මතට තිත සක්‍රීය වෙයි! | දිනමිණ


 

මතට තිත සක්‍රීය වෙයි!

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල සම්මේලනය අමතා කළ කතාව රටේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇත. මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී අවධාරණය කළේ ආගමික නායකයන්, රජය හා ආරක්ෂක අංශ පමණක් නොව; සියලු රටවැසියන්ම මත් උවදුර වැළැක්වීම සඳහා ක්‍රියා කළ යුතු බව ය. එසේ නොවුණහොත් අපේ අනාගත පරපුර බලවත් විනාශයකට ගොදුරු වන බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේ ය. මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වන්නේ විනයගරුක සමාජයක් බිහි කිරීම සඳහා අවශ්‍ය පළමු කොන්දේසිය මතට තිත තැබීම යන්න ය. ශ්‍රී ලංකාව ආසියාවේ කුඩු මධ්‍යස්ථානයක් බවට පත්වූයේ ඇතැම් නායකයන් ඒ සම්බන්ධයෙන් ගෙන ගිය ලිහිල් ප්‍රතිපත්ති නිසා ය.

1977 දී අමද්‍යප මහ සභාව නිකුත් කළ වාර්තාවක ආරම්භය සටහන් වී ඇත්තේ මෙසේ ය. “ ශ්‍රී ලංකාව බෞද්ධ රටකි. සිංහල ජාතිය හැදුණේ බුද්ධ ධර්මය පදනම් කරගෙන ය. ශ්‍රී ලංකාව ලෝකවාසීන්ගේ ගෞරවයට භාජනය වන්නේ මෙහි නිර්මල බුද්ධ ශාසනය පවතින නිසා ය. බොදු පිළිවෙත් නිසා පැරැණි සිංහලයෝ ගුණවත් අය වූහ. ඔව්හු මත්පැන් පානය පිළිකුල් කළහ.” මේ පාඨය නැවත - නැවතත් සිහිපත් කිරීම වටී. යහ පාලනයේ සිටි ඇතැම් ඇමැතිවරු ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව කීහ. බියර් පානය නරක දෙයක් නොවේ යැයි තවත් අය කීහ. යහ පාලනයේ සමහරු තම හෙංචයියන්ට නොපැකිලව බාර් ලයිසන් ද ලබා දුන්හ. ඉන් නොනැවතී මහින්ද මහතා දිනපතා පන්සල්වලට යන්නේ යැයි විවේචනයක් ද ඉදිරිපත් කළහ.

නායකයන් යහපත් ප්‍රතිපත්ති මත සිය ජීවිතය ගෙනයන විට ඔහුගේ අනුගාමිකයන්ට ද එම ප්‍රතිපත්ති අනුව ජීවත්වීමට සිදු වේ. ඒ අනුව තරුණ පරපුර ද එම ආදර්ශය ලබාගැනීමට පෙලඹෙති. රාජ්‍ය නායකයා මැදිහත් වී මතට - තිත වැඩසටහනක් පළමුව ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතා ය. එම වැඩසටහන ආරම්භ වී වසරක් ගත වන විට එහි ප්‍රතිඵල දැකගන්නට ලැබිණි. මතට තිත ආරම්භ වී වසරක් ගෙවී ගිය තැන එළැඹි අවුරුදු උත්සව සමයේදී කලහකාරී හැසිරීම් අඩු වූ බවද, ගැටුම් අඩු වූ බවද, රිය අනතුරු අඩු වු බව ද ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. ආණ්ඩු පෙරැළියත් සමඟ මතට තිත වැඩසටහන අක්‍රීය වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් වැඩසටහනක් ආරම්භ කළේය. එයද සාර්ථකව ක්‍රියාත්මක විය.

ගිය සතියේ ජනමාධ්‍ය වාර්තා කළ එක්තරා සිද්ධියක් මෙසේ ය. අපේ සමාජයේ මැදිවියේ මනුෂ්‍යයකුට ලොතරැයියක පළමු දිනුම ඇදුණේ ය. මුදලෙහි වටිනාකම රුපියල් කෝටි දෙකහමාරකි. ඔහු ඉතා ඉක්මණින් කුඩුකාරයන්ගේ ගොදුරක් බවට පත් විය. එම තැනැත්තා වැඩි කාලයක් යෑමට පෙර කුඩු බෙදාහරින නියෝජිතයකු බවට ද පත්විය. අද ඔහු පසු වන්නේ රිමාන්ඩ් භාරයේ ය. මීට වසර කිහිපයකට පෙර එබඳු ම පුද්ගලයකුට රුපියල් කෝටි පහකටත් වැඩි වටිනාකමකින් යුතු ලොතරැයියක් ඇදුණේය. ඔහුද වැඩිකල් නොයාම කුඩුකාරයන්ගේ ගොදුරක් බවට පත්විය. ඔහු තමා සතු සියල්ල වැය කොට කණ්ඩායමක් සමඟ කුඩු පානය කළහ. එම පුද්ගලයාද අද සිරගත ව සිටී. ශ්‍රී ලංකාවේ මත් උවදුරෙහි එක් පැතිකඩක් එම සිද්ධි දෙකෙන් පැහැදිලි‍ වෙයි.

රටේ කුඩු වසංගතයේ වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ පාසල් දරුවන් මතට ගොදුරු වීම ය. මෙලෙස මතට ගොදුරුවන බොහෝ දරුවෝ ඉගෙනීමට දක්ෂ - දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන අය වෙති. පළමුව පාසලෙන් කට්ටි පැන කුඩු උරන දරුවෝ පසුව විවිධ අපරාධ ක්‍රියාවලටද සම්බන්ධ‍ වෙති. මතට ඇබ්බැහි වූ දරුවකු සිටින පවුල මුළුමනින්ම බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙයි. එක අතෙකින් පවුලේ ආර්ථිකය බිඳ වැටෙයි. තව අතෙකින් අනාගත සැලැසුම් විනාශ වෙයි. ඊටත් වඩා භයානක තත්ත්වය වන්නේ සමාජයෙන් එම පවුල වෙත මුදාහැරෙන විරෝධය යි. මතට ගොදුරු වූ දරුවකුගේ මාපියන් මුහුණ දෙන ඛේදවාචකය හෙළිදරව් වන්නේ නැත. ජනමාධ්‍ය ඒ කෙරෙහි උනන්දුවක් දක්වන බවක් ද පෙනෙන්නට නැත. සමාජයේ සැලැකිය යුතු කොටසක් මේ ඛේදවාචකයට මුහුණ දෙති.

කුඩු ජාවාරම හා එම ජාවාරමෙහි යෙදෙන පුද්ගලයන් කෙතරම් බලවත් ද යත්; රටක ආණ්ඩු වෙනස් කිරීමට පවා ඔව්හු ක්‍රියා කරති. ඇතැම් කුඩු වෙළෙන්ඳෝ හිර ගෙදර සිට සිය ජාවාරම කරගෙන යති. ඉන් නොනැවතී තමන්ට එරෙහි වන පුද්ගලයන් ඝාතනය කරති. කඩවත පොලීසියේ සේවය කළ පොලිස් රියැදුරකු ඝාතනය කිරීම පිළිබඳ සිද්ධිය දැන් මුළු රට ම දනිති. ඒ පිටුපස ඇත්තේ ද කුඩු වෙළෙඳාම ය. මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා රාජ්‍ය අනුග්‍රහය මුළුමනින්ම පැවැතිය යුතුය. නීති - රීති ඉතා තදින් ක්‍රියාත්මක විය යුතුය. ඒ හැරෙන්නට පොදු සමාජය ද ඊට සහයෝගය දැක්විය යුතුය. මහින්ද මහතා කියා සිටින්නේ මත් උවදුර පිටුදැකීම සඳහා සියලු දෙනාම ඒකරාශී විය යුතු බවය. එය යථාර්ථයකි. සියලු දෙනාගේ ම සහයෝගය නැතිව කුඩු ජාවාරම මුලිනුපුටා දැමිය නොහැකිය.

මත්කුඩු ජාවාරමට එරෙහි ව ක්‍රියා කිරීමේ දී අන්තර්ජාතික වශයෙන් එන අභියෝගවලට පවා මුහුණ දෙන්නට සිදුවෙයි. පිලිපීනය කුඩු වෙළෙඳුන්ට මරණ දඬුවම ලබාදෙමින් කුඩු ව්‍යාප්තිය නැවැත්වීමට ක්‍රියා කළේ ය. එහි රාජකාරි කළ පොලිස් ප්‍රධානියෙක් එහි පෙරමුණ ගත්තේ ය. ඔහුට අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරක තහනමක් පැනවිණි. ඊට හේතුව ලෙස දක්වා තිබුණේ පොලිස් ප්‍රධානියා මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව ය. කුඩු ජාවාරමට එරෙහි වී ක්‍රියා කරන අයට මානව හිමිකම් චෝදනා පවා එල්ල විය හැකි බව පිලිපීන සිද්ධිය සනාථ කරයි. මහින්ද රාජපක්ෂ මහතා යළිත් මතට තිත වැඩසටහන සක්‍රීය කර ඇත්තේ ඒ සියල්ල හොඳින් වටහාගෙන සියලු අභියෝගවලට මුහුණ දීමේ අධිෂ්ඨානය ද ඇතිව ය. එබැවින් එය ජයග්‍රහණයෙන් කෙළවර වන සටනක් ලෙස හැඳින්විය හැකි ය.

 

නව අදහස දක්වන්න