සිවු වර්ණ දිනමිණට වසර 105යි | දිනමිණ

සිවු වර්ණ දිනමිණට වසර 105යි

වර්ෂ 1915 මාර්තු 2 වැනිදා ‘දිනමිණ’වර්ණ සතරකින්

එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා අධිනීතිඥවරයකු ලෙස සමත්ව සිය රට පැමිණි ඩී. ආර්. විජයවර්ධන මහතා, රටේ මතුකළ ස්වාධීනත්වය උදෙසා ස්වදේශික නායකයන් සමඟ කටයුතු කරද්දී පුවත් ප්‍රකාශනයක අවශ්‍යතාව මතුවිය. වර්ෂ 1909 දී ඇරැඹී, පවත්වාගෙන ගිය ‘දිනමිණ’ පත්‍රය හිමි කතුවර එච්. එස්. පෙරේරා මහතා මෙකල අසනීපව පත්‍රය නතර කෙරෙන තත්ත්වය උදාවී තිබෙද්දී ඩී. බී ජයතිලක මහතා මැදිහත්ව එහි අයිතිය විජයවර්ධන මහතාට ලබාදුනි.

වර්ෂ 1914 අවසානයේදී ‘දිනමිණ’ අයිතිය ලබාගත් විජයවර්ධන මහතා එය විශාල කර ඩිමයි ප්‍රමාණයෙන් පළ කරන්නට තීරණය කළේය. ඉංග්‍රීසින් රට අල්ලගෙන ශතවර්ෂයක් පිරෙන දින (1915 මාර්තු 2) විශේෂ පත්‍රයක් නිකුත් කරන්නට ඉටාගත් විජයවර්ධන මහතා මෙකල ‘දිනමිණ’ ප්‍රධාන කතුවරයාව සිටි ඩී. ජේ. බී. විජේසේකර මහතා ද සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළේය.

මෙයට වර්ෂ දෙකකට පෙර අධිනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා එංගලන්තයේ වෙල්සි ආරෝග්‍ය ශාලාවේ තිබී සොයාගන්නා ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහ කොඩියේ අනුරුවක් ද යොදා රජුගේ ඔටුන්න ශ්‍රී වික්‍රම - වෙන්කත රංගම්මාල් දේවියගේද ‘ඡායාරූපය යොදා මුල්පිට වර්ණ සතරකින් මුද්‍රණය කළයුතු බවට තීරණය කෙරිණි.

එම ඡායාරූපවල බ්ලොක් තහඩු සකස්කරවා ගෙන්වාගන්නා ලද්දේ එංගලන්තයෙනි. වර්ෂ 1915 මාර්තු 2 වැනි අඟහරුවාදා පත්‍රය මුද්‍රණයෙන් නිකුත් කෙරිණි. පිටු 16 කින් යුතු එම පත්‍රයේ ඓතිහාසික තොරතුරු සමඟ විචිත්‍ර ලෙස සකස් කෙරුණු ‘උඩරට ගිවිසුම’ පිටුවක් ද විය. කොටුවේ වේල් වීදියේ ‘දිනමිණ’ කාර්යාලයේ නිකුත් කළ ‘දිනමිණ’ පිටපත් පැය හතරකදී විකිණී අවසන් විය. පත්‍රය ලබාගන්නට බැරිවූ පාඨකයෝ කාර්යාලය වටලා කෑගසන්නට වූහ. පසුව එය දින සතරකින් අනතුරුව 6 වෙනි සෙනසුරාදා යළිත් මුද්‍රණය කර බෙදාහරින ලද්දේය.

එම 1915 මාර්තු 2 ‘දිනමිණ’ මුල් පිටුව හා ‘උඩරට ගිවිසුම’ පිටුවද එම යුග‍යේ හැටියට සුවිශේෂ කාර්යයක් වූ හෙයින් පසුව එම පිටු දෙක සමහර විහාරස්ථානවල හා වැදගත් මන්දිරවල රාමුකර තිබෙනු දක්නා ලද්දේය.

1915 මාර්තු 2 ‘දිනමිණ’ පත්‍රයේ එම මුල් පිටුව මෙසේ යළි වර්ෂ 105 කට පසුව පළවන්නේ එදා ‘විජයවර්ධන මහතා සිංහල පුවත්පත් කලාවට හා රටට කළ මහ මෙහෙවර ද ගැන යළිත් පාඨක මනසට යොමුකරවන්නටය.

 

 සෝමසිරි කස්තුරිආරච්චි

නව අදහස දක්වන්න