රාගම අක්කර 90ක ලොකුම කුඹුරුයාය අස්වද්දයි | දිනමිණ


 

රාගම අක්කර 90ක ලොකුම කුඹුරුයාය අස්වද්දයි

ලංකාවේ පුරන් කුඹුරු අතරින් වැඩිම භූමි ප්‍රමාණයකින් යුක්තවූ රාගම වල්පොල පොල්පිතිමූකලානේ අක්කර 90ක වෙල්යාය යළි අස්සැද්දීම ප්‍රදේශයේ තරුණ ප්‍රජාවගේ මැදිහත්වීම මත පසුගියදා ආරම්භ කළේය.

ලංකාවේ විශාලතම පුරන් කුඹුරු යාය ලෙස නම්කළ හැකි මෙම අක්කර 90ක වෙල් යාය සියනෑපුරවරයේ දකුණු අලුත්කුරු කෝරළයේ රාගම් පත්තුවේ පිහිටා ඇත.

රාගම වල්පොල පොල්පිතිමූකලාන හා කොස්පැලෑන යන ප්‍රදේශ හරහා වැටී ඇති ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුන්දර වෙල් යායක් මෙලෙස පුරා වසර ගණනක් පුරන්ව තිබී ඇති අතර පසුගියදා මෙම වෙල් යාය සුද්ද පවිත්‍ර කිරීම පුරන් කුඹුරු අස්සැද්දීමේ ක්‍රියාවට ඝෘජුවම දායකත්වය දෙන විසල් කරුණාරත්න සහ ජගත් කිරින්ගොඩ යන මහත්වරුන්ගේ සහ වල්පොල ඒටු ඉසෙඩ් යෞවන සමාජයේ සභාපති දිල්හාන් විමුක්ති ඇතුළු පිරිසකගේ සහ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍රදේශයේ තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් ආරම්භ කර ඇත.

මහාසංඝරත්නයේ සෙත්පිරිත් මැද ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ මූලිකම අදියර ලෙස කුඹුරු වලට අවශ්‍ය ජලපහසුකම් සපයා දීමේ ගැටලුව නිරාකරණය කර ගැනීමට මූලික අවධානය යොමු කරමින් ඇළ මාර්ග පවිත්‍ර කිරීම මේ වන විට සිදුකරමින් පවතී.

පිටඇළ, හරස්ඇළ, මහඇළ, යන කිලෝ මීටර් 13ක පමණ විශාලත්වයෙන් යුතු ඇළ මාර්ගයන් ගෙන් කිලෝමීටර් හතක පමණ ප්‍රමාණයක් මේ වන විට සංරක්ෂණය කර තිබේ.ඇළ මාර්ග පවිත්‍ර කිරීම මිනිස් ශ්‍රමයෙන් කළ නොහැකි කරුණක් බැවින් ඒ සඳහා බැකෝයන්ත්‍රයක් යොදා ගනිමින් දෛනිකව රුපියල් 12,800ක මුදලක් ගෙවීමට සිදුව ඇති අතර ඒ සඳහාද විසල් කරුණාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකරන බව සංවිධායක මණ්ඩලය සිහිපත් කරති.

මාර්තු මස 07 වනදා පුරාණ සිරිත් විරිත් වලට අනුව මහාසංඝරත්නයේ ආශිර්වාද මැද වප්මඟුල් උත්සවය පැවැත්වීමට නියමිත අතර ඊට ප්‍රථම ප්‍රධාන ඇළ මාර්ග යාකරමින් ඇනිකට් තුනක් ඉදිකිරීමට නියමිතව ඇත.

ඉහලයාය,පහලයාය සහ මැදයාය සම්බංධ කරමින් කිලෝමීටර් හතක් දුර විහිදෙන ඇනිකට් තුන ඉදිකිරීම ඉදිරි දිනවලදි සිදුකිරීමට නියමිතය.

රාගම සමූහ

නව අදහස දක්වන්න