කොරෝනා වැළැක්වීමට හම්බන්තොට වරායෙන් පියවර | දිනමිණ


 

කොරෝනා වැළැක්වීමට හම්බන්තොට වරායෙන් පියවර

- මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ 
- විශේෂ කමිටුවක් පත් කරයි 
- චීනයෙන් පැමිණෙන්නන් නිරීක්ෂණයට කටයුතු 
- මෙතෙක් කිසිදු රෝගියෙක් හමුවී නෑ

නව කොරෝනා වෛරස් වසංගතය රටවල් කිහිපයක ව්‍යාප්තවීමත් සමඟ, හම්බන්තොට වරාය, තම කාර්යමණ්ඩලය, පරිසරය සහ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිසි පියවර ගෙන ඇත. හදිසි ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාපිළිවෙත, ප්‍රතිචාර මට්ටම් 3කින් සමන්විත වේ. ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන්, සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් යුත් විශේෂ කමිටුවක් මේ සඳහා පත් කර ඇත.

කොරෝනා වෛරසය පැතිර යෑමට පෙර චීනයෙන් මෙරටට පැමිණි, සේවකයන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් හුදෙකලා කර නිරීක්ෂණය කිරීමට පියවර ගෙන ඇති අතර, මේ දක්වා කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැත.

අමතර ආරක්ෂිත පියවරක් ලෙස, චීන සහ ශ්‍රී ලංකා බලධාරීන් විසින් ආරක්ෂිත යැයි ප්‍රකාශ කරන තෙක් නව වසර සඳහා චීනයට ගිය කාර්යමණ්ඩල නිලධාරීන්ට එහි රැඳී සිටින ලෙසද දැනුම් දී තිබේ.

හම්බන්තොට වරායේ සෞඛ්‍ය පරීක්ෂාවන් තර කොට, වරාය පරිශ්‍රයට සහ ඉන් පිටතට යන වාහන ඇතුළු සියලු වරාය පහසුකම්වල පිරිසිදු බව නිරන්තරයෙන් පරීක්ෂා කර බැලීමට කටයුතු යොදා ඇත. වරාය සේවකයන් මෙන්ම එහි පැමිණෙන අමුත්තන්ගේ උණ පරීක්ෂාවන් ද නිරන්තරයෙන් සිදු කරයි. අත් සේදීම සහ විෂ බීජ නාශක ද්‍රව්‍යයන් කාර්යාල පරිශ්‍රයන්හි තැබීමෙන් සනීපාරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කර ඇත.

විශේෂ ඉල්ලීමක් මත හැර, වරාය පරිශ්‍රයේ සංචාර තාවකාලිකව නවතා ඇති අතර, පූර්වාරක්ෂාවන්ට අනුව සමස්ත වරාය කාර්ය මණ්ඩලය හා අමුත්තන් ආරක්ෂිත මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

මෙවැනි හදිසි අවස්ථාවන් සඳහා කටයුතු කිරීමට හැකි, පුහුණු කාර්ය මණ්ඩලයක් පසුගිය වසරේ, සෞඛ්‍ය හා සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් ISO 45001: 2018 කළමනාකරණ පද්ධති සහතිකය දිනා ඇති අතර, වරාය තුළ ආරක්ෂිත පරිසරයක් සහතික කිරීමට සහ සේවකයන් තම සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳව උනන්දු කරවීම සඳහා සම්මත සෞඛ්‍ය සහ ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති ප්‍රමිතීන්ට හා ප්‍රතිපත්තිවලට අනුකූලව මේ වසංගතය පාලනය කිරීම සඳහා වරාය සියලු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන අවසන්ය.

ශ්‍රී ලංකා වෙරළ තීරයට අවතීර්ණ වන සෑම සංචාරකයෙක් සහ නැව් කාර්යමණ්ඩලයක්ම, පෞද්ගලික සෞඛ්‍ය ප්‍රකාශන දැරිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග කර ඇත. යාත්‍රාවේ සෞඛ්‍ය තත්ත්ව වාර්තාව ද, (නැංගුරම් ලා හෝ මෙහෙයුම්වලින් පැය 12 - 24ක් ඇතුළත) යාත්‍රාවේ කපිතාන්වරයා විසින් සහතික කළ යුතු බව අමාත්‍යාංශයේ නියෝගයට ඇතුළත් වේ. හම්බන්තොට වරාය මේ සියලු නියෝගයන්ට අනුව කටයුතු කිරීමට බැඳී සිටී.

නව අදහස දක්වන්න