළහ. එහෙත් එය එකල නොසලකාහරින ලද විෂයකි. නැවත 1960 වසරේ කෘෂි රසායන මානව සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකර වග විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. මේ අතර වියට්නාම යුද්ධයට සහභාගි වූ අමෙරිකානු සොල්දාදුවන් හඳුනා නොගත් විවිධ අබාධවලට ගොදුරුවීම නිසා එක්සත් ජනපද සෞඛ්‍ය පර්යේෂණ ආයතනය විශාල අර්බුදයකට මුහුණ දුන්නේය.

රසායනික ත්‍රස්තවාදය

ප්‍රධාන රෝග කාරකය ලෙස පුරුෂ වඳභාවය, ජානමය අතුරු ආබාධ සහ විකෘති දක්නට ලැබිණ. තවද පිළිකාකාරක වෛරසයක් ලෙස වියට්නාම කැරලිකරුවන් විනාශ කිරීමට භාවිත කළ Agent Orenge තුළ PCBS රසායනය අන්තර්ගත ව ඇති වග පර්යේෂකයෝ හඳුනාගත්හ. 1963 වසරේ රචනා කළ ‘’silent spring’’ ග්‍රන්ථය මගින් රචල් කාෂන් DDT නිසා අතිවන අතුරු ආබාධ ගණනාවක් ක්ෂේත්‍ර අධ්‍යයනයක් ලෙස ලොවට හඳුන්වාදීමට පියවරගත්තාය. එමෙන් ම කෘත්‍රිම නයිට්‍රජන් (යූරියා) පොහොර වගාබිමට යෙදීමෙන් මානව සහ සත්ත්ව සිරුරට ඒවා ප්‍රවේශ වී විවිධ රෝගාබාධ ඇතිවන වග වෛද්‍ය පර්යේෂණ තහවුරු කළේය. නව කෘෂිරසයානය විසින් සංවර්ධනය කළ organochlorine බෝග වගාවට ඇදෙන ස්වභාවික කෘමීන් මෙන් ම විලෝපිතයන් ද වනසා දැමීය.

වාණිජ කෘෂි ව්‍යාපාරය ලාභදායී තනි බෝග වගාව ආරක්ෂා කරගැනීමට පළිබෝධ නාශක යැයි ඉතා සංවේ දී මාරාන්තික විෂ රසායන නිපදවීය. එමෙන් ම ගොවිපළ භාවිත කළ විෂ රසායන පොදු සෞඛ්‍ය සේවාව සඳහා යොදාගැනීමට වෛද්‍ය විද්‍යාව පෙරමුණ ගත්තේය. DDT සහ BHC රසායන මදුරු මර්දනය සඳහා යොදා ගැනීම ලොව පුරා විශාල ලෙස ඉහළ ගියේය. වෛද්‍ය විද්‍යාව මෙම රසායන ප්‍රතිජීවනාශක antibiotic යැයි නම් කළේය. කෘෂි බිම්වලට මහා පරිමාණයෙන් විෂ රසායන යෙදීමෙන් පරිසර සමතුළිතතාව සහ ස්වභාවික ජීව චක්‍ර ක්‍රියාවලිය බිඳවැටිණ. විෂ රසායන විසුරුවාහැරීමෙන් මකුළුවා, සමනලයා, ගෙඹි විශේෂ, උරගයා, පක්ෂීන්, ජලජ ශාක විනාශ කර දැමීය. උසස් ඵලදාවක් ලබාදීමට සහාය වන පරාගසංයෝජකයා මෙන්ම විෂ රසායන ජල මාර්ගවලට ප්‍රවේශ වී මත්ස්‍ය සම්පත මිහිතලයෙන් අහෝසි කර දැමීය.

1996 වසරේ තියෝ කොල්බොන්, ඩයනි ඩුම්නොස්කි සහ ජෝන් පැටර්සන් එක් ව රචනා කළ ‘’our stolen future’’ නමැති ග්‍රන්ථයේ සමාගම් නිපද වූ විෂ රසායන මගින් වනජීවීන්ගේ ප්‍රජනන ශක්තිය හීනවීම සහ ලිංගික දුර්වලතා දක්නට ලැබෙන බව සඳහන් කළහ. පිරිමි උකුස්සා ස්ත්‍රී වර්ගයා වෙත ආකර්ෂණය නොවීම සහ ලිංගික ප්‍රජනනය සිදු නොවීම, දියබල්ලා අතුරුදහන්වීම, පංච මහා විල් අවට ගැවසුණ අර්ධ ජලජීවියකු වූ මින්ක් පැටවුන් බෝනොකිරීම, කිඹුල් විශේෂවල ලිංගය පටුවී හැකිළීයාම, ඩෙන්මාර්කයේ සීල් මත්ස්‍යයා වසංගත රෝගාබාධවලට ගොදුරුවීම වැනි ක්ෂේත්‍ර අධ්‍යයන රැසක් එම ග්‍රන්ථයේ දක්නට ලැබිණ.

සත්ත්ව ජීව විනාශය

බොහෝ විෂ රසායනවලට වායුගෝලය සහ ජලය මගින් සැතපුම් දසස් ගණනක් දුර ගමන් කිරීමේ දී ද සත්ත්ව ජීව පටක තුළ තැන්පත් වීමේ හැකියාව ඇත. ලොස් ඇන්ජලිස් නගරයේ සැතපුම් 3100 ක්, ටෝකියෝ නගරයේ සිට සැතපුම් 2400 ක් දුරින් පිහිටි මිඩ්වේ දුපත්වල කළු පාද සහිත මුහුදු ලිහිණියාගේ සිරුරේ පටක තුළ PCBS අධිකව තැන්පත් වී ඇතැයි වාර්තාවේ. PCBS සහ ඩයොක්ෂින් නිසා පක්ෂි බිත්තරකටු තුනීවීම දක්නට ලැබේ.

මොන්සෙන්ටෝ සමාගමෙන් පාසල් ක්‍රීඩාපිටියක භාරකරුට ඩොලර් මිලියන 289 ක වන්දියක් ලබා දෙමින් සෙන්ෆ‍්‍රැන්සිස්කෝ අධිකරණය ගල්යිපොසේට් glyphosate ජීවනාශකයක් යැයි තීරණය කළේය. රවුන්ඩ්අප් වල් නාශකය සිය පිළිකා අබාධයට හේතු වූයේ යැයි හෙතෙම මොන්සන්ටෝ Monsanto සමාගමට එරෙහිව නඩු පැවරීය. සන් ෆ‍්‍රැන්සිස්කෝ අධිකරණ ජූරිය වල් නාශකය පිළිකා කාරකයක් යැයි නිගමනය කළේය. මොන්සන්ටෝ සමාගම 2018 වසරේ ජර්මනියේ බේයර් සමාගම මිල දී ගත්තේය. සැබවින් ම එය වෙළෙඳ පොළ කූඨ උපායමාර්ගයකි. මොන්සන්ටෝ සමාගම සිය රවුන්ඩප් (Roundup) වල් නාශකය ප්‍රතිජීවනාශකයක් යැයි නම් කොට තිබිණ. ප්‍රතිජීවනාශක ජීවයේ පැවැත්මට අනතුරුදායක යැයි අපි දනිමු. ආරක්ෂාකාරී ව භාවිත කරන්න යැයි එහි සඳහන් වුව ද දිගු කාලීන පරිහරණයෙන් මානවයාට මෙන්ම සොබාදහමේ අනෙක් ශාක හා සත්ත්ව ජීවීන්ගේ පැවැත්මට තර්ජනයකි. විශේෂයෙන් මී මැස්සාගේ හා බඹරාගේ ජීර්ණ පද්ධතියට බලපෑම් ඇති කර මරණයට පමුණුවයි.

ග්ලයිපොසේට් ඇමයිනෝ අම්ලය දවන එන්සයිමවලට බාධා ඇති කර ශාක වැඩීම නවතා දමයි. ක්‍රීඩා පිටි භාරකරු ජොන්සන්ගේ ග්ලයිසොසේට් එරෙහි පැමිණිල්ල ප්‍රථම අධිකරණ විභාගය යි. මොන්සන්ටෝ සමාගමේ රවුන්ඩප් වල් නාශකයට එරෙහි පැමිණිලි 8000 ක් පමණ අමෙරිකාව පුරා අධිකරණයට ඉදිරිපත් ව ඇත. 2015 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය ග්ලයිපොසේට් පිළිකා කාරයක් විය හැකි යැයි අනතුරු අඟවා තිබේ.

ජර්මනිය ්‍රීඩා භාවිතය තහනම් කළේය. ගෙවතු, උද්‍යාන, ක්‍රීඩා පිටි හා ගොවිතැන සඳහා පරිහරණය එ මඟින් අවසන් වේ. එමෙන් ම ජර්මානු පාලක පක්ෂය ග්ලයිපොසේට් අන්තර්ගත සියලු නිෂ්පාදනවලට තහංචි පැනවීය. පහත සඳහන් සියලු රාජ්‍ය මොන්සන්ටෝ සමාගමේ වල් නාශකය වූ ග්ලයිපෝස්ට් අඩංගු රවුන්ඩ් අප් තහනම් කර ඇත. බෙල්ජියම 2017, බර්මියුඩා රජය ග්ලයිපොසේට් අඩංගු වල් නාශක විකිණීම සම්පූර්ණයෙන් අත්හිටුවා ඇත. කොළොම්බියාව 2105 දී ග්ලයිපොසේට් තහනම් කළේය. නෙදර්ලන්තය වාණිජ නොවන කාර්යයන් සඳහා ග්ලයිපොසේට් භාවිතය තහනම් කළේය.

වෙළෙඳ පොළ මායාව

ලංකාව 2015 දී ග්ලයිපොසේට් තහනම් කළ ද තවමත් ඇතැම් පාර්ශ්ව ඒ වෙනුවෙන් පෙනී සිටිති. එල් සැල්වඩොර් ග්ලයිපොසේට් භාවිතය නීතියෙන් තහනම් කළේය. සවුදි අරාබිය, ක්වෙට්, බහරේන්, ඕමාන්, එක්සත් අරාබි රාජ්‍යය ග්ලයිපොසේට් තහනම් කර ඇත. ප්‍රංශය 2017 ග්ලයිපොසේට් තහනම් කළේය. විද්‍යාඥයන් 17 දෙනකුගෙන් යුත් කමිටුවක් ග්ලයිපොසේට් මානව පිළිකා කාරකයක් යැයි තීරණය කළ ද තවමත් එක්සත් ජනපදය ඒ පිළිබඳ නිෂ්චිත තිරණයකට එළඹී නැත. 2017 කැලිෆෝනියා ප්‍රාන්තය අනතුරුදායක විෂ රසායනයක් යැයි ග්ලයිපොසේට් නම් කළේය. අමෙරිකාවේ ප්‍රාන්ත රාජ්‍ය 17 ක් මේ වනවිට විෂ රසායනවලට එරෙහි ව ක්‍රියාකරමින් සිටියි.

රවුන්ඩප් වල්නාශකය නිසා පිළිකා වැළදුණේ යැයි පවසමින් අමෙරිකාව පුරා පුද්ගලයන් 40000 ක් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇත. අධිකරණය නිවැරදි ව තීරණය කළ හොත් පෙත්සම්කරුවන් සඳහා ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල ඩොලර් බිලියන 2 - 12 දක්වා ඉහළ යනු ඇත. අද ලොව විෂ රසයන අලෙවිය සහ ජාන වෙනස් කළ බීජ වෙළෙඳ පොළ සමාගම් හයකට අයත් වේ. සමස්ත වෙළෙඳ පොළින් 70% ක් සහ කෘෂි රසායන ක්ෂේත්‍රයේ අනෙකුත් නිපැයුම් එක ම වහලක් යටට ගෙන එමින් ගෝලීය ආහාර වෙළෙඳ පොළ ආක්‍රමණය කිරීමට සමාගම් යාන්ත්‍රණය සමත් ව තිබේ. ලෝකය පෝෂණය නො කර ලාභය ඉපැයීම ඔවුන්ගේ ක්‍රමවේදය යි. විෂ රසායනය සමාගම් ආහාර වෙළෙඳ පොළ මත ලෝක සිතියම පුරා විශාල බල අධිකාරියක් පවතුරවයි. ලොකයේ සාගින්න සහ දුප්පත්කම පිටුදැකීමට ඔවුන් කිසි දිනක ඉදිරිපත් නොවේ. එය දේශපාලන වංචාවක් සහ වෙළෙඳ පොළ මායාවකි.

 

නව අදහස දක්වන්න