සූරියවැව ක්‍රිකට් ලෝලීන්ට පහරදීම ගැන ඇමැති සමාව ඉල්ලයි | දිනමිණ


 

සූරියවැව ක්‍රිකට් ලෝලීන්ට පහරදීම ගැන ඇමැති සමාව ඉල්ලයි

ප්‍රින්ස් ගුණසේකර
ග්‍රෙගරි ගැමුණු ද සිල්වා මහතා අතින් ක්‍රීඩා ඇමැතිවරයාට සමාලෝචන වාර්තාව පිළිගැන්වූ අයුරු.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රවේශ දොරටුව අභියසදී ශ්‍රී ලංකා-කොදෙව් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට පහරදීමකින් සිදුවූ අපහසුතාව පිළිබඳ තමන් සමාව ගන්නා බව ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ප්‍රවේශපත් මිලදී ගෙන ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිගැන්වීම අරමුණ කරගනිමින් පැමිණි පිරිසට සිදුවූ බලවත් අපහසුතාව සිදු නොවිය යුත්තක් බව තමා දැඩි ලෙස විශ්වාස කරන බව අලහප්පෙරුම මහතා පැවැසීය.

මේ කනගාටුදායක සිද්ධිය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය හා කනස්සල්ල පළවී ඇති අතර ඒ මහත්වරුන්ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ වාර්තාවක් කැඳවීමට වහාම පියවර ගත් බව ඇමැතිවරයා පැවැසීය.

ක්‍රීඩා අමැතිවරයා මෙසේ පැවැසුවේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජය පරාජයන් හා පසුබෑම් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය පිළිබඳ සැකසුණු සමාලෝචන වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ පස්වරුවේ පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුවය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ එම වාර්තාව පිටු 200කට ආසන්න වන අතර ක්‍රීඩා උළෙලට අදාළ විවිධ පාර්ශ්වයන්ගෙන් කරුණු විමසා සකස් කොට ඇත.

‘දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඇතැම් සිද්ධීන් පිළිබඳ මාධ්‍ය මගින් විවිධ කරුණු අනාවරණය වුණා. ඒ නිසයි මට සිදුවුණේ සමාලෝචන වාර්තාවක් වෙනුවෙන් කමිටුවක් පත් කරන්න. කත්මන්ඩු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තමයි ඉතිහයාසයේ වැඩිම ජයග්‍රහණය සමග පදක්කම් බන්දේසියක් අපිට හිමිවුණේ. ඒ නිසා ඒ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට, නිලධාරීන්ට වගේම එහි විවිධ විවේචනයන් කළ මාධ්‍යවේදීන්ටත් මේ ගෞරවය හිමි වෙනවා. මේ වාර්තා ඉදිරියේ මාධ්‍යවේදීන්ටත් මා ලබාදෙනවා. කිසිදු කොටස් ඉවත් කිරීමක් හෝ කරුණු සැඟවිමක් සිදු නොවන බවට මා පොරොන්දු වෙනවා’ ඇමැතිවරයා පැවැසීය.

මේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සහභාගිත්වය පිළිබඳ සමාලෝචන වාර්තාව සභාපති ග්‍රෙගරි ගැමුණු ද සිල්වා, සාමාජිකවරුන් වන එයාර් වයිස් මාර්ෂල් එල්මෝ පෙරේරා, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ විධායක සභික සමන් කුමාර ගුණවර්ධන මහතා හා මාධ්‍යවේදී දමින්ද විජේසූරිය මහතා විසින් සකස් කරන ලදි.

නව අදහස දක්වන්න