වෝහාරිකය කොම්පැනි වාර්තාවක් | දිනමිණ


 

වෝහාරිකය කොම්පැනි වාර්තාවක්

ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ 20 වැනි උපන්දිනය සමරන මොහොත වනවිට මෙරට වාමාංශික ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය කුමක් ද යන්නත්, මෙරට වමේ ව්‍යාපාරයේ අනාගතය, වත්මන් ආණ්ඩුවේ කාර්යභාරය සහ කළුතර පානීය ජල ප්‍රශ්න පිළිබඳවත් අවධානය යොමු කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මැති හමුවට එක්වේ.

- මැදමාවතේ ගමන්කරුවා පොදුජන පෙරමුණ
- වම කැඩුණට වමේ බලවේගය තියෙනවා 
- බදු අඩුකිරීමේ වාසිය ජනතාවට ලැබිල නැහැ 
- වැලි ගොඩදැමීමට නියාමනයක් ඕන 
- වමේ බෙදුම් රේඛාව එජාප විරෝධය 
- ජනතා සහන පොකට් ගහන්නන්ට පියවර ගන්නවා

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ 20 වැනි සංවත්සරය පසුගියදා පැවැත්වූවා. මේ මොහොතේ වමේ ව්‍යාපාරයේ කාර්යභාරය ගැන ඔබ මොකද කියන්නෙ?

අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන්කරමින් ජාතික නිදහස දිනාගැනීම, සමාජ සාධාරණත්වය වෙනුවෙන් ආණ්ඩුවක් මෙහෙයවා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තහවුරු කරමින් සියලු ජනවර්ග එක්සත් කිරීම, ගැමි ගොවි පළාත්වල තිබෙන දුප්පත්කම නැති කිරීම සඳහා ගැමි ගොවි ජන පෙරළියක් ඇති කිරීම, වාමාංශික ව්‍යාපාරයක මූලික අරමුණු. එක්දහස් නමසිය තිස් ගණන්වල ඉඳන් ‍ව‍ෙම් ව්‍යාපාර මේ වෙනුවෙන් කරපු සටන්වල විවිධ ප්‍රතිඵල තියෙනවා. වාමාංශික නොවන එහෙත් දක්ෂිණාංශිකත් නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණා. මේ මැදමාවතේ පක්ෂය එක්ක එක්සත්ව වාමාංශික පක්ෂ දක්ෂිණාංශික වාදයට විරුද්ධව පහුගිය කාලය පුරා සටන් කළා. ඒක තමයි අපේ ඉතිහාසය. අපේ පක්ෂයෙ සංවත්සර තේමාව වුණේ සෞභාග්‍යයේ පෙරළියක් සඳහා ජනබලයක් ගොඩනඟමු කියලා.

ඔබ ඔය කියන මැදමාවතේ පක්ෂය මේ වනවිට යම් බිඳවැටීමකට ලක්වෙලා නේද?

අලුත් නම්වලින්, අලුත් එක්වීම්, වෙන්වීම්වලින් නොයෙක් පෙළගැසීම් ඇතිවුණා. ඒත් මේවා තුළ ගමන්කරන දහරාව එකයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා පොදුජන පෙරමුණ ඉදිරියෙන් ඉන්නවා. දැන් ඔවුන් තමයි මේ දහරාවේ ගමන්කරුවා. ඒ වගේම වාමාංශික පක්ෂ කැඩිල බිඳිල ගිහින්. ඒත් මම මුලින් කියපු වාමාංශික අරමුණු මූලිකකරගත්තු වාමාංශික බලවේගයක් නිරන්තරයෙන් තියෙනවා. වමේ ප්‍රධානම ‍බෙදුම් රේඛාව වෙන්නෙ එජාප විරෝධය විතරයි. එජාප විරෝධී නොවන වාමාංශික කමක් තියෙන්න බැහැ.

ඔබ එහෙම කිව්වත් බලයට පත්වුණු හැමෝම ඉදිරියට අරගෙන යන්නෙ එජාපය එක්ක ඇතිකරපු විවෘත ආර්ථික ක්‍රියාවලියන් නේද?

අපට තියෙන්නේ අධිරාජ්‍යවාදීන්ගෙන් බාරවෙච්ච ආර්ථිකයක්. ඒ ආර්ථිකය තමයි විවිධ ලෙස හැඩ ගැසෙමින්, පෙළ ගැසෙමින් එහාට මෙහාට තල්ලුවෙමින් ඇවිත් තිබෙන්නෙ. මේ රටේ තියෙන්නෙ ප්‍රාග්ධනය නැත්නම් ධනවාදය මුල්කරගත්තු ආර්ථික ප්‍රතිපත්ති රාමුවක්. මේක විටෙක වමටත්, දකුණටත් නැඹුරුවෙමින් තියෙනවා. අපේ මූලික අරමුණු දිනාගත හැකි ආකාරයට ආර්ථිකය හැඩ ගැසුණු හැම අවස්ථාවක්ම අපි දකින්නෙ ආර්ථිකය වමට ගිය අවස්ථා හැටියට. අපි මෙරට තිබුණු ලාභ උපදවන විදේශීය ආයෝජන සියල්ල ජනසතු කළා. ඒ මගින් ආණ්ඩුව අද විශාල ආදායමක් ලබනවා. ඒ ආදායම ජනතාව වෙනුවෙන් වියදම් කරනවා. අයිතිය පුළුල්ව විහිදෙන තරමට, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙනවා.

විවෘත ආර්ථිකය මත පදනම්වෙච්ච මෙරට ආර්ථිකය වෙනස් කරන්න ඔබේ කඳවුරටත් බැරිවුණා නේද?

ඔය කියන්නෙ නව ලිබරල්වාදය. ඕක ආරම්භවුණේ 1977 දී. දකුණට නැඹුරුව තමයි ක්‍රියාත්මක වුණේ. ඒක අවුරුදු 16ක් මේ රටේ ක්‍රියාත්මක වුණා. එතනින්පස්සෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතෙ නව ලිබරල්වාදය තවදුරටත් ක්‍රියාත්මක වුණා. මහින්ද රාජපක්ෂ මහත්තය 2005 බලයට ඒමත් එක්ක ඒ ක්‍රමය නැවතුණා. මේ රටේ දේපළ පෞද්ගලීකරණය නතර කළා. පෞද්ගලීකරණය කරපුවා නැවත ජනතා සන්තකයට ගත්තා. ඒ ක්‍රමය 2015 දී පරාජය කළා.

මෙරට දේපළ විදේශිකයන් සතුකිරීම ගැන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටත් චෝදනා එල්ල වුණා. වි‍ශේෂයෙන් හමුදා මූලස්ථාන භූමිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණා නේද?

ඒව අපට අවශ්‍යම ආයෝජන. හෝටල් කර්මාන්තය ආගන්තුක සත්කාරය මුල්කරගත්තු ව්‍යාපාරයක්. ඒකට වුවමනාකරන දේවල් සඳහා ව්‍යතිරේකව අපි ඉදිරිපත්වෙනවා. විදේශීයයන්ට ලංකාවෙ කිසිමදේක අයිතිය දෙන්නෙ නැහැ. ඒක අපේ පොදු ප්‍රතිපත්තිය. ඒත් ලෝකයෙ විශාලතම සංචාරක හෝටල් කර්මාන්තය මෙරටට ගෙන්වාගන්න යම්කිසි ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවා. එවැනි අවස්ථාවක ව්‍යතිරේකව ඊට අපි සහාය පළකරනවා. ඒ අවස්ථාව විශේෂ අවස්ථාවක්.

ඔ‍ෙබ් පක්ෂයත් රටේ පවතින අනෙකුත් වමේ පක්ෂත් අතර තිබෙන වෙනස මොකක් ද?

දිනාගත් ප්‍රතිසංස්කරණයන් තවදුරටත් රැකගනිමින්, මම මුලින් කියපු අපේ අරමුණු කරා තවදුරටත් ගමන්කරමින්, එජාප විරෝධී ප්‍රධාන බලවේගයත් එක්ක එකට ඉඳිමින්, ඔවුන්ව හැකිතාක් වාමාංශික නැඹුරුවකට තල්ලුකරමින්, රටේ පරිවර්තන යුගයකට ජනතා බලය කැඳවීම තමයි අපේ පක්ෂයෙ මූලික අරමුණ.

ජනතාවගෙ ජීවන බර අඩුකරන්න කිසිම ආණ්ඩුවක් සමත්වෙලා නැහැ නේද?

ජීවන බර වැඩිවෙන්නෙ, බදු බර වැඩිවීමෙන්. බදුබර වැඩිකළේ පහුගිය ආණ්ඩුව. මේ ආණ්ඩුව බදුබර අඩුකළත් අඩුකරපු බදුවල වාසිය ජනතාවට හරියට ලැබිල නැහැ. ඒ ගැන අපේ අරගලයක් තියෙනවා. මෝල් හිමියො, මහාපරිමාන ව්‍යාපාරිකයොත් එක්ක ඒ සටන කරනවා. අපි බදු අඩුකළේ ඒ අයට සහන දෙන්න නෙවෙයි. ජනතාවගෙ සහන ඒ අය පොකට් ගහගෙන. ඊට විරුද්ධව අපි පියවර ගන්නවා.

ජනතාවට සහන ලැබෙන්නෙ කවද ද?

අපි දැන් අපේ මැදිහත්වීම කඩිනම් කරනවා. ඒ ගැන පාරිභෝගික අධිකාරියෙන් වාර්තාවක් ඉල්ලුවා. බදු අඩුවෙච්ච භාණ්ඩවල මිල ගණන් අඩු කරන්නෙ නැත්නම් ව්‍යාපාරිකයො අයුතු ලාභ උපයන්නන් බවට පත්වෙනවා. අපි පාරිභෝගික අධිකාරියට බලය දෙනවා. ජේ. ආර්. ජයවර්ධන කිව්වෙ වෙළෙඳපොළ තමයි අපේ සිද්ධස්ථානය, වෙළෙඳපොළේ ඇතිවෙන ගනුදෙනු ධර්මය හැටියටයි ඒ අය කිව්වෙ. මේක තමයි නව ලිබරල්වාදය කියන්නෙ. ඒ ක්‍රමය තුළ වෙළෙඳපොළට මැදිහත්වෙන්න පාරිභෝගික අධිකාරියට බලයක් නැහැ.

ලෝකයම ජල අර්බුදයක් ගැන කතාවෙනවා. අපේ රටේ ජලය සංරක්ෂණය කරල පාරිභෝගිකයට යහපත් සේවයක් සලසන්න ගන්න ක්‍රියාමාර්ග මොනවද?

මේ රටේ ජනතාවගෙන් 90% කට විතරම පිරිසුදු ජලය ලැබෙනවා. ළිංවල ජලය පවත්වාගෙන යන්න ජල මූලාශ්‍රවලට හේතුවන සාධක තව දියුණු කරන්න ඕන. ගංගාවල වැලි ‍ගොඩදැමීමෙන් ග‍ඟේ පතුල පහළට යනවා. එහෙම වුණොත් ළිංවල ජල මූලාශ්‍රවලට එය බලපෑමක් වෙනවා. ගංගාවල්වල ඇළදොළවල්වල පතුල් මට්ටම එක තැනක තබාගත යුතුයි. වැලි ගොඩදැමීම නියාමනයකට ලක් වෙන්න ඕන.

දවස් 5ක් හයක් වැස්ස නැත්නම් කළුතරට දෙන්නෙ ලුණු ජලය. මේ වෙනකොටත් කළුතර ජනතාව ලුණු ජලයෙන් පීඩාවට පත්වෙලා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

අගලවත්තෙ ඉඳන් ජලය ගෙන ඒමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මකයි. ගල්කිස්ස, රත්මලාන දක්වා එන විශාල ජල‍ යෝජනා ක්‍රමයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් පස්සෙ ඔය ගැටලුව ඇතිවෙන එකක් නැහැ. දැනට ජල ටැංකි යොදාගෙන පානීය ජලය දෙනවා.

අපට ලැබුණෙ බංකොලොත් ආර්ථිකයක් කියල ආණ්ඩුව කියනවා. ආණ්ඩු මාරුවෙද්දි කියන මේ කතාව ගැන ඔබ මොකද කියන්නෙ? 

එහෙම කියල ජනතා ප්‍රශ්න මඟහරින්න බැහැ. ඒත් යථාර්ථය ජනතාව හමුවෙ තියන්න ඕන. 2015දී ණය කන්දක් ගැන කිව්වා. මේක බංකොලොත් කිව්වා ණය ගෙවන්න තවත් ණය ගන්න ඕන කිව්වා. යහපාලන ආණ්ඩුව ඊට පෙර හිටිය ආණ්ඩුව විත්තිකූඩුවට නැග්ගුවා. හම්බන්තොට වරාය, නොරොච්චෝල බලාගාරය, වැව් හැදුවා. අධිවේගී මාර්ග හැදුවා කියල ‍චෝදනා කළා. මේවායෙන් ආර්ථිකයට වාසි ඇතිවුණා. ඒ අය නිදහස් වුණා. අපි යහපාලන ආණ්ඩුව විත්තිකූඩුවට නග්ගනවා. බිලියන 16ක් තියෙනවා. බිල්ගෙවල නැහැ. පොහොර බිල, කොන්ත්‍රාත්කරුවන්ට, සෞඛ්‍යයට ගෙවල නැහැ. ඒ නිසා අපි කිව්වා මේ මුදල් ගෙවන්න සල්ලි නැහැ කියලා. ඒක තමයි ඇත්ත. එදා අපිට කියන්න තිබුණෙ සාධනීය උත්තර. මේ අයට එහෙම කියන්න උත්තර නැහැ. කරපු දෙයක් නැහැ. ණයවෙලා විතරයි. යහපාලන ආණ්ඩුව වරාය වික්කා. ඒ වික්කෙ රටේ අනාගතය. විශාල විදේශ ආදායමක් හම්බන්තොට වරායෙන් ගන්න තිබුණා. ඒ ආදායම රටට අහිමිකළා.

එදා විපක්ෂයෙ ඉඳගෙන බැඳුම්කර මගඩිය ගැන ලොකු හඬක් නැගුවත් ආණ්ඩුකරන්න ආපුගමන් නිහඬවෙලා ඉන්නෙ ඇයි?

එදා තිබුණු ආණ්ඩුවට හොරු අල්ලපන් කියලයි හඬ නැගුවෙ. දැන් අපි වැඩ කරන කාලෙ.

ඒත් මහබැංකු බැඳුම්කරය ගැන වැඩක් කරනපාටක් නැහැ නේද?

ඇයි නැත්තෙ. නඩුවක් යනව. අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත්කරලා තියෙනවා. ඒ අතර මේකට සම්බන්ධ තවත් අය සොයනවා. ඒ අයටත් නඩු පවරනවා.

වෝහාරික විගණන වාර්තාවත් ඇවිත් තියෙන්නෙ.

වෝහාරික විගණන වාර්තාවෙ අර්ථයක් නැහැ. වෝහාරික විගණන වාර්තාව අතීතය ගැන තියෙන්නෙ. අතීතය විසින් වර්තමානය වහන්න නරකයි. මහ බැංකු වංචාව සද්දන්තයි. මේක අතීත කතාවකින් වහන්න හදන්නෙ. අතීතයෙ වැරදි කරල තියෙනවනම් විගණකාධිපතිගෙ වාර්තාව අරගෙන ඒවට දඬුවම් කරන්න. වෝහාරික කියන්නෙ කොම්පැනි වාර්තාවක්. අපි පිළිගන්නෙ විගණකාධිපති වාර්තාව. ඒ අනුව කටයුතු කරන්න.

උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවෙ හිඟයක් තියෙනවා. රටේ පවතින ගැටලු බොහොමයකට හේතුව ඒකද?

කිසිසේත්ම නැහැ. උගත් බුද්ධිමත් කියන්නෙ කාටද? ඩී. ඇස්. සේනානායක මහත්තයට තිබුණු උගත්කම මොකක්ද? බුද්ධිමත්කම මොකක් ද? ඒ අය ඉතාම ප්‍රඥාවන්ත මිනිස්සු. උගත්කම කියන්නෙ විභාග නෙමෙයි. එකවුන්ටන් ද? දොස්තර ද? නීතිඥයෙක් ද? එහෙම නැත්තං එයා මහාචාර්යවරයෙක් ද? ඒව තුට්ටුභාගයකටවත් වැඩක් නැහැ. වුවමණා කරන්නෙ ජනතාවට සංවේදීවීම විතරයි. පාලකය කරන්නෙ විෂයන් ඉගෙන ගැනීම නෙවෙයි. ජනයාගේ වුවමනාවට අනුව පාලනය හැසිරවීමයි. ඒකට වුවමනා ඥානය හැමතැනින්ම ලබාගන්නවා. කම්කරුවොත් මේ පාර්ලිමේන්තුවට එන්න ඕන. වැඩි වැඩියෙන් වැඩ කරන ජනතාව පාර්ලිමේන්තුවට එන්න ඕන.

මහපාරෙ උද්ඝෝෂණ කරපු කෙනෙක් හැටියට උද්ඝෝෂණවලට වෙනම තැනක් වෙන්කිරීම ඔබ දකින්නෙ කොහොම ද?

ඒක පහසුකමක්, ඒ පහසුකමට කාවත් යටත්කරල නැහැ. පහසුකමක් ලබාදීම විතරයි කරල තියෙන්නෙ. ඊට අවශේෂව කාටහරි ඕනනම් වෙනත් තැනක උද්ඝෝෂණය කරන්න, ඒක තහනම් කරල නැහැ.

දුමින්ද සම්පත් 
නිශ්ශංක ද සිල්වා

නව අදහස දක්වන්න